බොරු ෆැන්ටසියක් මොකටද? - කළණ ගුණසේකර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කළණ.. ‍මේ දවස්වල 'අක්ෂි' එක්ක කාර්යබහුලයි කියලයි ආරංචිය?

ඔව්.. මේ දිනවල ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කරන 'අක්ෂි' ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. මේ වෙද්දි එය විකාශය වෙනවා. 'අක්ෂි' ටෙලිනාට්‍යයේ පිටපත කියවද්දි ඒක අමුතු හැඩයක් තියෙන වැඩක් කියලා මට තේරුණා. කොහොමටත් මම විවිධ චරිත කරන්න ආසා කරන කෙනෙක්. ශාන් කතා කරන දේවල් එක්ක මේ නාට්‍යයෙත් වෙනස් චරිතයක් කරන්න පුළුවන් කියලා මට තේරුණා. ඒ නිසා මම ඒ චරිතය ආසාවෙන් බාරගත්තා. මේ වෙද්දි ප්‍රේක්ෂකයෝ 'අක්ෂි' ඉතා ආසාවෙන් බාරගෙන තියෙනවා කියලා මට තේරෙනවා.

ඒක මොන වගේ චරිතයක්ද?

ඒකෙ මම රඟපාන්නෙ වත්තක කොල්ලෙක්ගෙ චරිතයක්. ෆැන්ටසි සිහිනයක් ඔළුව උඩ තියාගෙන ඉන්න කොල්ලෙක්. ඔහුගේ නම ජනා. මේ කොල්ලා දමිළ චිත්‍රපට බලන මනුස්සයෙක්. 'මාරි' චිත්‍රපටයේ ධනුෂ් රඟපාන චරිතය තමයි ඔහුගේ හීනය වෙලා තියෙන්නෙ. මාරිට හඳුන්කූරු පත්තු කරන, පහන් පත්තු කරන ජනා, වතු සංස්කෘතියත් එක්ක හැඩගැසුණු චරිතයක්. ඒකෙන් ගොඩ යන චරිතයක්. ඇස් දෙක පේන්නෙ නැති නංගිගේ ඇස් සනීප කර ගන්න තමයි ජනා මේ හැම ගේම් එකක්ම ගහන්නෙ. ඒක හරි ලස්සන කතාවක්.

කාලයක් සහාය අධ්‍යක්ෂණයේ නියැලුණු ශාන් ජයරත්නගේ මුල්ම අධ්‍යක්ෂණය තමයි 'අක්ෂි' කියන්නෙ. ඔහුගේ පළමු අධ්‍යක්ෂණයට ඔබට ආරාධනා ලැබුණම මොකද හිතුණෙ?

මට සාමාන්‍යයෙන් අලුත් අධ්‍යක්ෂකවරුන් ගැන විශ්වාසයක් තියෙනවා. කලින් වෙන කියවීමක් නැහැනෙ. සිනමාව තුළ මම කරපු නිර්මාණ අතරින් දෙක තුනක් හැරුණම මම වැඩ කරපු සියලුම අධ්‍යක්ෂකවරුන් අලුත් අයයි. මම ගොඩක් නිර්මාණවලට දායක වුණු කෙනෙක් නෙමෙයි. ඒ නිසා ශාන්ව මට සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහටවත් මීට පෙර මුණගැහිලා නැහැ. ඒ නිසා ශාන්ව මම දන්නෙ අධ්‍යක්ෂකවරයෙක් විදිහටයි. මට මුලින්ම අධ්‍යක්ෂකවරයා කතා කරද්දි ඔහු කතා කරන ස්වභාවය අනුව තමයි මම ඔහු හොඳ අධ්‍යක්ෂකවරයෙක්ද නැද්ද කියලා තීරණය කරන්නෙ. ඇත්තටම ඔහු හොඳ අධ්‍යක්ෂකවරයෙක්. ලංකාවේ අලුත් අධ්‍යක්ෂකවරුන් බිහිවෙන්න ඕනෙ කියලා මම හිතනවා.

කළණ.. ඔබ කිව්ව දෙයක් තමයි මේ වෙද්දි වැඩි නිර්මාණ ගණනකට දායක වෙලා නැහැ කියලා. ඔබ නිර්මාණ තෝරාබේරා ගැනීමක් කරනවද?

ඔව්.. ලැබෙන නිර්මාණ හැම නිර්මාණයක්ම බාරගන්නෙ නැහැ. මට නිර්මාණ විසි එකකට පමණ ආරාධනා ලැබිලත් මම බාරගත්තෙ නැහැ. ඒ චරිත මම බාරගන්නෙ මම කරපු නිර්මාණවල චරිතවලට අදාළවයි. 'කූඹියෝ' ටෙලිනාට්‍යයේ මම රඟපෑ ප්‍රියන්තගේ චරිතයට පස්සෙ ටෙලිනාට්‍ය දාසයකට පමණ ඒ වගේ ගමේ චරිතවලට ආරාධනා ලැබුණා. &මචං මේක ප්‍රියන්ත වගේ චරිතයක්* කියලා තමයි අධ්‍යක්ෂකවරයා මට පිටපත ගැන කියන්නෙ. ඒ නිසා ආයෙත් ප්‍රියන්ත කෙනෙක්ම රඟපාලා වැඩක් නැහැ. ඒ නිසා මම කියවලා බලලා ඒ චරිතය ගැන මුලින්ම මම සතුටු වෙන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ. ඊට පස්සෙයි ප්‍රේක්ෂකයෝ සතුටු වෙන්න ඕනෙ. මම ඒ චරිතය ගැන සතුටු නැත්නම් ඒකෙන් වැඩක් නැහැ. ඒ වගේම මම නිර්මාණයේ ප්‍රමිතිය ගැනත් හිතනවා. ඒ විදිහට තමයි මම චරිත බාරගන්නෙ. ඉස්සරහට බාරගනීද කියලා දන්නෙ නැහැ.

මේ දිනවල 'වෙඩි නොවදින ළමයි' චිත්‍රපටයෙනුත් කළණව දකින්න ලැබෙනවා?

ඔව්.. මේ දිනවල ඉන්දික ෆර්නෑන්ඩුගේ 'වෙඩි නොවදින ළමයි' චිත්‍රපටය තිරගත වෙනවා. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම 'ඉක්කා' චිත්‍රපයෙනුත් 'මන්කි මෑන්' සහ 'තම්බපණ්නි' චිත්‍රපටවලිනුත් ඉදිරියේදි දැකගන්න ලැබේවි. ඒ වගේම අනුර ඒකනායකගේ අලුත් ටෙලිනාට්‍යයකටත් සම්බන්ධ වුණා.

අදටත් මිනිසුන්ට 'කූඹියෝ' මතකයි?

ඇත්තටම ඔව්.. අදටත් 'කූඹියෝ' ටෙලිනාට්‍යයේ ප්‍රියන්තව මතකයි. 'ගිනි අවි සහ ගිනිකෙළි' චිත්‍රපටයේ සුන්තා මතකයි. 'පොදූ' නාට්‍යයේ ප්‍රිමාල්ව මතකයි. දැන් තමයි මිනිසුන් මට ජනා කියන්නෙ. මම ඒකට කැමතියි. මට නම කියලා අමතනවට වඩා මුහුණුපොත තුළින් වුණත් ඔවුන් මට කතා කරන්නෙ මම රඟපෑ චරිතවලින්. දැන් බොහෝ දෙනා මට කියන්නෙ 'පෑලියගොඩ ජනා' කියලයි. ඒකත් පොඩි ආතල් එකක්.

පුංචි කාලේ නළුවෙක් වෙන හීනයක් තිබුණද?

නැහැ. පොඩි කාලෙ මට එහෙම හීනයක් තිබුණෙ නැහැ. දැනුත් නැහැ. මම ඉගෙන ගත්තෙ පිළියන්දල මධ්‍ය මහා විදුහලේ. පස්සෙ ප්‍රේමකුමාර කරුණාරත්න ගුරුතුමාගෙන් නාට්‍ය ඉගෙන ගත්තා. 'මුතුහර' ළමා සමාජයේ හිටියා. ඒ දේවල්වලින් රඟපෑමට ආවා මිසක් මේ මම බලාපොරොත්තු වුණු, හිතලා ආපු ගමනක් නෙමෙයි.

අද පවතින ආර්ථිකයත් එක්ක කලාකරුවන්ට කලාවෙන් ජීවත් වෙන්න අමාරුයි නේද?

ගොවියෙකුට ගොවිතැන් කරලා ජීවත් වෙන්න බැරිනම් නළුවෙක්ට කොහොමත්ම ජීවත් වෙන්න බැහැ. කිසිම වෘත්තියක නියැලෙන කෙනෙක්ට තමන්ගේ රටේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කියලා මම හිතන්නෙ නැහැ. ඒ නිසා රංගන ශිල්පියෙක් විදිහට මම ඒක බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මේ පවතින තත්ත්වයත් එක්ක ඒක කොහොමත් බැහැ. ඒ නිසා බොරුවට මේක ඇතුළෙ ෆැන්ටසි හදලා තේරුමකුත් නැහැ. මේ යන විදිහට යනවා හැර දේශපාලනය විසින් හදන ෆැන්ටසි කවදාවත් උදාවෙන්නෙ නැහැ. එහෙම ෆැන්ටසියක් නම් වෙනකොට උදාවෙන්න ඕනෙ. ඒ නිසා මම රංගන ශිල්පියාත් එක්ක ෆැන්ටසි හදන්නෙ නැහැ. එහෙම හදලා වැඩක් නැහැ.

අද ඔබ වෘත්තියෙන් කලාකරුවෙක්?

ඔව්.. කලාව හැර මම වෙන වෘත්තියක යෙදෙන්නෙ නැහැ. හැබැයි මම පිටපත් කිහිපයක් ලියලා තියෙනවා. චිත්‍රපට කිහිපයක් ලිව්වා. පොත් දෙකක් ලිව්වා. මගේ පියා නැති වුණා. අම්මා මල්ලි සහ මගේ බිරිඳ එක්ක මම ජීවත් වෙනවා.

ඊළඟට තියෙන බලාපොරොත්තු?

ඇත්තටම මට එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ. මම අලුත් පරම්පරාව එක්ක වැඩ කරලා තියෙනවා. ජාත්‍යන්තර සම්මාන දිනපු චිත්‍රපට තියෙනවා. ඒවා තිරගත කරන්න තවම ක්‍රමවේදයක් නැහැ. අඩුම ගාණේ ජාත්‍යන්තර සම්මාන දිනපු සිනමා කෘතිවත් කවුරුන් හෝ මැදිහත්වෙලා පෙන්නාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

I දිශානි
සේයාරූ I සුමුදු හේවාපතිරණ