මට දැනෙන විදියට මම ඉතාම අවංකව ජීවත්වන කෙනෙක්.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ දෙවන සිනමා නිර්මාණය වන ‘වෙඩි නොවදින ළමයි’ මේ දිනවල නැරඹීමට පුළුවන. දීපා එදිරිසිංහගේ නිෂ්පාදනයක් වන මෙම සිනමා නිර්මාණය සමඟ සිනමාවට හඳුන්වාදුන්, ප්‍රබෝදිනී චන්ද්‍රසේන සමග පිළිසඳරකට අද අපි එක්වෙමු. වෙඩි නොවදින ළමයි සිනමා නිර්මාණයෙහි පෙම්වතියකගේ චරිතයට ඇයව තෝරාගත්තේ ඇයි? ඇය මොන වගේ කෙනෙක්ද? කවුද? මේ විස්තර ඇය අපට කියාවි.

ප්‍රබෝදිනි, චන්ද්‍රසේන? එච්චරද නම? තවත් නම් තියෙනවද?

මුලට මධුෂිකා කියලා තියෙනවා. ඒත් භාවිතා කරන්නේ ප්‍රබෝදිනි චන්ද්‍රසේන කියලා. 

කවුද මේ ප්‍රබෝදිනි?

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ උපාධිධාරිනියක්. ඒ වගේම කැළණිය සරසවියේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය අවසන් කර, දැන් ගුරුවරියක ලෙස සේවය කරනවා. 

උපාධි දෙකක්ම තියෙනවා?

ඔව්. 

මොන පළාතේ පාසලක ද උගන්වන්නේ?

ඇඹිලිපිටියේ රජයේ පාසලක.

කොහොමද ඇඹිලිපිටිය ප්‍රදේශය?

හොඳයි, මේ මගේ පළමු පත්වීම.  දැනට අවුරුදු තුනක් මේ ගුරුවෘත්තියට ඇවිත්. ඇඹිලිපිටිය පළාත හොඳයි. මුලදි නම් කටුකයි වගේ දැණුනේ. ඒත් දැන් නම් සතුටින් රාජකාරිය කරන්නේ. 

ප්‍රබෝදිනිගේ ගම?

ගමත් ඇඹිලිපිටියම තමයි. 

ඇඹිලිපිටියේ මිනිස්සු බොහොම ‘අව්‍යාජ’ හොඳ මිනිස්සු කියලා තමයි සමහර අය කියන්නේ? ඒක ඇත්තද?

සහතික ඇත්ත. 

ඒකට හේතුව?

සමාජය ගත්තාම මිනිස්සු විවිධයි, නමුත් බහුතරයක් මේ පළාතේ මිනිස්සු ඇසුරු කරන්න පහසුයි. 

ප්‍රබෝදිනීත් ඒ වගේ ‘අව්‍යාජ’ නිරහංකාර චරිතයක්ද?

ඒ ගැන නම් අනෙක් අය තමයි දකින්නේ. මට දැනෙන විදියට මම ඉතාම අවංකව ජීවත්වන කෙනෙක්. 

ඇඹිලිපිටිය, ගෙදර විස්තර එහෙම කියන්න කෝ?

ඇඹිලිපිටිය, කොළොන්න කියන ප්‍රදේශයේ අපි ඉන්නේ. ගෙදර ඉන්නේ අම්මයි - තාත්තයි, අයියයි. අම්මා ගුරුවරියක්. තාත්තා විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙක්. අයියා මොරටුව සරසවියේ උපාධිධාරියෙක්. දැනට ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදියට වැඩ කරනවා.

ඇඹිලිපිටියේ බොහෝ දෙනා වගා කටයුතු කරනවා? ප්‍රබෝදිනීගේ පවුලේ අයත් වගා කටයුතු කරනවද?

අපට නම් එහෙම වගාවට තරම් ලොකු පරිසරයක් නැහැ.

හරි, එහෙම නම් අපට කියන්නකෝ ප්‍රබෝදිනී කලාවට ආ විදිය ගැන?

පොඩි කාලයේ ඉඳලම නර්තන විෂයය හැදැරුවා. උසස් පෙළට නැටුම් නාට්‍ය හා රංග කලාව කියන විෂයයන් දෙකම කළා. සරසවියේදී නාට්‍ය හා රංග කලාව කරද්දි, ආරම්භයේ සිට මේ දක්වා වේදිකාවේ අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා. විශ්ව විද්‍යාල වේදිකාවේදි බොහෝ දේට දායක වෙලා තියෙනවා. ඉන්දියාවේ පැවැති උලෙළවලට පවා සහභාගී වුණා. 2018 උපාධිය ඉවර වෙනවත් එක්කම වගේ තමයි  ඉන්දික ෆර්ඩිනැන්ඩු මහතාගේ මේ ෆිල්ම් එකේ රඟපාන්න ලැබුණේ.

මීට පෙර ටෙලි නාට්‍යවල රඟපාලා තිබුණෙත් නැද්ද? 

මීට පෙර ටෙලිනාට්‍ය සහ සිනමා අත්දැකීම් නැහැ. මගේ ප්‍රථම රංගනය වෙඩි නොවදින ළමයි. 

ෆිල්ම් එකක රඟපාද්දී, කැමරාව ඉදිරියට ගියාට මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?

අමුතුම අත්දැකීමක් වුණේ නැහැ,  කාලයක් තිස්සේ වේදිකාවේ රඟපාලා ඒ ආභාෂය තිබුණු නිසා. බියකට වඩා මට තිබුණේ කුතුහලයක්. ඒත් ෆිල්ම් එකේ කණ්ඩායමේ තිබුණු සහයෝගය නිසා ටිකෙන් ටික ඒ කුතුහලය සහ චකිතය නැතුව නිසා. ඊට පස්සේ ඒ වැඩේට ඉබේම වගේ හුරු වුණා. 

මීට කලින් රඟපාලා නොසිටි ඔබ ඇයි මේ ෆිල්ම් එකට තෝරා ගන්නට ඇත්තේ?

විෂයානුබද්ධව ලබා තිබුණු පරිසරය සහ ප්‍රායෝගිකව ලබා තිබූ දේ නිසා තමයි මාව තෝරා ගත්තේ. 

වෙඩි නොවදින ළමයි, ඔබගේ චරිතයේ නම?

තාරුකා? 

පෙම්වතිය නේද?

පෙම්වතියගේ චරිතය. පෙම්වතා ලෙස රඟපාන කණිෂ්ක ක්ෂේවියර් අයියගෙන් ලැබුණෙන් ලොකු සහයෝගයක්. 

තාරුකා ගැන කියමු?

එයා උසස් යැයි කියන පැලැන්තියක අවුරුදු 16ක විතර ගැහැණු දරුවෙක්. එයාගේ චරිතය සහ මේ ෆිල්ම් එක බලන්න අපි හැමෝටම ආරාධනා කරමු. 

කොහොමද ‘තාරුකා’ ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?

මම සිනමා රංගන ක්ෂේත්‍රයට අළුත්නේ. හැබැයි, මේ ෆිල්ම් එකෙන් රඟපාන අත්දැකීම් බහුල, පළපුරුදු සියලු දෙනාගෙන් මට ලැබුණු සහයෝගය ඉතා විශිෂ්ටයි. ඒ ප්‍රතිචාරය මට සෑහෙන වටිනවා, ඒ අගය කිරීම මාව වඩාත් ධෛර්යවත් කළා. 

වෙඩි නොවදින ළමයි, ෆිල්ම් එක ඔබට දැනෙන විදිය?

කලාත්මක ගණයේ ඉතාම උසස් ෆිල්ම් එකක්. සෑම චරිතයකටම රඟපාන්න දෙයක් වගේම කතාවක් තියෙන ෆිල්ම් එකක්. 

මේ හැර, තව ඔබ රඟපෑ නිර්මාණ මොනවද?

වෙනත් නිර්මාණ නැහැ, මේ චරිතය නරඹා, තවත් හොඳ චරිත ලැබුණොත්. මට ආරාධනා කළොත් බාර ගන්නවා. ඒ හැර අධ්‍යාපනයෙන් යා හැකි උපරිම දුරකට යාමට තමයි හිතාන ඉන්නේ. 

රඟපෑමටයි, ගුරුවෘත්තියටයි හැර, ඊළඟට තව මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?

නාට්‍ය හා රංග කලාව පාදක කරගෙන තව දුරටත් උසස් අධ්‍යාපනය කිරීම තමයි අරමුණ. 

ජීවිතේ ආසාවෙන්ම කරන්නේ?

අධ්‍යාපන කටයුතු සහ කලාවේ නියැලෙන්න ආසයි.

ප්‍රබෝදිනී ජීවිතේ ගෙවන්නේ ප්‍රබෝධයෙන්ද? 

සතුටින්  ගෙවනවා, ජීවිතේ සෑම දෙයක්ම සමබරව කරගෙන යන අතරේ සතුට රඳවා ගන්න බලනවා. ජීවිතේ සුන්දරම නැහැ තමයි. ගෙදර අයගේ සහයෝගයෙන් ලස්සනට ගත කරනවා. 

ප්‍රබෝදිනියගේ ආදරය?

ආදරය ප්‍රේමය අවබෝධයක් කළ යුතු දෙයක්, දැනට මගේ ප්‍රේමය – ආදරය අධ්‍යාපනයට. 

රංගනය හැර – නැටුම -ගැයුමටත් දක්ෂලු නේද?

ඔව් නර්තනය සහ ගායනයටත් හැකියාව තියෙනවා කියලා හිතනවා.

ඔබ, ඔබ ගැන දකින විදිය ගැන කියන්න කිව්වොත්?

හැමෝම එක්ක සතුටින් හරිම නිරායාසයෙන් ජීවත් වෙන්න කැමති කෙනෙක්. ලොකු - ලොකු බලාපොරොත්තු තියාගන්නේ  නැතුව මට අත්‍යවශ්‍යයි කියනදේ විතරක් තිබුණාම ඇති කියලා සෑහීමකට පත්වන කෙනෙක්. 

ලංකාවේ සිනමාව ගැන හිතන්නේ කොහොමද? 

ගුණාත්මක විදියේ සිනමා නිර්මාණ බිහිවන රටක්. කොහොම වුණත් රටේ කාලයෙන් - කාලයට ඇතිවන සිදුවීම් එක්ක සිනමාව මේ විදියට හෝ පැවතීම සුබ දෙයක්. හොඳ දෙයක්. 

කොහොමද ‘ටීචර්’ ට උගන්වද්දි ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

මම හිතන්නේ එයාලට මම උගන්වන්නේ සතුටින්. එයාලත් ඉගෙන ගත්තේ සතුටින්. පාසල් නාට්‍ය තරගවලට එහෙම නිර්මාණ කරනවා. ඉතින් ඒවගේ වැඩ කරනවා. අපේ පාසලේ ළමයින්ට මේ විෂයය අලුත් එකක්. හය වසර සිට 13 දක්වා මම උගන්වනවා. සෑම පාඩමක් අවසානයේදී එයාලගේ තේරුම් ගැනීම සම්බන්ධව මම ඉතාම තෘප්තිමත් වෙනවා. 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ