සුජිත් ප්‍රසංග ලියූ අලුත් ගීතය අහමු
මම බතී අරවින්දගේ
නන්දා ය ගම්පෙරළියේ
දම්මිටත් හිටියේ මමයි
ජයලත්ගෙ ගොළු හදවතේ...
සුවඳ ගැල්වූ පෙම් හසුන්
නුඹ එදා දුන්නට හොරෙන්
එහි ලියා තිබු ආදරේ කවි
අනේ දැන් සිල්ලර වෙලා
දවසගානේ දකිනවා මම
මුහුණු පොත්වල පිටු පුරා...
පාට තැවරුණු බොල් හැඟුම්
ජීවිතේ මතුපිට දරා
රෑට අඳුරෙත් පිපෙනවා මල්
ආදරේ ඇති තැන් බලා
අදත් ඉඳහිට සොයනවා මම
කුරුළු හදවත නුඹ ගෙනා...
අතීත ආදරයෙ සොඳුරු තැන් ආයෙත් සැරයක් ශ්‍රාවක, ප්‍රේක්ෂක හදවත්වලට කතාකරන්න පුළුවන් විදියෙ අපූරු ගීතයක් මේ දිනවලි යූ ටියුබ් හරහා රසවිඳින්නට ඔබට පුළුවන්ය.
එදා මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ ගම්පෙරළියේ "නන්දා - පියල්",විරාගයේ " අරවින්ද - බතී", කරුණාසේන ජයලත්ගෙ ගොළු හදවතේ "දම්මි - සුගත්" පරම්පරා ගණනක් ගතවුණත් කිසිම දවසක මතකයෙන් නොගිලාහෙන චරිත.ඒ චරිත ඇතුළේ රැඳුණු අපූරු පෙම් මතක සටහන් අද දවසේ ප්‍රේමය හා එකට ඈඳලා ගලපන්නේ අලුත් පරපුරේ ගී පද රචකයකු වන සුජිත් ප්‍රසංග විසින්ය. ගායනය සිරස voice teen වැඩසටහනේ හමුවුණු ලිහිනි මිනෝදා වන අතර, සංගීතය ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ ගෙනි.
"ඇත්තටම එදා අතීතය තුළ තිබූ,අපදුටු ප්‍රේමය ,සිතුම් පැතුම් අද දවසේදී බලාපොරොත්තු වෙන්න බැහැ. කාලානුරූපීව හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒක සාමාන්‍යයි. මට මේ ගීතයෙන් කියන්න ඕන වුණේ එදා ප්‍රේමය සහ පෙම්වතුන් අතරේ තිබුණු සංයමය සහ ඔවුන්ගේ හැඟුම්.
ඒකට ප්‍රධාන හේතුව වෙන්නෙ ලියුම් ගනුදෙනු කරපු අවසන් පරම්පරාව අපි වීම. ඉස්සර ප්‍රේමයේ මුල්ම ගනුදෙනුව ලියුම. එතැනින් බොහෝ දෙනා සාහිත්‍යයමය අගයක් එක්ක ලියන්න පුරුදු වෙනවා.කියවන්න පුරුදු වෙනවා. ගොඩක් යුවතියේ ගම්පෙරළිය කියවද්දි නන්දාගෙ හැසිරීම්, ගති පැවතිම් අනුගමනය කරනවා. විරාගය කියවද්දි බතී වෙනවා. ගොළු හදවත කියවද්දි දම්මි වෙනවා. මේ දේවල්වලින් ඔවුන් තමන්ගෙ ජිවිතය හැඩගස්වා ගන්නවා.
පස්සෙ කාලෙක තාක්ෂණයේ දියුණුව එක්ක ලෝකයක අලුත්වෙනවා. සමාජයට අලුත් දේවල් එකතු වෙද්දි අපේ තරුණ පරම්පරාව අතින් මුලින්ම ගිලිහෙන්නෙ සාහිත්‍යය, කලාව හා යහපත් සිතුවිලි.
අද පරපුරේ මේ වෙනස්කම් වෙනස් කරන්න බැහැ. අපි ලෝකයත් එක්ක ඉදිරියට යන්න ඕන. තාක්ෂණය එක්ක ජීවත් වෙන්න ඕන.හැබැයි ඒ අතරට අතීතය ස්මරණය කරලා විඳින්න පුළුවන්නම් ඒක තවත් පරම්පරාවකට හයියක්.
අපි අලුත් පරම්පරාවට බැනලා ,දොස් නගලා වැඩක් නැහැ.ඔවුන් ගමන් කරන්නෙ ලෝකය යන අතට.මේ ගීතයෙන් මට ඕන වුණේ අද ප්‍රේමය කෙටි පණිවිඩවලින් විඳින අයට එදා මෙහෙමයි කියා පෙන්නවන්න.ඒ සොඳුරු බව පෙන්වන්න. එතැනදි ඔවුන් ආයෙත් මුලට එන්නෙ නෑ තමයි. ඒත් ඒ අතීතය ස්පර්ශ කරලා හොඳ විඳීමක් ලබන්න පුළුවන්.
එකයි මේ ගීතයට ලිහිනි වගේ දක්ෂ අලුත් පරම්පරාවෙ ගායන ශිල්පිනියක් තෝරාගත්තෙ. මොකද ඇය වටා ඉන්නෙ අලුත් පරපුරක්. ඔවුන් අනිවාර්යයෙන් ලිහිනි නිසාම මේ නිර්මාණය රස විඳිනවා. ඒවගේම ඊට පෙර පරම්පරාවත් රස විඳිනවා.මේක පරම්පරා දෙකක් එකට එකතු වූ ගීතයක්.
ගොළු හදවත චිත්‍රපටයේ දම්මිගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ රංගවේදිනී අනුලා කරුණාතිලක මහත්මිය සහ විරාගය චිත්‍රපටයේ අරවින්දගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක මහතාත් මේ ගීතය රසවිඳ දැක්වූ යහපත් ප්‍රතිචාර ඇත්තටම නවක නිර්මාණකරුවෙක් විදිහට ගොඩක් වටිනවා.
බුද්ධික සේනාධීර


