රඹුකන හාමුදුරුවෝ කන්ඩබොන්ඩ දිදී ගංගාරාමෙ නවාතැන් දුන්නා - වී පැදුරෙන් ඉගිල්ලුණු කුරුල්ලා

  • 05-11-2021
  • Views 224

ඉර හැංගී අවසානය හැබැයි ඒ සිතිජයේ හෝ සයුරේ හෝ නොවේ පෑලදිග අහසේමය. ඒ කේසේදැයි ඔබ ප්‍රශ්න කරන්නට බැරි නැත. එහෙත් අහසේදී ඉර හැංගේ නම් ඒ වලාකුළක විය යුතුය. 
මේ දිනවල පවතින්නේ වැහිබර අහසකි. කළු මේ කුළු අහස පුරා වටමය. අහසේ නිල්පාට සොරාගත්තේ කවුදැයි සිතන්නටවත් නුපුළුවන. ඉර හංගගත්තේ ඒ කළු මේ කුලුය. මම මිරිහානේ පිහිටි ඒ නිවෙසට යනවිටත් සිහින් වැහි පොද පතිත වෙමින් තිබිණි. 
අහස මහා වැස්සකට අර අදී. එහෙත් ඊට කලින් ඔහු හමුවී කතා බහ අවසන් කරගත යුතුය. 
ඔයා එනකම් බලාගෙන හිටියේ
ඔහු ක්‍රිෂාන්ත එරන්දක කීවේ ලෙංගතු කමින් හදවත පුරෝගෙනය. 

වී පැදුර ඇකිලුවද

මම මිදුල දෙස බලා විමසුවෙමි. මොහු පුදුමයෙන් මෙන් මදෙස බැලීය. 
මෙහෙ කොහෙන්ද වී?
ඔහු හීන් හඬින් ඇසුවේය. 
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලකු ලෙසින් 
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ළඟින්.
මම හීන් හඬින් මිමිනුවෙමි. 
ඔහු සිනාසුනේ හඬිනි.
ඒ වී පැදුර එලුවෙ මම නෙවෙයිනෙ මහින්ද දිසානායක සර් නේ...
ක්‍රිෂාන්ත එරන්දක අද මිරිහානේ පදිංචිව සිටියත් ඔහුගේ ගම් පළාත අනුරාධපුරයයි. සුන්දර රජරටයි. එහෙත් ඔහු වී පැදුරෙන් ඉගිලුණු කුරුල්ලකු ලෙසින් කොළම්තොටට පියඹා පැමිණ තිබේ. 

ඒ ඇයි දැයි ඔහුගෙන් ඇසිය යුතුය.

එහෙත් ඊට කලින් ඔහුගේ පුංචි සන්දියේ වංහුං විමසන්නට මම තීරණය කළෙමි.
මගෙ පුංචිම දවස් ගෙවිලා ගියේ නාච්චදූවේ වැව් ජනපදේ නෙලුබෑව ගමේ. 
ඔහු කියන්නට හදන්නේ සුන්දර කතාවකි. 
හැබෑයි. පුංචිම කාලේ ඉස්කෝලෙ ගියේ ත්‍රිකුණාමලේ සෙන්ත් ඇන්තනීස් ඉස්කෝලෙට.
පස්සේ අනුරාධපුරේ ටවුමේ ශාන්ත ජෝශප් ස්කෝලෙට එනවා. 
මගේ අම්මට තාත්තට ඕනෑවෙලා තිබ්බේ මාව සංගීතය පැත්තට යොමුකරන්න. කොහොමටත් ඔය කාලේ මම ස්කෝලෙ හැම කලා වැඩකටම සම්බන්ධ වෙනවා. සමිතියේ හැමදාම සිංදු කියනවා. පද්‍ය ගායනා තරගවලට යනවා. 
ඔය කාලෙදි රජරට සේවයෙන් ළමා ගී වැඩසටහන් කරන්න සූදානමක් තිබ්බා. රජරට ඉන්න ළමයින් අතරින් ගායන හැකියාව තියෙන ළමයින්ව එකතු කරලා ඕක දැනගෙන මගේ අම්මා රජරට සේවයට ඉල්ලුම් පත්තරයක් දාලා. ඒකට මටත් කැඳවීම ආවාම අම්මා මාව එක්කගෙන ගියා. එදා ළමයි තුන්දාහක් විතර ඇවිත් හිටියා. ඔය ළමයි එක එක්කෙනාව අරගෙන ගීතයක් කියන්න කියනවා. මම කිව්වේ දන්නෝ බුදුන්ගේ සිංදුව.
සාමාන්‍යයෙන් සිංදුවෙන් භාගයක් කියනකොට ඒ ළමයට සිංදු කියන්න පුළුවන්ද කියන එක විනිශ්චය මණ්ඩලය තේරුම් ගන්නවා. ඒත් මට කිව්වා මුළු සිංදුවම කියන්න කියලා. 
අන්තිමේදී ළමයි විසිහත් දෙනෙක් තෝරාගෙන තිබුණා. නාලක අංජන කුමාරත් එක්කෙනෙක්. මාත් එක්කෙනක්.

ඊට පස්සේ ක්‍රිෂාන්ත රජරට සේවයේ ළමා ශිල්පියෙක් විදිහට සිංදු කියනවද ඉතිං?

නිහඬව අසා සිටීම හොඳ මදියැයි කල්පනා කළ බැවින් මම ඇසුවෙමි. 
ඔව්නේ. අද බලනකොට ඒක මට ලොකුම වරප්‍රසාදයක්.
ක්‍රිශාන්ත සිනාසේ. ඔහුට ඉතිරියත් කියන්නට ඉඩදෙමි.
සතියකට දවසක් අපි කීපදෙනෙක්ම රජරට සේවයට ගෙන්ගන්නවා. රජරට සේවයේ ළමා ගීත බැංකුවක් හදලා තිබ්බා. ඕකේ තියෙන පද රචනා වලින් හොඳ සිංදු තෝරාගෙන සංගීතඥයාට දෙනවා. එයා සිංදුව ළඟ තියාගෙන අපිටත් පේන්නට තනුව හදනවා. 
ඊට පස්සේ ඒ තනුවට අනුව අපිට සිංදුව පුරුදු කරවනවා. 
උදේ ඉඳලා හැන්දෑ වෙනකම්ම අපිට ගීතය ගායනා කරන හැටි කියලා දෙනවා. පුහුණු කරනවා. හැන්දෑවේ එළිමහනකදී තමයි ගීතය පටිගත කරන්නේ. වාදක මණ්ඩලේ වාදනය කරනවා. ළමයා සිංදුව කියනවා. ඒ මොහොතෙම රෙකෝඩ් කරනවා. හිටපු ගමන් ගායකයට වරදිනවා. නැත්නම් වාදකයාට වරදිනවා. එතකොට ආපහු මුල ඉඳලා සිංදුව කියන්න ඕනෑ. හරි සුන්දර වැඩක්. 

මං හිතුවේ පුංචි නිසා එපාවෙන්න ඇති කියලා. 

අපොයි නැහැ... හරිම සුන්දර වැඩක්. කොහොම හරි මං කියපු ළමා ගීත විසිපහක් රජරට සේවයේ තියෙනවා. තවමත් ඒවා ප්‍රචාරය වෙනවා. 
දැන් ඉලන්දාරියා විදිහට ඒ ළමා ගීත අහනකොට මොකද හිතෙන්නේ. ආයෙමත් ඒවා කියන්න හිතෙන්නේ නැද්ද?

මම ඔහුට බාධා කරමි.

මීට අවුරුදු දෙකකට කලින් රජරට සේවයේ තිස්වැනි සංවත්සර උත්සවය තිබ්බා. ඒ වෙලාවෙ රජරට සේවයට එදා සිංදු කිව්ව ළමා ශිල්පීන්ව ඇගයීමට ලක් කළා. එදා මටත් සිංදුවක් කියන්න වුණා.  
දෙපසට දෑත විදා
අව් වැසි ගැන නොතකා
සුදු හුණු ගාගෙන
මූණේ හැඩ වැඩ
ලොකු මාමගෙ හේනේ පඹයා.
මං එදා කිව්වේ මගේ ජනප්‍රියම ළමා ගීතයක්. 
මට මතකයි මගෙ තව ළමා ගීතයක්.
වැව් තාවුල්ලේ දිවුල් ගහේ
දිවුල් කඩාගෙන පොලට ගිහිල්ලා
හතරයි විසිපහට විකුණලා
කඩෙන් ගත්තු ලස්සන බෝලේ
ක්‍රිෂාන්ත ඔහුගේ තරුණ හඬින් ළමා ගී ගයන හැටි මම අසා සිටිමි. 
ඉලන්දාරි හඬින් ළමා ගී ගැයීම එදා සභාතොමෝ සතුටින් උදම් වෙන්න ඇති නේද?
මම සිනාසෙමි.
ඇත්තටම සභාවේ හිටපු අයට වගේම මටත් එදා හරි විනෝදයි. 

අවුරුදු කීයක් විතර වෙනතුරු ළමා ගී කිව්වද ඉතිං.

මම ළමා විය යනු අවුරුදු කීය දක්වා දැයි දැනගනු රිසින් ඇසීමි. 
අවුරුදු දාසය වෙනතුරු. මම නමේ පංතියට එනතුරුම. ඊට පස්සේ ඉලන්දාරි වයස සාමාන්‍ය පෙළෙන් උසස් පෙළට ඇවිත් දික් කලිසම අඳිනා කාලේ... යොවුන් විය ඇවිත්.... අන්න ඒ කාලේදි මේ ගායකයාට මොකද වෙන්නේ?

මම ක්‍රිෂාන්ත දෙස ගැඹුරු බැල්මක් හෙළිමි.

මම ගියේ ශාන්ත ජෝශප් ස්කෝලෙට කිව්වනේ. තව ස්කෝල දෙකක් ටවුමේ තිබ්බා. කොන්වන්ට් එකයි සෙන්ට්‍රල් එකයි. 

එතකොට ක්‍රිශාන්ත උන්නේ පිරිමි ළමයි විතරක් ඉන්න ස්කෝලෙකද?

මම බොහෝ දුකින් ඇසීමි.
ඔව්. 
කොන්වන්ට් එක පැත්තේ එහෙම යන්න ලැබුණේ නැද්ද ඉතිං. 
මොකද නැත්තේ. නිදහස් උත්සවේට එහෙම නැත්නම් ඇමැති කෙනෙක් එන උත්සවේකට වගේ දේවල්වලට සිංදු කියන්න ඔය ස්කෝලවලට යන්න සිද්ධ වුණා. 

ප්‍රථම ප්‍රේමය ඇති වෙන්නේ ඔය කාලේ?

මම ක්‍රිෂාන්ත දෙස බැලිමි. 
පොඩි පොඩි ආකර්ෂණ නම් තිබුණා තමයි. ඒත් ප්‍රේමයක් දක්වා ගිය සම්බන්ධකම් තිබ්බේ නැහැ. මොකද ඔය කාලේ ස්කෝලවල විනය නීති බොහොම තදයිනේ.
එතකොට අර ගායකයා.
උසස් පෙළ පංතිවලදී මම මුල්තැන දුන්නේ ඉගෙනීමට. 
ඉගෙනීමට 

එහෙම නම් උසස් පෙළ උසස් විදිහට ගොඩ දාගන්න ඇති. 

පිසික්ස් පේල්.

ඔහෙ පලයං. ඒ කියන්නේ ක්‍රිෂාන්ත උසස් පෙළට කලේ විද්‍යා විෂයයන්.

ඔව්.
සියලු සයන්ස්කාරයෝ අනිත්‍යය කියන කතාව තව පාරක් ඇත්ත වුණා එතකොට?
මම ක්‍රිෂාන්තගේ මුහුණු බලමි. 
ඔහු හඬින් සිනාසුණි. 

දෙවැනි වතාවටත් විභාගෙ ලිව්වද?

නෑ. ඒ වෙද්දි මගේ නංගිලා දෙන්නත් ඉගෙන ගන්නවනේ. තවදුරටත් මට වියදම් කරන්න අම්මට තාත්තට බැරි නිසා මම ආයේම විභාගෙ කරන අදහස අතෑරියා..

අපරාදේ?

මට කියැවිණි.
ක්‍රිෂාන්ත සිනාසුණේය. ඔහුගේ සිනාව කීවේ කිසිම අපරාදයක් සිදුනොවූ බවය. 
ඔව් එය දෛවයේ කැමැත්ත විය හැකිය. 

යුගයක් අවසානය ඊළඟට තවත් යුගයකි. මේ යුග දෙක අතර කාලය හඳුන්වන්නේ නන්නත්තාරේ අවධිය ලෙසය. ජීවිතයේ අනාගතයට මං පෙන්වන්නේ මේ නන්නත්තාරෙ කාලයයි. සමහරු පොත පත කියවා ජීවිතය හදාගනියි.
පාප මිත්‍ර ඇසුරට එක්වන සමහරෙක් ජීවිතය වරද්දා ගනියි. 
එහෙත් ක්‍රිෂාන්ත ජීවිතයට හරි මඟ තෝරාගෙන තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. 
ඊට පස්සේ මොකද කරන්නේ 
මම ඒ නන්නත්තාර යුගය ගැන විමසමි. 
ඔය කාලේ කරුණාරත්න විජේවර්ධන අනුරාධපුරේ සංගීත පංතියක් කළා. මමත් ඕකට යනවා. ඔතෙන්දි මුණුගැහෙන්නේ සංගීතකාමී යාලුවෝ පිරිසක්. ඔතනදී අපි හදාගන්නවා සුහානා කියලා සංගීත කණ්ඩායමක්. අපි ප්‍රසංග කරනවා. ඔය ප්‍රසංගවල මම සිංදු කියනවා. 
ඔය කාලේ මගේ යාලුවෝ කිව්වා ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරමු කියලා. ඇත්තටම මටත් එහෙම දෙයක් කරන්න ඕනෑවෙලා තිබුණේ. යාලුවෝ යොවුන් නිකේතනය බුක්කරලා ප්‍රසංගය සංවිධානය කළා. පත්තර කඩදහිවල රතු අකුරෙන් කුරවි සර කියලා ලියලා බිත්ති පුරා ඇලෙව්වා.
ඔය අතරේ මම ස්වතන්ත්‍ර සිංදු ටිකකුත් හොයාගත්තා. මගෙම අලුත් සිංදු දහයකුයි තව ජනප්‍රිය ගීතයි එකතු කරලා තමා මේ ප්‍රසංගය තියන්න ප්ලෑන් කළේ. ඊළඟට ආපු ප්‍රශ්නේ යුග ගී කියන්නේ කවුද කියන එක. 
මගේ යාලුවෙක් කිව්වා එයාගේ යාලුවෙක් ඉන්නවා මාලනී බුලත්සිංහල මිස් අඳුනනවා. ඒ හරහා අපි මාලනී මිස්ට කතා කරමු කියලා. 
මාලනී මිස් වගේ දැවැන්ත චරිතයක් මං වගේ ආධුනිකයෙක් එක්ක සිංදු කියයිද කියලා මං ඇහුවේ පුදුමයෙන්.
උඹ පේන බලන්නැතුව ගිහිල්ලා මාලනී මිස්ව හම්බවෙයන් යාලුවා කේන්තියෙන් කිව්වා. 
පස්සේ දවසක අපි දෙන්නම කොළඹ ගියා. 
අපි ගියේ මාලනී මිස්ගේ සංගීත පංතියට...
මොකද පුතා?
මාලනී මිස් ඇහුවා?
මම අනුරාධපුරේ ගීත ප්‍රසංගයක් තියන්න යන්නේ. ඒකේ යුග ගීතය කියන්න මිස්ට කතා කරන්නයි ආවේ. 
ඊට කලින් ඔයා සිංදුවක් කියලා පෙන්නන්නකෝ...
කියලා මාලනී මිස් කිව්වා. පස්සේ මම සිංදුවක් කිව්වා. ඔයාට සිංදු කියන්න නම් පුළුවන්. මොකක්ද එතකොට ඔයා කියන යුග ගීතය.
මම මගේ අතේ තිබුණු කොළේ දුන්නා. 
මගෙ ආදර පවසට ඔබ 
නියං කලට හඬන අහස 
මගෙ අාදර වරුසාවට 
යටිකුරු කළ කලයකි ඔබ
ඒක කියවල බලපු මිස් ලස්සනට හිනා වුණා. 
අන්න කාරෙකේ ජයේ ඉන්නවා. පුතා ගිහින් එයා එක්ක කතා කර ගන්නකෝ. එදාට මම එන්නම්. එච්.එම්. ජයවර්ධන සර් කාර් එකේ හිටියා. මං ගිහිල්ලා එයත් එක්ක විස්තර කතා කරගත්තා. 
ප්‍රසංගේ දවසේ වෙලාවටම මාලනී මිස් ආවා. එදා එයා එයාගේ සිංදු පහකුත් කියලා මා එක්ක යුග ගීතයත් කිව්වා. 
ප්‍රසංගය බලන්න ආපු කට්ටිය ගොඩාක් සතුටු වුණා. ඒ කාලේ මාලනී මිස් ප්‍රසංගයක සිංදු කියන්න ගන්නේ රුපියල් හත්දාස් පන්සීයයි. 
ඉතිං මම කවරෙකට දාලා ඒ මුදල මිස්ගේ අතේ තිබ්බා.
එපා පුතා ඔයා තියාගන්න. මාලනී මිස් කිව්වේ එහෙම. ඒත් අන්තිමේදී මගේ බල කිරිල්ලට එයාගේ පෙට්‍රල් ගාස්තුව විතරයි ගත්තේ...
ඔයා ප්‍රසංගෙන් පස්සේ ක්‍රිෂාන්ත ගැන මුළු අනුරාධපුරේම දැනගන්න ඇති.. 
මම ඇසීමි. 
ඔව්...
ඊට පස්සේ නව යුගයක්? එහෙම නේද?
ඔය අතරේ සුහානා කණ්ඩායමට ප්‍රසංගයක් ආවා. අසනීප වුණු ළමයෙකුට ආධාර එකතුකරන්න. ඔය ප්‍රසංගයට ජානක වික්‍රමසිංහ, ජගත් වික්‍රමසිංහ, අසංක ප්‍රියමන්ත, මාලනී බුලත්සිංහල කියන අය ආවා. ඕකෙදි මාලනී මිස් මගෙත් එක්ක මගේ ආදර සිංදුව කිව්වා. 
ඔන්න ඔය අතරෙ රූපවානිහිනියේ පැහැසර කියන වැඩසටහනට මගෙ ආදර සිංදුවත් රෙකෝඩ් කළා. එදා මමයි මාලනී මිසුයි කියපු සිංදුව පස්සේ දවසක විකාශය වුණා. 
එදා ක්‍රිෂාන්ත එරන්දක රජවුණු දවස?
මම ක්‍රිෂාන්තගේ මුහුණ බලමි. 
ඇත්තටම.... රූපවාහිනියේ මගේ සිංදුවක් විකාශය වෙනවා කියන්නේම රජවුණා වගේ දෙයක් තමා, මං වගේ ආධුනිකයෙකුට 
ක්‍රිෂාන්ත කියන්නේ ආඩම්බරයෙනි.
ඊට පස්සේ ටිකක් උඩින්ද අඩි තිබ්බේ. 
මම ක්‍රිෂන්තගේ මුහුණ බලමි. 
අනේ නෑ අයියේ මම පුරුදු විදිහට මගේ පුට් බයිසිකලේ පැදගෙන එහෙ මෙහෙ ගියා. ඔහොම යද්දී එක දවසක් හරි අපූරු දෙයක් සිද්ධ වුණා. එදා ක්‍රිකට් මැච් එකක් තිබ්බ දවසක්.... සිංගර් එක ළඟ මිනිස්සු වට වෙලා මැච් එක බලනවා. මම බයිසිකලෙන් බැහැලා ඔතෙන්ට ඔලුව දැම්මා. ස්කෝර් එක බලන්න. 
ඒ වෙලාවේ මැච් එක නතර වෙලා විරාමෙට සිංදුවක් යනවා. 
මගේ ආදර.......
මට පුදුම හිතුනා... මං කටත් ඇරගෙන මගේ දිහාම බලාගෙන හිටියා. මටම පුදුමයි. මැච් එක අස්සේ මගේ සිංදුවක් යනකොට. 
ඒ අතරේ ඔයාගේ බයිසිකලේ නැතිවෙලා තිබ්බේ නැද්ද?
මම විහිළුවට ඇසීමි. 
හොඳ වෙලාවට එහෙම වෙලා තිබ්බේ නැහැ. 
අනුරාධපුරේ හොරු ඉන්න නැතුව ඇති. 
මාත් හිතන්නේ එහෙම තමා නැත්නම් හොරුත් මැච් එක බලන්න ඇති. 
අපි හඬනගා සිනාසුනෙමු. 
ඉන් පස්සේ ඔයාට තවත් හීනයක් දකින්නට හිතෙන්න ඇති...
මගේ සිංදු ගොඩ වැඩි කරගන්න තව සිංදුවක් කරගන්න හිතුනා.

ඉතිං මොකද කරගත්තේ?

මම මහින්ද දිසානායක සර් හමුවෙන්න ගිහින් තව සිංදුවක් ලියලා දෙන්න කියලා කිව්වා.
සතියකට විතර පස්සේ මහින්ද සර් අපේ මාමාගේ කඩේට සිංදුවක් දීලා තිබුණා... ඒක තමයි වී පැදුරෙන් ඉගිලී යන....
මම ගිහිල්ලා මහින්ද සර්ට ස්තූති කළා. 
සර් ඇහුවා කොහොමද දැන් ඔය සිංදුව කරගන්නේ කියලා. මං කිව්වා එච්.එම්. ජයවර්ධන සර්ට දීලා මියුසික් කර ගන්නවා කියලා. 
ඔයාට කොළඹ ඉන්න වෙයිනෙ දවස් ගණනක්... කොහොද නවතින්නේ කියලා ඇහුවා. 
මං කිව්වා වත්තල නෑයෝ වගයක් ඉන්නවා කියලා. 
එතකොට මහින්ද සර් කිව්වා, එහෙම නෙමෙයි පුතා ඔයා කෙලින්ම ගංගාරාමෙට යන්න. එහෙ ඉංග්‍රීසි අංශෙ ඉන්නවා රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ. දුර බැහැර ඉන්න හැමෝටම උදව් කරන්නේ ඒ හාමුදුරුවෝ තමා. ඔයාටත් පිහිට වෙයි කියලා. 
ඉතිං මම මුලින්ම ගියේ ගංගාරාමයට. ගංගාරාමෙට යනකොට දවල් එකට විතර ඇති. මම හාමුදුරුවන්ට වැඳලා ආ ගිය විස්තර කිව්වා... හාමුදුරුවෝ මගේ ගීතය අහලා දැකලා තිබුණා. බඩගිනිත් ඇති නේද? කියලා හාමුදුරුවෝ මුලින්ම මට බත් එකක් බෙදලා දුන්නා. 
ඊට පස්සේ එච්.එම්. ජයවර්ධන හමුවෙන්න ගියාද? ඉතිං.
නැහැ. වී පැදුරෙන් සිංදුව බැලුවා මිස ඒ ගැන වචනයක්වත් කතා කළේ නැහැ. මට කන්න බොන්න දිදී සතියක් විතරම ගංගාරාමේ තියාගත්තා. ගංගාරාමෙට එන කට්ටියට එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, ආනන්ද හේවාරංහිඳගේ වගේ මහා ගොඩකට මාව හඳුන්වලා දුන්නා. ඒ දැන හැඳුනුම්කම් වගා කර ගෙන සතියක් විතර ගෙවුණා. මට දැන් ගෙදර යන්නත් ඕනෑ. මං හාමුදුරුවන්ගෙන් ඇහුවා එච්.එම්. සර් මුණගැහෙන්නද ගිහින් කියලා. 
හාමුදුරුවෝ කිව්වා, ඊට කලින් ඇලකන්දට ගිහින් අයිපෙක්ස් කියන තැන ඉන්න ජයසිරි ජයවර්ධන මහත්තයාව හමුවෙන්න කියලා. 
මං ඇහුවේ නෑ ඒ ඇයි කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ මට සල්ලිත් දුන්නා. මං ඉතින් ඇලකන්දට ගියා. 
ජයවර්ධන මහත්තයා මගෙන් ඇහුවා කෝ අධ්‍යාපන සහතික කියලා. 
මං කිව්වා මං සහතික ගෙනාවෙ නැහැ. මං ආවේ  එච්.එම්. ජයවර්ධන සර් මුණගැහෙන්න කියලා. 
එතකොට ජයවර්ධන සර් හිනාවෙලා කිව්වා එහෙනම් ගිහින් සහතික අරන් එන්න. හාමුදුරුවෝ මට කිව්වේ ඔයාට රස්සාවක් දෙන්න කියලා කිව්වා. 
ක්‍රිෂාන්තගේ ඇස් පුදුමයෙන් විසල්ව තිබේ. ඔහුට පමණක් නොව මටද පුදුමය. සිද්ධාර්ථ හාමුදුරුවෝ මගේද හිතෛෂී හිමිනමක වුවත් උන්වහන්සේ අනෙකෙකුට කළ උදව් පදව් ගැන වචනයක්වත් කියන්නේ නැත. 
ඉතිං?
මම ක්‍රිෂාන්තගේ කතාවේ ඉතිරිය කියන්නට ඔහුට කියමි. 
මම සතියකින් ඇවිත් ජයවර්ධන සර් හමුවුණා. ඒක ඉස්සෝ රට යවන සමාගමක්. මට පර්චසින් සෙක්සන් එකේ රස්සාවක් දුන්නා. 
පඩි දවසේ සර් සේවකයෝ ඔක්කොම ගෙන්නලා සීට්ටුවක් පටන්ගන්න ඕනෑ කිව්වා. ඒ සීට්ටුවෙ පළවෙනි දෙවෙනි සීට්ටු දෙක සර්ටයි මටයි කියලා කිව්වා. ඒ සීට්ටු දෙකේ එකතුව රුපියල් ලක්ෂයක්. ඒක මට දීලා කිව්වා ඔන්න දැන් ඔයාට පුළුවන් අලුත් සිංදු ටිකක් කරගන්න කියලා. 
ඊට පස්සේ දවසක සිද්ධාර්ථ හාමුදුරුවෝ ත්‍රීවීල් එකකින් ඇවිත් මාව ගමනක් එක්ක ගියා. 
යනතුරු මට කිව්වේ එක් එක් ගායකයා ජනප්‍රිය වුණු හැටි. ඒගොල්ලෝ එතෙන්ට එන්න මහන්සි වුණු හැටි. හැබැයි ඒ කිසිම කතාවක හාමුදුරුවො ඒ කාටවත්ම උදව් කළා කියල නම් කිව්වේ නැහැ. 
අන්තිමේදී ත්‍රීවීල් එක නතර වුණේ රාජගිරියේ මාදින්නාගොඩ ඒ ගෙදරින් මතු වුණේ එච්.එම්. ජයවර්ධන, මාලනී බුලත්සිංහල දෙන්නා.
මෙන්න මේ ඉලන්දාරීන්ට මාලනීව මුණුගැහෙන්න ඕනෑලු. හාමුදුරුවෝ කිව්වා. ආ ගිය කතා වලින් පස්සේ හාමුදුරුවෝම ස්ටුඩියෝ බුක් කළා. සිංදුව රෙකෝඩ් කරගන්න වැඩේට උදව් කළා.  ඒ විතරක් නෙමෙයි මට තව සිංදු කරන්නත් උදව් කළා...
ක්‍රිෂාන්ත පහත් වී දෑස පිසගන්න හැටි මම දකිමි. ඔහුගේ ඇසට කඳුළක් දෙකක් උනාවිත් තිබේ. ලංකාවේ දුර බැහැර වෙසෙන බොහෝ ගායන ශිල්පීන්ට ඉන්නට, කන්නට, බොන්නට පමණක් නොව මඟ වියදම ද දෙමින් අපේ රඹුකන හාමුදුරුවෝ අත දුන් බව රහසක් නොවේ. හාමුදුරුවෝ ඒ බව නොකිව්වත් බොහෝ ගායකයන්ට ගායිකාවන්ට උදව් කර ඇත.  
ඉනික්බිති ඔහු ඔහුගේ අලුත් ගීත කරගන්නට ඇත. මුල්ම යුගයේ ජනප්‍රියත්වයට පත් වූ ගීත ගැන මගේ මතකය ඇහැරෙයි. වී පැදුරෙන් මන්දාරම් අඳුර මැදින්, ලියූ කවිපද, ඔන්න ඔය අතරේ සෙනෙවිරත්න වන්නිනායක කියලා ගායකයෙක් ටවර් හෝල් එකේ ප්‍රසංගයක් පැවැත්තුවා. ඔය ෂෝ එකේ ක්‍රිෂාන්තට සිංදුවක් කියන්න දෙන්න කියලා රඹුකන හාමුදුරුවෝ වන්නිට කිව්වා. ගුණදාස කපුගේ, මාලනී බුලත්සිංහල එක්ක මටත් පුංචි ඉඩක් ලැබුණා. ඒක මං වගේ කෙනෙකුට ලොකු අවස්ථාවක්.
ඊට පහුවෙනිදා මට පණිවිඩයක් ආවා කුමරි පත්තරේට ගිහින් ධර්මරත්න පෙරේරා මුණගැහෙන්න කියලා. 
මම ඉතින් ගියා. 
මං අර ෂෝ එක බැලුවා ඔයාට හොඳට සිංදු කියන්න පුළුවන්. ඔයාගේ සිංදු ටිකක් සී.ඩී. එකකට දාලා මට ගෙනත් දෙන්න. මම නිල්වලා එකේ උපුල් ජයසිංහට දෙන්නම් එයා කැමතිවුණොත් ඔයාට සී.ඩී. එකක් කරන්න පුළුවනි ධර්මේ අයියා කිව්වා. 
මට අදහගන්න බෑ. මේ සිද්ධ වෙන දේවල් එහෙන් සිද්ධාර්ථ හාමුදුරුවෝ උදව් කරනවා. එච්.එම්. සර්, මාලනී මිස්, මහින්ද දිසානායක සර් මෙහෙන් ධර්මරත්න පෙරේරා.
මං පහුවෙනිදාම මගේ සිංදු ටිකක් ධර්මේ අයියාට ගිහින් දුන්නා. ඊට සති දෙකකට පස්සේ උපුල් ජයසිංහ සර් හමුවෙන්න අවස්ථාව ලැබුණා. එයා කැමති වුණා මගේ සී.ඩී. එක කරන්න. 
ක්‍රිෂාන්ත කට පුරා සිනා සේ. ඒ සමගම ඔහුගේ ඇසේ කඳුළක්ද දිදුලයි. සිනාසෙමින් හඬන නිසා මේ සතුටු කඳුළු බව මට පසක් විය. 
මම කිසිත් නොකියා ඔහුට සතුටු වන්නටත් දුක් වන්නටත් ඉඩ දෙමි. 
ක්‍රිෂාන්තගේ පෙම්බර බිරිඳ ඉනෝකා තේ රැගෙන ආවේ එවිටමයි. ඇය ක්‍රිෂාන්ත අඬන හැටි නොදුටුවා නොවේ. ඇය ඔහු දෙස බලා මා දෙසද බැලුවාය. 
සතුටු කඳුළු 
මම ඇයට කීවෙමි. 
එයා එහෙම තමා පුංචි දේටත් ඇස්වල කඳුළු පුරවගන්නවා. 
ඇය කීවාය. 
සංවේදී මිනිසුන්ගේ  හැටි 
මම කීවෙමි. 
පළවෙනි කැසට් එක ගැනත් මතක් කරමුද?
තේ උගුරක් බොමින්ම මම ක්‍රිෂාන්තගෙන් අසමි. 
වී පැදුරෙන් කියලයි මම ඒ කැසට් එක නම් කළේ. 
ඒ කැසට් එක ජනගත කරන්න උත්සව දෙකක් තිබ්බා. එකක් කොළඹ. අනික අනුරාධපුරේ. 
ක්‍රිෂාන්ත ඒ සමගම ජනප්‍රිය තලයට පැමිණි ශිල්පියෙක් විය. ඔහුගේ ගීත රේඩියෝවල ප්‍රචාරය වන්නට පටන් ගත්තේය. 
ඒ ලද ගැම්ම ඔස්සේ ක්‍රිෂාන්ත තවත් කැසට් පට දෙකක්ද එළි දැක්වීය. ඒ මේ නවාතැන් පොළ සහ මේ නිහඬ බවය. 
අදටත් කැසට් පට සහ සංගත තැටි තිබේ නම් ක්‍රිෂාන්ත එරන්දක මෙලහකටත් සී.ඩී.දහයක්වත් කර අවසන්ය. ඔහු සතු ගී ගණන ඒ තරම්ම විශාල වන බැවිනි. වර්තමානේ වැඩිපුරම අලුත් සිංදු කියන්නේ ක්‍රිශාන්ත එරන්දක ද?
තේ උගුරක් බොන ගමන් මම ක්‍රිෂාන්තගෙන් ඇසීමි.
සමහරවිට වෙන්නත් ඇති. තව සිංදු පහක් තියෙනවා එන්නත්.
ක්‍රිෂාන්ත කීවේය. 
අද හුඟාක් වෙලාවට සිංදු කරන්නේ ගීත රචකයන්ගේ වියදමෙන්.  එයාලගෙ ආසාවට. ඉතින් කවුරු හරි මට සිංදුවක් කියල දෙන්න කිව්හොත් පද හොඳ නම් මම කියනවා. මම අද මෙතන ඉන්නේ රඹුකන හාමුදුරුවෝ, ධර්මරත්න පෙරේරා, මහින්ද දිසානායක ජයසිරි ජයවර්ධන මාලනී බුලත්සිංහල, එච්.එම්. ජයවර්ධන, උපුල් ජයසිංහ, පත්තරවල අය වගේ හුඟාක් දෙනා මට උදව් කළ නිසා. අපිත් ඒ වගේ අනිත් අයට උදව් කරන්න ඕනෑ. 
ක්‍රිෂාන්ත කීවේ පෙර සේම හැඟුම්බරවය.
කවදාවත් මට ඔහුට රෝස මල් මිටක් දෙන්නට නොසිතුනා නොවේ. එහෙත් ඒ මොහොතේ රෝස මලක් මගේ ඇස නොගැසිණි. 
පුළුවන් වෙලාවට. පුළුවන් හැටියට කාට හෝ පුංචිම පුංචි උදව්වක් විතර කළ යුතු යැයි මම මටම කියාගතිමි. 
ක්‍රිෂාන්තගෙන් ඒ පාඩමද උගෙන මම ඔහුගේ නිවෙසින් එළියට බැස්සෙමි. 
මන්දාරම් අඳුර තවමත් එහෙමය. හීන් වැහි පොදයක් දෙකක්ද නොවැටෙනවා නොවේ. 
මන්දාරම් අඳුර මැදින් 
සිරිපොද වැහි වැටෙන වෙලේ.
මා හා ඇවිදන් යන්නට...
ඔබ සිටියානම්...
ඔබ සිටියානම්...
එහෙත් මේ කොරෝනා සමයේ සෙම අවුස්සා ගැනීමද කරදරයකට මුල බැවින් මම අත වූ කුඩය ඉහලා ගතිමි. 

ශාන්ත කුමාර විතාන