රංගනය එන්න කලින් මම නිරූපණයට සම්බන්ධ වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයට නවකයෙක් වූ රිද්ම අතුකෝරළ වෙනුවෙන් මෙවර සාරවිට අප ඉඩක් වෙන් කළා. නිරූපණ ශිල්පියෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි රිද්ම වර්තමානය වනවිට රංගන ශිල්පියෙකු ලෙස වැඩිපුර කටයුතු කරමින් සිටියි. ඉදිරි කාලයේදී කලා නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබෙන රිද්ම සිය අදහස් අප සමග මෙසේ බෙදාහදා ගත්තා.

ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඔබ නිරූපණ ශිල්පියෙක් විදිහට?

ඔව්, ක්ෂේත්‍රයට ආවේ නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩ කරලා. හැබැයි මගේ ඉලක්කය වෙලා තිබුණේ රංගන ශිල්පියෙක් වෙන්න. අත්දැකිම් ගන්න වගේම රංගනයට එන්න මාර්ගයක් හදාගන්න තමයි මම නිරූපණය කරන්න හිතුවේ. ඒ හින්දා තමයි මම නිරූපණ ශිල්පියෙක් විදිහට මුලින්ම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

නළුවෙක් වෙන හීනය හිතට ආවේ කොහොමද?

තෙරේන කාලේ ඉඳලා. පාසල් යන කාලේ චිත්‍රපට, ටෙලි නාට්‍යය එහෙම මම නිතරම වගේ බලනවා. එතකොට තමා හිතුණේ කවදා හරි දවසක මම හොඳ දක්ෂ නළුවෙක් වෙනවා කියලා. හැබැයි ඉතින් නළුවෙක් වෙන එක හිතුවට වඩා ගොඩක් අමාරු වුණා. ගොඩක් බාධක මැද්දේ තමයි අද මම නළුවෙක් විදිහට මේ ගමන ඇවිල්ලා තියෙන්නේ.

වෘත්තියක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ දිගටම රැඳිලා ඉන්නද අදහස?

අනිවාර්යයෙන්ම. මොකද, මේක මගේ හීනේ. දැන් ඒ හිනේ මම ඉටු කරගෙන තියෙන්නේ. ඉතින් මට හැකි උපරිම කාලයක් මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න කැමතියි. නවකයෝ ගොඩක් අද මේ ක්ෂේත්‍රයට එනවා. ලොකු තරගකාරිත්වයක් තියෙනවා. ගොඩක් අය අවස්ථා හොයනවා. සමහර අයට අවස්ථා ඕනාවටත් වඩා ලැබෙනවා. හැබැයි බොහෝම අඩු පිරිසකට තමයි මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න අවස්ථාව හිමිවෙන්නේ. මම කැමතියි මේ ක්ෂේත්‍රය තුළ පැවැත්මක් හදාගන්න. ඒකට මම දැන් ඉඳලාම මහන්සි වෙනවා.

දැනට දායක වුණ කලා නිර්මාණ මොනවද?

ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපටයක මම රඟපානවා. ඒක අධ්‍යක්ෂණය කරන්නේ අකිල සඳකැළුම් අයියා. ඊට අමතරව පසුගිය කාලේ ටෙලි නාට්‍යය කිහිපයකම පොඩි චරිත නිරූපණය කළා. තව ඉදිරියටත් මා දායක වුණ නිර්මාණ කිහිපයක්ම නිකුත් වෙන්න තියෙනවා. මම ගොඩක්ම කැමතියි එකම රාමුවකට කොටු නොවූ විවිධත්වයෙන් පිරූණු චරිත කරන්න. ඒ නිසා ඉදිරියේදී හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අද තියෙන කලා ක්ෂේත්‍රය ගැන ඔබ දරණ අදහස?

ඇත්තටම කලා ක්ෂේත්‍රය කියන්නේ දවසින් දවස අලුත් වෙන තැනක්. මීට වසර දහයකට පහළොවකට උඩදි තිබුණ කලා ක්ෂේත්‍රය නෙමෙයි දැන් තියෙන්නේ. ඊට හාත්පසින්ම වෙනස් එකක්. අද බිහිවෙන නිර්මාණ වුණත් බලන්න. විවිධත්වයෙන් පිරුණු ඒවා. ඒ වගේ තාක්ෂණික අතින් දැනුම අතින් ලොකු වෙනසක් අද බිහිවෙන නිර්මාණවල තියෙනවා. මගේ මතය නම් මේ ක්ෂේත්‍රය තුළ අපි වගේ නවකයින් රැඳෙන්නේ නම් අනිවාර්යයෙන්ම දැනුමක් හැදැරීමක් තියෙන්නම ඕනා. මේ ක්ෂේත්‍රය තුළ දැනුමක් හැදැරීමක් නැත්නම් ඒ කෙනාට මේ ක්ෂේත්‍රය තුළ ලොකු ගමනක් නැහැ. මට ඕනා මගේම කියලා අනන්‍යතාවයක් මේ ක්ෂේත්‍රය තුළ හදාගන්න ඉදිරියට යන්න.

ක්ෂේත්‍රය තුළ ඔබට ප්‍රවිණයින්ගෙන් ලැබුනු ගුරුහරුකම් කොහොමද?

මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මා මෑතකදී එක්වූ චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමා වන අකිල සඳකැළුම් අයියාව. ඔහු මට මේ ක්ෂේත්‍රය  තුළ මුණ ගැසුණු නිහතමානි කළකරුවෙක්. ගොඩක් ගුරුහරුකම් මට ඔහුගෙන් ලැබුණා. ඊට අමතරව දමිත්‍රි අක්කා, දසුන් විජේසිංහ හා ඔශාන් ලියනගේ ගොඩක් උදව් කළා මගේ රංගන හැකියාවන් මුදුන්පත් කරගන්න.

රිත්මාල්ගේ පවුල අය කැමතිද ඔබ රංගන ශිල්පියෙක් වුණාට?

අම්මා, තාත්තාගේ උදව් නැත්නම් අද මම රංගන ක්ෂේත්‍රය තුළ නැහැ. ඔවුන් තමයි මාව හැම වෙලාවේම දිරිමත් කළේ. අදටත් මගේ අම්මා, තාත්තා දෙන්නා මා පසුපස ඉඳගෙන මාව දිරිගන්වනවා. මම මොන දේ කාරත් මාත් එක්කම මගේ හයිය වෙලා මාව වැටෙන තැන් වලදි ඒ දෙන්නා මාත් එක්ක ඉන්නවා මාව නැගිට්ටවන්න. ඒ වගේම මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා ලක්මාල් ෆර්නැන්ඩූ අයියාව. ඔහු තමයි මගේ හීනේ සැබැ කරන්න මුලින්ම අත දුන්නේ.

බුද්ධික සේනාධීර
ඡායාරූප - සුපුන් උදයංග