මම ගොඩක් ආස කරන නළුවෙක් තමයි වික්‍රම් කියන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණ රංගන ශිල්පියෙකු ලෙස මේ වනවිට ප්‍රේක්ෂක ඔබගේ ආදරය  දිනා ගනිමින් සිටින රොයිඩ් ආරච්චිගේ කලා ක්ෂේත්‍රයට තවමත් නවකයෙකි. මේ දිනවල විකාශය බයෝ දෙවැනි කතාංගයේ දකින රොයිඩ් කලා ක්ෂේත්‍රය තුළ සිය ස්ථාරවරත්වය ක්‍රමයෙන් ගොඩ නගා ගනිමින් ඉදිරියට පැමිණෙමින් සිටින රංගන ශිල්පියෙකුද වෙයි. මේ දිග හැරෙන්නේ රොයිඩ් අප සමගින් කළ කතා බහයි.

රොයිඩ් දැන් රංගන ශිල්පියෙක්.

ඔව්, හැබැයි මම ක්ෂේත්‍රයට ආවේ නිරූපණ ශිල්පියෙක් විදිහට. මගේ මතකය හැටියට 2014 වසරේ මම මුලින්ම රොසැන් ඩයස් මහත්මියගේ නිරූපණ පාසලට සම්බන්ධ වෙලා ඒ පිළිබඳව හැදෑරිමක් කළා. ඊට පස්සේ නිරූපණ කටයුතුවලට සම්බන්ධ වුණා. හැබැයි ලොකු කාලයක් මම නිරූපණ ක්ෂේත්‍රය තුළ කටයුතු කළේ නැහැ.

නිරූපණයෙන් රංගනයට පරිවර්තනය වුණේ.

නිරූපණ කටයුතුවලට සමුදිලා මම වසර කිහිපයක් කලාවෙන් ඈත්වෙලා හිටියා. හැබැයි මගේ හිතේම තිබුණේ රංගන ශිල්පියෙක් වෙන හීනේ. නිරූපණයට මම සම්බන්ධ වුණෙත් රඟපාන්න තියෙන ආසාවට. නමුත්, අවාසනාවට මට ඒ දේට යොමු වෙන්න බැරිවුණා. ඔය අතරේ තමයි මම ධනුෂ්ක රත්නායක අයියාගේ වීණාවි රංගන පාසලට සම්බන්ධ වෙන්නේ.

රංගනය කියන දේ ඔබ හදාරලා තියෙනවද.

ධනුෂ්ක රත්නායක සර් වගේම ප්‍රියන්ත ලලිත් සර් ගොඩක් උදව් කළා රංගනය ගැන ඉගෙන ගන්න. මුලින්ම හාපුරා කියලා රඟපාන්න ලැබුණෙත් ධනුෂ් සර් අධ්‍යක්ෂණය කරපු කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ. මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනා රොයිඩ් කියන තරුණ නළුවා නිර්මාණය කළේ ධනුෂ්ක හා ප්‍රියන්ත ලලිත් සර්ලා දෙන්නා කියලා.

මෑත කාලයේ ඔබ නිර්මාණ කිහිපයක අපි දුටුවා.

කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයෙන් පස්සේ ධනුෂ්ක අයියාගේම බයෝ දෙවැනි කොටස සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වෙන අක්ෂි ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා. නුදුරේම ඒ හරහාත් මාව දකින්න පුළුවන්. ඊට අමතරව ගීත රූප රචනා පහළොවකට ආසන්න ප්‍රමාණයක් සඳහා මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ලැබෙන රසික ප්‍රතිචාරවල අඩුවක් නැහැ.

ඇත්තටම හොඳයි. කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ චාලාට වගේම බයෝ ටෙලි නාට්‍යයේ ශාලින්ද කියන චරිත දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතනවා ඉදිරියේදී විකාශය වෙන්න තියෙන අක්ෂි ටෙලි නාට්‍යයේ මා ඉදිරිපත් කරන චරිතයටත් ඉහළ රසික ප්‍රතිචාර ලැබෙයි කියලා.

කැමති තරුවක් ඉන්නවද ඔබට.

නැහැ මම අනුගමනය කරන තරුවක් නැහැ. හැබැයි මම ගොඩක් කැමතියි දකුණු ඉන්දීය සිනමා නළු වික්‍රම්ගේ පෙනුමට හා ඔහුගේ රංගන හැකියාවට. යම් යම් දේවල් ඔහු වගේ කරන්න උත්සාහ කරනවා නමුත්, ඒ මගේ විදිහට. මට අවශ්‍යය නැහැ වික්‍රම් වගේම වෙන්න. මට අවශ්‍යය වන්නේ වික්‍රම් විදිහට මගේම ක්‍රමයක් හදාගන්න උත්සාහ කරනවා. හැබැයි වික්‍රම් කියන්නේ අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනා.  

කලා ක්ෂේත්‍රය ගැන රොයිඩ්ගේ අදහස.

ගොඩක් තරුණ අය මේ ක්ෂේත්‍රයට එනවා. ඒ වගේම තමයි අලුත් නිර්මාණ බිහිවෙන ප්‍රමාණයත් වැඩියි. ලෝකයත් එක්ක අපේ කලාවත් දැන් එකට ගැටෙනවා කියලා හිතෙනවා. දැන් යන්නේ ටෙලි කතා මාලා රැල්ලක්. ලංකාවෙත් දැන් කොටස් අඩු හොඳ ගුණාත්මක හොඳ කතා මාලා නිර්මාණය වෙනවා. ඉතින් තරුණ රංගන ශිල්පියෙක් විදිහට අද ලංකාවේ තියෙන කලා ක්ෂේත්‍රය ගැන සුබවාදි හැඟිමක් මා තුළ තියෙනවා. ඒ වගේම දවසින් දවස අලුත් දක්ෂයින් අද මේ ක්ෂේත්‍රය තුළ දකින්න ලැබෙනවා. ඒක හොඳ දෙයක් අපේ කලා ක්ෂේත්‍රයට.

බුද්ධික සේනාධීර