ඔව් .....එදා රෑ මම යටට ඇන්දෙ නෑ.....
මේ අහස යට නිදහසේ හුස්මක සුවඳ බෙදා ගන්නට මුණගැසෙන මිතුරු සිත් ජීවිතයේ හැම ඉසව්වකදීම හමුවෙනවානම්....
එහෙත් ඇසි දිසි යථාර්ථය ඊට ඉඳුරාම වෙනස් ය.

හිත් රිදවන තැන්
ප්‍රතික්ෂේප වෙච්ච තැන්
මඟ හැරෙන තැන්
මඟ හරින තැන්.....
හදවතේ ඉසියුම්ම ඉසව් රිදවමින් පාරවමින් ළය ලෙයට මුහු කරන වේදනාවේ අල්පමාත්‍රික සහ විසල්මාත්රික බිඳිති ජීවිතයේ නවමු මාවත් දිගේ ඇවිද යන්නට කියා දෙයි.
ඉවසීමෙන් ජීවිතය දරාගන්නට නිදහසේ උගන්වයි.....
එක්තරා ප්රතික්ෂේපවීමක් එනයින්ම ආදරණීය තරුණයෙකුට හීනවලට තටු සොයායන මඟ කියාදුන්නේය.
ඔයාට රඟපාන්න බෑ.....ඒ නීසා යන්න......
එක්තරා දවසකදි එක්තරා මොහොතකදී අධ්යක්ෂවරයෙක්ගෙ ප්‍රතික්ෂේප කිරීම ඒ තරුණයාගෙ නෙත් මත කඳුළක් දිදුලවමින් ඒ සිත රිදවූයේය..
එහෙත් රිදුණු හිත බිඳින්නට ඒ වචන අසමත් ය.
නෑ..මම හොඳම නළුවෙක් වෙනවා.......
ඔහු ඔහුටම පොරොන්දුවක් දුන්නේය .
තමන්ගේ හෘද සාක්ෂිය තරම් තමන් වෙනුවෙන් යුක්තිය පසිඳින අධිකරණයක් ලෝකයේ නැත......
හෘද සාක්ෂියම සාක්ෂියට තබමින් දුන් පොරොන්දුව ඔහු ඔහු වෙනුවෙන් ම ඉටු කළේය .
ඒ තමන් රඟපෑ පළමු චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ලෝකයේ හොඳම නළුවාට හිමි සම්මානය දෝත දරාගනිමිනි.
සුරන් දසනායක ........
එදා හිත රිදවූ එක් ප්‍රතික්ෂේප කිරීමක් ජිව්තයට ආශිර්වාදයක් කරගත් ඒ තරුණයාය..
Q: වියට්නාම් සම්මාන උළෙලේ දී අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටයේ රඟපෑ නළුවන් හත් දෙනාම සම්මානයට පාත්‍ර වෙද්දී ඔබට දැනුණු අවංකම හිතුවිල්ල මොකක්ද සුරන්.....?
A : මට හිතුණා ලංකාවෙ ඉන්න නවක වාසනාවන්තම නළුවා මම කියලා....
Q: එහෙම හිතන්න හේතුව ?
A: තමන් රඟපෑ පළමු චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී සම්මානයක් ගන්නවා කියන්නේ ඇත්තටම ලේසියෙන් නළුවෙක්ට නිළියක්ට ලැබෙන අවස්ථාවක් නෙවෙයි කියලා මට හිතෙන්නේ.අනිත් එක මම ඒ සම්මානයට පාත්‍ර වුණේ ලාංකික සිනමාවේ දැවැන්තම රංගන ශිල්පීන් කිහිප දෙනෙක් එක්ක.....අපේ ලොකු අය්යා මහේන්ද්‍ර පෙරේරා ,ප්‍රියන්ත සිරිකුමාර ,හේමාල් රණසිංහ ,අශාන් ඩයස් ,දසුන් පතිරණ සහ අද අපිත් එක්ක හුස්මක් ගන්න මේ ලෝකයේ නැති දර්ශන් ධර්මරාජ එක්ක.ඇත්තටම මාරියා නිෂ්පාදකවරයා ඇතුළු ඒ හැමෝටම මම මේ මොහොතේ මගේ ආදරණීය ස්තූතිය පුද කරනවා.
Q: ඒ සම්මානය දිනා ගනිද්දී දර්ශන් ධර්මරාජ් අපෙන් සමුඅරන්.සතුටටම වේදනාවත් යාවෙද්දි පිහිතුඩකින් හදවතට අනිනවා වගේ දැනෙන වේදනාව කියන්නෙ ඇත්තටම නිර්වචනය කරන්න පුළුවන් හැඟීමක්ද ?
A: අදටත් ඒ මොහොතේ දැනුණු වේදනාව නිර්වචනය කරන්න මම වචන දන් නෑ.දර්ශන් ධර්මරාජ් කියන්නෙ ඉතාමත් ඉසියුම්ම විදිහට රංගනය ග්‍රහණය කරගන්න නළුවෙක් වගේම පුදුමාකාර මනුස්සකමක් තිබුණු මනුස්සයෙක් .මාරියා කරද්දී නවක නළුවෙක් වෙච්ච මට දර්ශන් හුඟාක් දේවල් කියලා දුන්නා.මාරියා සම්මාන ගනිද්දී ඒ සතුට බෙදාගන්න වගේම ඒ චිත්‍රපටය බලන්නවත් දර්ශන් අපි අතරෙ හිටියෙ නෑ....
Q: මාරියා කියන්නෙ දශක හතරකට පසු රුසියානු මොස්කව් සිනමා සම්මාන උලෙලේ දී ලංකාවට හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා දුන්න චිත්‍රපටය.ඒත් ලංකාවෙ දී මාරියාට ලැබිය යුතු ගෞරවය ලැබුණේ නෑ කියන එක මගේ පෞද්ගලික මතයයි.ඔබටත් කියන්න දෙයක් තියෙනවා ද ?
A: මාරියා චිත්‍රපටය කිහිප වතාවක්ම ප්‍රදර්ශනය කරන්න උත්සාහ කළත් ඒක වැළකුණා .ප්‍රදර්ශනය කරපු වෙලාවේ දිට්වා කුලි සුණාටුව ආවා.අනික් කරුණ තවමත් සම්භාව්‍ය සහ වෙනස්ම ප්රස්තුතයන් මූලිකව නිර්මාණය වූ චිත්‍රපට වෙනුවෙන් ලංකාවෙ තවමත් ලොකු ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වී නැහැ.ඒත් දශක හතරකට පසු රුසියානු මොස්කව් සිනමා සම්මාන උළෙලකදී ලෝකයේ හොද ම චිත්‍රපටය ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ඒ වගේම වියට්නාම් හැනෝයි සිනමා සම්මාන උළෙලේ දී චිත්‍රපටයේ රඟ පෑ නළුවන් හත් දෙනාම හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලද ඉන්දියානු සිනමා සම්මාන උළෙලකදීත් සම්මානනීය වූ මාරියා චිත්‍රපටයට ශ්‍රි ලංකාවේ දී ත් සම්මානනීය ඇගයීමක් හෝ ලැබෙන්න තිබුණා.
Q: එක තත්ත්පරයක් ප්‍රමාද වුණානම් මාරියා නිසා ලාංකික සිනමා ක්ෂේත්රයට වටිනාම රංගන ශිල්පීන් කිහිප දෙනෙක් අහිමි වෙන්න තිබුණා.......
A: දැනුත් ඇඟ හිරිවැටෙනවා ඒක මතක් වෙද්දී .එදා මාරියා රූගත කිරීම් කළ අන්තිම දවස.අරුණ ජයවර්ධන අපේ අධ්යක්ෂවරයා කීවා අපි කලින් ගත්ත දර්ශනයක් නැවත ගමුද කියලා.ඒ වෙලාවේ අපි ඔක්කොම හොදටම මහන්සිවෙලා හිටියෙ .ඒත් මාරියාට තියෙන ආදරය වෙනුවෙන් අශාන් ,හේමාල්,දසුන් ,මමම මුහුදට පැන්නා.මම මීගමුවේ නිසා මට මුහුද හොදටම පුරුදුයි.එදා ඒ වෙච්ච දේ හිතාගන්න බෑ.මතුපිටින් මුහුද හරිම නිශ්චලයි.ඒත් යටින් මුහුද හරි සැරයි.අපිට පීනන්න බෑ රැල්ල අපිව ඇතුළට ඇදලා ගන්නවා.හේමාල් ,අශාන් අපි ඔක්කොම බේරාගන්න උදව් ඉල්ලනවා.ඒත් උඩ ඉන්න අය හිතන්නෙ අපි රඟපානවා කියලා.අන්තිම ට හේමාල් සුද්ද සිංහලෙන්ම කෑ ගහද්දි තමා අරුණ අය්යටත් වැඩේ තේරුණේ.උඩ ඉඳන් ලණුවක් දැම්මා.ඒ දාලා තියෙන්නෙ උඩින් අල්ලගන් නැතුව.ඒකත් මුහුදටම ගියා.ඉක්මනින් පොඩි බෝට්ටුවක් ඇවිත් අපිව බේරා ගත්තෙ.තව මොහොතක් ප්‍රමාද වුණානම් අපි බෝට්ටුව යට හිරවෙලා මැරෙන්නෙ
Q: මුහුද එකම දර්ශන තලය කරගෙන ඇත්තටම මුහුදෙ දර්ශන රූගත කරමින් නිර්මාණය කළ මාරියා බලපු ඉන්දීය සිනමා අධ්යක්ෂවරයෙක් ඔබෙන් අහනවා ඇයි ඔබලා චිත්‍රපටයක් වෙනුවෙන් මෙච්චර අවදානමක් ගත්තෙ කියලා.එහෙම නේද ?
A: ඔව් ....ඉන්දියානු සිනමා සම්මාන උළෙලකදී ඒ සිනමා අධ්යක්ෂවරයා මට මුණගැසුණේ.මට දමිළ භාෂාව හසුරුවන්න පුළුවන්.අපි දමිළ භාෂාවෙන් හුඟාක් දේවල් කතා කළා.ඔබ කියූ දේ ඔහු මට කීවෙ එතෙන්දි.එයාලගෙ රටේ නම් චිත්‍රපටයත් වෙනුවෙන් එහෙම අවදානමක් ගන්නෙ නෑ කියන එක ඔහු කීවේ.
Q: එකම නිළියක්වත් නැති....නළුවො හත් දෙනෙක් විතරක් රඟපෑ ලංකාවෙ පළමු චිත්‍රපටය.දවස් ගාණක් මහ මුහුද මැද....සිනමාව සුන්දරද මෙතරම් කියලා හිතුණද ?
A: ඒක සංකීර්ණ සිනමා කාර්ය්යක්.කැමරා අධ්යක්ෂ චන්න දේශප්‍රිය ඇතුළු හැම කෙනෙක්ම පුදුම සහයෝගයෙන් කරපු නිර්මාණයක් .මුහුද හුළඟ මුහුදු අව්ව මැද ඒ ගෙවුණු කාලය බෝනික්කියකුත් එක්ක අදටත් අමුතුම රහක් දැවටිච්ච මතකයක්......
Q: එදා රෑ.......ඇයි එදා රෑ වෙනුවෙන් යටට නොඇන්ඳේ.....?
A :අඳින්න දුන් නෑනේ.අරුණ ජයවර්ධන සිනමා අධ්යක්ෂවරයා කීවා ඒ යුගයේ සරම අඳිද්දි යට ඇඳුම් ඇන්ඳෙ නෑ කියලා...වේෂ නිරූපණයේ ඉඳන් හැම සියුම් දෙයක් ගැනම ඒ චිත්‍රපටයේදී හුඟාක් සැලකිලිමත් වුණා.ඉතින් යටට අඳින්න දුන්නෙත් නෑ......
Q: ධර්ම යුද්ධය තියපු වාර්තා එදා රෑ කැඩුවා සහ කඩමින් පවතිනවා ...සුරන් මොකද හිතෙන්නේ?
A: ඔව් ...මිල්ටන් සර්ගෙ සින්දුවලට යුග යුග ගණන් මිනිස්සු පුදුම විදිහට ආදරය කළා.ඒ කාලෙ මිල්ටන් සර්ගෙ සින්දු අහපු අය පුදුම භක්තියෙන් මේ චිත්‍රපටය බලන්නෙ.මට එක්කෙනෙක් හම්බ වුණා එයා18 වතාවක් මේ චිත්‍රපටය බලලා.ඒ වගේ වාර ගණනාවක් මේ චිත්‍රපටය බලපු අය මට මුණගැසුණා.මිල්ටන් සර්ගෙ සින්දු මමත් පුදුම විදිහට රස විඳිනවා.ආදරය ,විරහව ,මේ ආදී බොහෝ භාවයන්ගෙන් රස ගැන්වුණු ඒ ගීත අදටත් උන්මාදයක් .ඒ වගේම ඒ කටහඬේ කරුණා,ශෘංගාර ඇතුළු හිත නිවන හිත අවුස්සන හැම රසයක්ම තියෙනවා .ඒක පුදුම මත් රසයක්....
Q: එදා රෑ ඔබේ රංගනය වෙනුවෙන් ලද හිතට දැනෙනම ඇගයීම් මොනවද ?
A: බොහෝ ඇගයීම් මැද ශ්‍යාම් ප්‍රනාන්දු සහ බිමල් ජයකොඩි කියන මේ ක්ෂේත්රයේ ඉන්න දැවැන්තම නළුවන් දෙදෙනාගෙන් මගේ ආදරණීයම හිතවතුන් දෙදෙනාගෙන් ලැබුණු ඇගයීම සුරන් කියන පොඩි නළුවට මහමෙරක් වටිනවා....
Q: ජීවිතයට තරම්ම කලාවට ,සිනමාවට ආදරෙයි ද?
A: ඔව් .....මගේ හුස්මකට තරම්ම ,මට ජීවිතය දුන්න අම්මට තාත්තා ට තරම්ම මා වෙනුවෙන් බොහෝ දේ ඉවසන බොහෝ කැපකිරීම් කරන මගේ ආදරණීය බිරිඳ ට දරුවන්ට තරම්ම ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වෙච්ච මගේ ක්‍රීඩා ජිවිතයට තරම්ම මම සිනමාවට කලාවට ආදරෙයි ...දුප්පත් මිනිහෙක් වෙච්ච මම හුඟල් දුක් කම්කටොලු මැද ජීවිතයට හුස්මක් හොයපු මට රංගනය කියන්නෙ දෙවියන් වහන්සේගෙන් ලැබුණු ආශිර්වාදයක් සහ දායාදයක් ...













