මම තාම සිංගල්, ඒත් මගේ ඡායාරූප දකින අය හිතන්නේ මම හරි සෙල්ලක්කාර චරිතයක් කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් තමයි නිලූෂි පවන්‍යා කියන්නේ. ඇත්තටම ඇය කොච්චර ලස්සන වුණත් ගොඩක් අය නම් හිතන්නේ ඇය ගොඩක් මපුරු චරිතයක් කියලා. ඇත්තටම එයා එහෙමද.? මේ ඒ ගැනයි කියන්න යන්නේ. නිලූෂි දිවිතුරා නාට්‍යයේ වින්ඩි ට පණපොවන හැටි නම් හරිම තාත්විකයි. ඒකනේ එයාට මේ ඔක්කොම බැනුම්. මේ ඒ ගැන ඈ පුවත්පතකට කිව්ව කතාවක්.

ඉතින් කොහොමද ජීවිතේ?

මේ දවස්වල නම් දිවිතුරා ටෙලි නාට්‍යයේ විතරයිි හැඩ කරගෙන යන්නේ. කරපු ටෙලි නාට්‍ය 3 ක් ඉදිරියේදි විකාශනය වෙන්න තියෙනවා.

මේ දවස්වල ‘වින්ඩි’ ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

වින්ඩි කියන්නේ ගමක ඉඳන් ඇවිත් එයාගේ සංගීත ගමන පටන් ගත් ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ගායන ශිල්පියෙක් වන අගස්ති සමග ආදරයක් පටන් අරන් ඒ ආදරේ ලබාගන්න, රැකගන්න විවිධ හැසිරීම්වලට මුහුණ දෙන චරිතයක්. වින්ඩි ටිකක් නපුරුයි. හොඳ නරක දෙකෙන්ම ප්‍රතිචාර ලැබෙනවා. පාරෙදි මුණ ගැහෙන හැමෝම නම් අහන්නේ ඔච්චර ඇයි අනේ නපුරු කියලා.

නිරූපිකාවක් වුණ නිලූෂිට කොහොමද රංගනයට පාර කැපෙන්නේ?

රඟපාන්න ඕනෑ, ජනප්‍රිය වෙන්න ඕනෑ කියන සිහින මට තිබුණේ නැහැ. මට ඕනැ වුණේ නිරූපනය සහ නර්තනය පැත්තෙන් ඉස්සරහට යන්න.

ඔහොම ඉන්නකොට නිරූපන වැඩසටහනක විනිශ්චයවරියක් විදිහට ගිය වෙලාවේ මට අනෝජා අක්කා මුණ ගැහෙනවා. එයා මාව දැකපු ගමන් ඇහැව්වේ ඔච්චර ලස්සන රූපයක් තියාගෙන ඇයි රඟපාන්නේ නැත්තේ කියලා. මම කිව්වා මට ආසාවක් නැහැ කියලා. ඒත් ටික දවසකට පස්සෙ අනෝජා අක්කාම තිර පරීක්ෂණයකට මට එන්න කියලා කිව්වා. ඒත් මම සියවතාවක් හිතුවා මම මේකට යනවාද කියලා. කොහොම හරි එරංග සේනාරත්න මහතාගේ ‘නිලූ මං ආදරෙයි’ චිත්‍රපටයට තමයි මුලින්ම දායක වෙන්නේ.
ඒ වෙනකොට රඟපාන්නේ මොකක්ද කියලාවත් මම දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ රංගනය ගැන හැදෑරුවා. ටික ටික නිර්මාණ ලැබුණා. ටෙලිි නාට්‍ය දෙකක් තුනක් කරනකොට අත්දැකීම් දැනුම ලබා ගන්න පුළුවන් වුණා.

වින්ඩි නපුරු වුණාට නිලූෂි පෞද්ගලික ජීවිතේ හාත්පසින්ම වෙනස් චරිතයක් නේද?

ඇත්තටම ඔව්. ගෙදර මම බොහොම නිවුණු චරිතයක්. මම ටිකක් ආගම දහමට බරව ජීවත්වෙන කෙනෙක්. ඒත් මගේ ඡායාරූප දකින අය හිතන්නේ මම හරි සෙල්ලක්කාර චරිතයක් කියලා. මගේ පෙනුමට වඩා ඇතුළෙ ඉන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක්.

මම පාසල් කාලේ ඉඳලාම භාවනා කරන්න, සොබාදහමත් එක්ක ඉන්න හරිම ආසයි. ආගමට ගොඩක්ම ගැඹුරු වෙන්නේ මගේ පාසලේ පන්තිභාර ගුරුතුමිය නිලන්ති මිස් නිසා. නින්දට කලින් ගොඩක් කාලයක් මම භාවනා කළා. කලා වැඩකටයුතු එක්ක මට ඒක මඟහැරුණා. හැබැයි පුළුවන් හැම වෙලාවකම මම භාවනා කරනවා. ඒවාගේම මම දැන් අවුරුදුු 15 ක සිට නිර්මාංශයි.

ඒ පෝෂ්‍යපදාර්ථ ලබා ගන්න විශේෂ විටමින් වර්ග ගන්නවාද?

අනේ මම විටමින් වර්ගයක් ගන්නේ නැහැ. මම හොඳට එළවළු, පලතුරු කනවා. පාසල් කාලේ ඉඳලාම හැමෝම කියන්න ගත්තා වයසට යනකොට අසනිප වෙයි ඒ පෝෂ්‍යපදාර්ථ ඇඟට අනිවාර්යයෙන් ඕනෑ කියලා. ඒකට බලපාන්නේ අපේ හිත. මම අදටත් බෙහෙත් පෙත්තක්වත් බොන්නේ හරිම අඩුවෙන්.

සම්පූර්ණයෙන්ම නිර්මාංශවීමත් එක්ක ශාරීරිකව ඇත්තටම මට ලොකු සැහැල්ලූවක් ගෙන දෙනවා. විශේෂයෙන් මම පෙරට වඩා සෞඛ්‍ය සම්පන්නයි කියලා හිතෙනවා. වැඩිපුරම මගේ ආහාර වට්ටෝරුවට එකතු කරන්නේ සෝයාමීට්, හතු වර්ග, පොළොස් වගේ දේවල්. ෂූටිං ගියාමත් කෑම ගැටලූ ඇති වෙන්නේ නැහැ. වෙජි කෑම එකක් ලැබෙනවා. විදෙස් සංචාරවලදී නම් වෙජි කෑම හොයාගන්න ලොකු අපහසුතාවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. කොරියාවේදී වෙජි සුප් එකක් ඉල්ලූවාම මට ලැබුණේ ගොළුබෙලි සුප් එකක්. වෙලාවක් ලැබෙන හැම පෝය දිනකම මම සිල් ගන්න යනවා. අදටත් කොච්චර වැඩ තිබුණත් ඒ පුරුද්ද වෙනස් වෙලා නැහැ. ආධ්‍යාත්මික සුවයට මම හරිම ප්‍රියයි.

ජීවිතේ බැඳීම් ගැන මොකද හිතන්නේ?

ජීවිතේ අපි මේ හැමදේම කරන්නේ සතුට වෙනුවෙන්. බැඳීමක් තුළ වුණත් තියෙන්නේ සතුට. අපිි ඒක ඇතුළෙ සොයන්නේ සතුට. ඒ සතුට නොහිතන වෙලාවක නැති වුණොත් අපි ලෞකික මිනිස්සු විදියට ඒක දරාගන්න අමාරුයි. අන්න ඒ නිසා මම ලොකු බැඳීම් එක්ක ජීවත් වෙන්න කැමැති නැහැ. මම බැඳීම් ඇති කරන්න උත්සාහ කරන්නේ අවබෝධයෙන්. මොකද මිනිස්සු තේරුම් ගන්න හරිම අමාරුයි.

නිලූෂි තාම ප්‍රේමණීය බැඳීමක් ගැන හිතලා නැද්ද?

විවාහ වෙන්න ඕනෑ. විවාහයත් බැඳීමක්. එය ඕන නැහැ කියන තැන මම නැහැ. නමුත් මම තාම සිංගල්. මේ නිදහස් ජීවිතේ තව ටික කාලයක් විඳින්න මම හරිම කැමැතියි.

පවුලේ තොරතුරු මොනවාද?

මම පදිංචි වෙලා ඉන්නේ හලාවත. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, අක්කයි. මම පවුලේ බාලයා.