කථක් නර්තනයේ අධිරාජයාණන් මලින් පුදන NRITYA SAMRAT
ඉතින් සීතල නොවැම්බරයේ එක් ඉරිදාවක හැන්දෑවේ සදානන්ද සදාදරණීය සරාගයක කථක් නර්තනයේ ශාස්ත්‍රීය සුභාවිත සුභාෂිත සුලාලිත සෞන්දර්යාත්මක චමත්කාරී අනන්තයක සරන්නට සපැමිණෙනු මැනවි.ඒ ඇරියුම ගුරු දේව් ශ්‍රී විහඟ රුක්ෂාන්ගෙන් ඔබටමය.
විහඟ..........
ඔබට ගුරු දේව්යැයි අපමණක් භක්ත්‍යාදරයෙන් අමතන්නට මට අවසර දෙනු මැනව.....
ඒ ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු භක්තිය ළය ලෙය දරාගත් ශිෂ්‍යයෙකු ලෙසත් අප්‍රමාණ ගුරුදම් ස්නේහයෙන් ළය මඬල හොවාගත් ගුරු දේවයාණන් කෙනෙකු ලෙසත් මගේ ඉසියුම් නිරීක්ෂණය සහ නිර්වචනය තුළ සිය දහස් දස දහස් වාරයක් වන්දනීය වන හෙයින්මය.
ඉඳින් ඇඳුරාණෙනි......
අසමාන ස්නේහයකින් දෙපා නැමද අවසර ඉල්ලමි......
අප්‍රමාණ ගිරිදුර්ග පසුකර රිදෙන දෙපතුල් දරාගෙන ගෙජ්ජි වැල් (Ghungroo) පැළඳූ දෙපය පූජනීයත්වයෙන් දරාගෙන ඔබ ආ මඟ සේම යා යුතු බෝ දුර ගැනත් අක්ෂරවේදයක් දැන් ඉතින් මට ගොතන්නට .......
Q :ඇඳුරුතුමණි.....ඔබගේ මා දුටු සියලු නර්තන විලාසයන්හීදී මා දුටු සුවිශේෂීම ලක්ෂණය වූයේ ඔබ පුදුමාකාර ශික්ෂණයකින් සහ නර්තනමය ප්‍රේමයකින් ආධ්‍යාත්මිකව නර්තනය හා බැඳෙන අපූරුව....හුදෙක් නැටුම් ශිල්පියෙක් නොවී අප්‍රමාණ නර්තනවේදියෙක් වුණේ කොහොමද ඔබ ?
A: ඇත්තටම "ඩාන්සර්" කෙනෙක් කියන කෙනා මම දකින්නෙ ලොකු වගකීමක් දෙවුර දරාගත් කෙනෙක් විදිහට.මට තේරිච්ච දේ තමා නර්තනය කියන්නෙම නර්තනවේදියෙක් බිහිවීම කියන්නේම විසල් වගකීමකින් යුක්තව වෛද්‍යවරයෙක් බිහි කරනවා සේම අතිශය වගකීම් සහගත ක්‍රියාවලියක්.මට දැනිච්ච දේ සහ මම මගේ ගුරුවරුන්ගෙන් ලැබූ දැනුමත් එක්ක තේරුම් ගත් දේ තමයි නර්තනය ඇතුළේ අපි ජීවත් වෙන්න ඕනෑ කියන කාරණය.සැකෙවින්ම නර්තනය පටන්ගත් මොහොතේ සිට එය අවසන් වන අවසන් තත්පරය දක්වාම ඒ වෙනුවෙන් අප සාධාරණය ඉටු කළ යුතුයි.හෘද සාක්ෂියට එකඟව උපරිම සාධාරණත්වය ඉටු කළ යුතුයි.බුදු දහම තුළ ඉගැන්වෙන විදර්ශනාව සහ මේ මොහොතේ ජීවත් වීම කියන
දර්ශනවාදී සංකල්ප මේ මොහොතේ මට සිහිපත් වෙනවා. මම විශ්වාස කරන දේ තමයි නර්තනය තුළ තමන් තමන් හා බැඳෙන තරමට නිරායාසයෙන්ම ප්‍රේක්ෂාගාරය අපිත් එක්ක එකතු වෙනවා කියන එක.මේක ටියුන් එකක් නෙවෙයි නෙවෙයි ෆයින් ටියුන් එකක් විදියට තමයි මම හඳුන්වන්නේ. ටියුන් කිරීමක් කියන්නේ සසර කිරීමක් .ෆයින් ටියුන් එකක් කියන්නේ සූක්ෂ්ම සහ ඉසියුම්ම සුසර කිරීමක්. නර්තනයේදී සූක්ෂමව සහ ඉසියුම්ව අපි ශරීරය කියන වාද්‍ය භාණ්ඩය සුසර කිරීම කළ යුතුයි.මම සිතන සහ මම විශ්වාස කරන දර්ශනය අනුවත් නර්තනය හා යා වෙන ආධ්‍යාත්මික පැතිකඩක් තියෙනවා.හැබැයි මම ඒක වර්ගීකරණය කරන්නේ නැහැ.ඉතාම සියුම් කාරණය පවා මම අධ්‍යනයය කරනවා.බෞද්ධ ද හින්දුද , ඉස්ලාම් ද ක්‍රිස්තියානි ද මේ ආදී වශයෙන් වර්ගීකරණය නොකර මම ඒ හැම පැතිකඩකටම යනවා.කථක් කියන සම්ප්‍රදායත් එක්ක මට සමහර විට මුස්ලිම් කලම් නටන්න වෙනවා. හැබැයි මම මුස්ලිම් පල්ලියට ගිහින් නැත්නම් මට එතන ඉඳන් ඒක විඳින්න නැත්නම් අවශ්‍ය මූඩ් එක මට ඩාන්ස් එක ඇතළට ගන්න බෑ . පැය විසිහතරම ඩාන්ස් එක ඇතුළෙ ඉන්න කෙනෙක්ට විතරයි ඒ ආධ්‍යාත්මික ළඟාවීමට යන්න පුළුවන් කියන ගැඹුරු සංකල්පය මම විශ්වාස කරනවා.
Q: නර්තනය තුළ ඔබ සොයා යන ගැඹුරු විසල් ගවේෂණයක් තියෙනවද?
A: ඔව් .වෙලාවකට මට හිතෙනවා නර්තනය කියන්නෙත් එක්තරා විදර්ශනාවක් කියලා. නර්තනය හා යාවෙන ආධ්‍යාත්මිකත්වයේ ස්වරූපයන් ඇත්තටම මම පුහුණු කරන්නට උත්සාහ කරමින් ඉන්නවා කියලා මට හිතෙනවා. ඒත් තවදුරටත් හිතද්දී හොයාගෙන හොයාගෙන හොයාගෙන යද්දි මට හිතෙනවා ඊටත් වඩා දෙයක් මේක ඇතුළෙ තියෙනවා කියලා.මම අධ්‍යනය කරනවා ඒ මොකක්ද කියලා.ඒත් මම දන්නෙ නෑ මගේ මේ ජීවිත කාලය තුළ ඒක හොයාගන්න මට පුළුවන් වෙයිද කියලා.මට හිතෙනවා ඒක හරියටම හොයාගන්න මට තව ආත්ම හත අටක්වත් යයි කියලා.ඇත්තටම නර්තනය ඇතුළේ මම උත්සාහ කරන්නේ මට මාව හොයාගන්න.මට මාව හොයාගන්න පුළුවන් වුණ තරමට ප්‍රේක්ෂකාගාරයට මට පණිවිඩයක් දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම මගේ නර්තනය දකින්නේ හුදු වින්දනාත්මක ප්‍රවේශයක් විදියට විතරක් නෙමෙයි.මම හැමතිස්සෙම හිතන්නේ ප්‍රේක්ෂකාගාරය නිවන්න ඕනෑ කියන එක.නර්තනය ඔස්සේ මිනිස්සුන්ගේ ආතතිය නිවන්න ඕනේ කියන එක.ප්‍රේක්ෂකාගාරයේ කීදෙනෙක් හිටියත් මට පුළුවන් වෙන්න ඕනෙ ඒ හැමෝටම නර්තනය ඔස්සේ කතා කරන්න.
Q: ඔබට කථක් නර්තනය ඉගැන්වූ ගුරුවරුන්ගෙන් ඒ උදෙසා ඔබට ලැබුණු දයාදයන් මේ මොහොතේ ඔබ සිහිපත් කරන්නේ කොයි විදිහටද?
A: මට කථක් නර්තනය ඉගැන්නූ ගුරුවරු හතර දෙනාම මට කථක් නර්තනය ඉගැන්නුවෙ හරි අඩුවෙන්.එයාලා හුඟක් මාත් එක්ක කතා කළා. එයාලගේ ජීවිතයේ වෙච්ච දේවල් ,එයාලගේ ගුරුවරු මොනවද එයාලට ඉගැන්නුවේ, එයාලගෙ ප්‍රශ්න, එයාලා මට කියලා තියෙනවා. එයාලා ඒ විදිහට ඒ හැමදේම මට කියන්න ඇත්තටම ගැඹුරු හේතුවක් තිබුණා.මට දැනුණු විශේෂම දේ තමයි එයාලු නර්තනයේ යෙදෙද්දී ඒ භාවයන් එන්නේ එයාලගේ ජීවිතේ ඒ තියෙන අත්දැකීම් එක්ක කියන එක.හැඟුම්බර ස්වභාවයන් එම ස්වරූපයන් ඔවුන් නර්තනය හා යා කරන්නේ කොහොමද කියන එක මම සියුම් ලෙස ඔවුන් ඇසුරෙන් ඉගෙන ගත්ත දෙයක්.එයාලා ඔවුන්ගේම ක්‍රමයට මට ඒක කියලා දුන්නා.මම තවත් ඉගෙන ගත්තු දෙයක් තමයි අපිට කවදාවත් ගුරුවරයෙක්ව කොපි කරලා නටන්න බැහැ. අපිට ගුරුවරයා කියලා දුන්න දේම ඒ විදිහටම කොපි කරන්න බැහැ කියන එක.ඒ මොහොතේ අපි නැටුවට ඒ නර්තනයේ තියෙන ජීවගුණ සහ එහි ඇති ආත්මය තමයි අපි හොයාගන්න ඕනෑ.අපේ භාවාත්මක ආත්මය සහ ජීව ගුණය නර්තනය තුළට දනවන්න පුළුවන්නේ අපිටමයි. මට හිතෙන්නේ ඒක කරනවානම් අපි කවුද කියලා මුලින්ම දැනගන්න ඕනෑ.අපි ඩාන්සර් කෙනෙක් වුණාට වැඩක් නෑ ඉහත කී ගුණාංගයෙන් වියුක්තව . ඒකට බලපාන දේ තමා අපේ එදිනෙදා ජීවිතයේ අපි ගතකරන හැම තත්ත්පරයකම අපි මොකක්ද කරන්නේ කියන එක ගැන අවබෝධය ඇතුව නර්තනයේ යෙදෙන එක. ඒකෙන් තමයි ආත්මීය ප්රවේශයන් සහ මම කවුද කියන එක හොයාගන්න පුළුවන් වෙන්නේ .මගේ ගුරුවරු මට කියලා තියෙන්නේ උඹ කොච්චර නැටුවත් වැඩක් නෑ. ස්ටේජ් එකේ උඹ ගෙදර ඉඳන් කරන හැමදේම ඩාන්ස් එකෙන් පේනවා. ඒක නිසා උඹට ඒක හංගලා නටන්න බෑ. ඔයා නටන්න ඕනෑ ඔයා ජීවිතේ ඉන්න ඇත්ත විදිහට කියලා.සමහර ළමයි ස්ටේජ් එකේ හිනා වේගෙන නටනවා. හැබැයි එයා එළියට යන්නේ වෙනම චරිතයක් විදිහට .ඒ හිනාව හරි කෘත්‍රිමයි..සියුම් අධ්‍යනයක් සහ ගවේෂණාත්මක බුද්ධියක් තියෙන කෙනෙකුට තේරෙනවා ඒ නර්තනය තුළින්
විද්‍යමාන වෙන්නේ නර්තන ශිල්පියාගේ සැබෑ ආධ්‍යාත්මය හෝ යථාර්ථවාදී ජීවන ප්රවණතාවන් නෙවෙයි කියන එක.මගේ ගුරුවරු හතර දෙනාම මට කියලා දීලා තියෙන්නේ අපි ඉන්න "ප්‍රැක්ටිස් "එක තමයි "ඩාන්ස් "එකෙන් පේන්න ගන්නේ. මුලින්ම තමන් නිවා ගත්තොත් තමා තව කෙනෙක් තමන්ට නිවන්න පුළුවන් වෙන්න කියන එක. Soul Full Dancer කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ තමන් නිවා ගත්ත කෙනෙකුට විතරයි..මම කැමතියි ඩාන්සර් කෙනෙක් කෙනෙක් Profomer කෙනෙක් විදියට හඳුන්වන්න. ඒ මොහොතේ ඩාන්සර් කෙනෙක් වෙන එක ලේසියි .ඒත් නර්තනය තුළින් ප්‍රේක්ෂකාගාරයම නිවන සැබෑ නර්තනවේදියෙක් වෙන එක ලේසි කාරණයක් නෙමෙයි.සැබැවින්ම එය ගැඹුරු භාවනාවක්.මට හිතෙන්නේ සහ මම විශ්වාස කරන්නේ අපිව හොයාගන්න තරමට අපි නර්තනය සහ නර්තනය එක්ක ආධ්‍යාත්මිකව බැඳෙනවා. එහෙම නර්තනයත් එක්ක ආධ්‍යාත්මිකව බැඳෙන්න නම් ආත්මීයව වෙළෙන්නනම් මානසික නර්තනවේදියෙක්ට සැබෑ සුවය අවශ්‍යයයි.

Q: ඇයි ඔබ නර්තනයට මේ තරම් ආදරය කරන්නේ?
A: ඒ ආදරය ගැඹුරින්ම දැනිච්ච තැන් කීපයක් මට මගේ ජීවිතය තියෙනවා. මම පුංචි කාලේ ඉඳන්ම නැටුම් වලට ආසයි.මගේ තාත්තා රස්සාව කළේ පොලිසියේ.පිරිමි ළමයින්ට නටන්න බෑ කියන ආකල්පය මගේ පවුලෙත් තිබුණා.මගේ අක්කා සහ මගේ ලොකු අම්මගේ දුව කුලසිරි බුදවත්ත ගුරුතුමා ළඟට ගියා නර්තනය ඉගෙන ගන්න .මම එයාලාඑක්ක ගිහින් එතන ඉඳන් එයාලා නටන හැටි බලාගෙන ඉන්නවා. ගෙදර ඇවිත් එයාලා නටද්දි මම කියලා දෙනවා මෙන්න මේක වැරදුනා කියලා. මම හරි පොඩි ළමයෙක් එතකොට .පාසලේදී මම කළේ සංගීත විෂය.ඒත් පාසලේදී මාව නර්තන තරංගවලට එක්කන් යනවා.ඇත්තටම මම පුංචි කාලේ ආසාවෙන් හිටියේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්න. ඒත් මගේ සංගීතය උගන්නපු ගුරුතුමා මට කියපු දේ තමයි ඔයාගේ මාර්ගය ඩොක්ටර් කෙනෙක් වෙන එක නෙවෙයි කලාව සහ සංගීතය කියලා.කොහොම නමුත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන්නත් මට පුළුවන් වුණා.2010 අවුරුද්දෙ විතර මගේ යාළුවෝ දෙන්නෙක් ගියා කථක් නර්තනය ඉගෙන ගන්න .මම සිතාර් වාදනය ඉගෙන ගන්න ගියේ .අපි ගියේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයට. මම හැමදාම මගේ යාළුවො දෙන්නා හම්බ වෙන්න කථක් ක්ලාස් එකට යනවා එතකොට ඒ කථක් නර්තනය උගන්වන්න ගුරු ජී මටත් කියනවා ඔයත් කථක් නටන්න එන්න කියලා.ඒත් මම ගියේ නෑ. ඒත් ඊටත් පස්සේ මම මටම හිතිලා කථක් නර්තනය ඉගෙන ගන්න පටන් ගත්තා.අවුරුදු තුනක් විතර ඉගෙන ගත්තත් මට ඇත්තටම ඝුංග්රු (Ghungroo ) පූජාව තියන්න අවශ්‍ය වුණේ නෑ. (Ghungroo යන වචනය සිංහලෙන් වඩාත්ම නිවැරදිව හඳුන්වන්නේ ගෙජ්ජි හෝ ගෙජ්ජි වැල ලෙසයි.විශේෂයෙන්ම කථක් ඇතුළු ඉන්දියානු ශාස්ත්‍රීය නර්තනයේදී පාදවල බඳින ගෙජ්ජි වැල සඳහා මෙම වචනය භාවිත වේ ..) තව ඉගෙන ගන්නවා කියලා තමා හිතුවේ.ඇත්තටම 2010 අවුරුද්දේ තමයි මම පූර්ණ කාලීනවම කථක් නර්තනය ඉගෙන ගන්න තීරණය කළේ.මෙහෙම ඉගෙන ගනිද්දි තමා මට මගේ ගුරුවරියගේ මඟ පෙන්වීම අනුව කථක් නර්තනය ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් ලැබ ඉන්දියාවට යන්න අවස්ථාව ලැබුණේ.යද්දී මගේ ගුරු ජී මට නම් ලැයිස්තුවක්ම දුන්නා කථක් නර්තනය ඉගෙන ගන්න ඉන්දියාවට ගියාට පස්සේ ඒ අයව හමුවෙන්න කියලා.මගේ ගුරු ජී මට කියපු දේ තමයි මට මේ අය හමුවෙන්න බැරි වුණා. ඔයාට විතරයි ඒක කරන්න පුළුවන් කියලා.අද වෙද්දි මට ඒ අය හමුවුණා වගේම ඒ අයත් එක්ක වැඩ කරන්නත් අවස්ථාව ලබන්න තරම් මම වාසනාවන්ත වුණා.
Q: කියන්න ඇයි ඔබ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අතරමග අත්හරින්නේ?
A: මම නවක වදයට විරුද්ධ වෙච්ච කෙනෙක්.තවමත් මගේ කකුල්වල පැචස් තියෙනවා.මම එයාලගෙන් ඇහුවේ අපි රැග් කරන්න ඕනෙ නෑ.රැග් කරද්දී මගේ අතකට කකුලකට මොකක් හරි වුණොත් මම කොහොමද ඩාන්සර් කෙනෙක් වෙන්නේ කියලා. මම මගේ මතවාදය වෙනුවෙන් හුඟක් ෆයිට් කළා.අන්තිමට මම එය අතහැරියා.දෛවය සමහර තීරණ දෙන්නේ හරි පුදුමාකාර විදිහකට.දෙවියන් සහ සොබා දහම විශ්වාස කරන කෙනෙක් විදිහට එහි විනිශ්චයන් කොයිතරම් සාධාරණ විදිහට අපේ ජීවිතය වෙනස් කරනවද කියලා මට දැනිලා තියෙනවා.ඉන්දියාවට ගිහින් ඇවිත් ඊළඟ අවුරුද්දේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට දේශන දෙන්න ආවා. කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන්ටත් මම නර්තනය ඉගැන්නුවා.
Q: කථක් නර්තනය හා සබැඳි ඉන්දියානු ජීවිතයේ දී ඔබට රිදෙන්නම දැනුණු ඔබේ දෑස් තනියෙන් හැඬවූ තැන් ඔබට ජීවිතේ හමුවෙලා තියෙනවද?
A: මගේ අතේ සල්ලි නැතුව අසරණකම මට දැනුණු වෙලාවල් තිබිලා තියෙනවා.මම කන්නෙ කොහොමද මම ඉන්න තැන ගාස්තු ගෙවා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නත් එක්ක මම අසරණ වෙච්ච තැන් මට තිබිලා තියෙනවා.ඒත් ඒ අසරණකමට මාව අසරණ කරන්න බැරි වුණා.මම මගේ ඩාන්ස් එකත් එක්ක තනියෙන් කතා කරනවා . මම එයාට කියනවා මම ඔයාව තෝරා ගත්තේ ඔයාට හරි ආදරයෙන්. ඔයා තමයි මාව දැන් තනියෙන් බලා ගන්න ඕනෑ කියලා. හුස්මක් වැටෙන ජීව ගුණයක් තියෙන කෙනෙක් හා කතා කරනවා වගේ බැඳීමකින් සහ ආත්මීය ආලයකින් මම කථක් නර්තනයත් එක්ක ඒ විදියට කතා කරා කියන එක තමයි මේ වෙලාවේ කියන්න ඕනෑ නිවැරදිම දේ.මම එයාට කිව්වා මම ඔයාට බොරු කරලා නෑ ඔයාට පුළුවන් වෙන්න ඕනෑ මාව බලා බලාගන්න කියලා. ප්‍රශ්න අභියෝග හිතට තදින් දැනුණු වෙලාවට මම පයේ ගෙජ්ජි බැඳගෙන පැය ගණන් එක දිගට සමහර විට මුළු දවසම නටනවා.මම විශ්වාස කරනවා විද්‍යාව තුළ විග්රහ කරන්න බැරි විද්‍යාවට හසු නොවෙන ගොඩක් දේවල් මේ ලෝකයේ පවතිනවා කියන යථාර්ථය.යථාර්ථයෙනුත් ඔබ්බට ඒ සත්‍යය මම විශ්වාස කරනවා.මම එහෙම හිතලා පයේ ගෙජ්ජි බැඳගෙන පැය ගණන් නටද්දී මට කවුරු හරි මගේ ගිණුමට සල්ලි දාලා තියෙනවා මට කන්න කෑම එකක් ලැබෙනවා .සමහර දේවල් නිර්වචනය කරන්න විග්රහ කරන්න අමාරුයි. ඒත් මම අත්වින්ඳ දේවල් මම ඔබත් එක්ක මේ කියන්නේ.

Q: ජීවිතයේ කවදාවත් හුස්මක් වැටෙන මානයක සිට හමු නොවූ ජීවිතේ කවදාවත් ඇසින් නොදුටු මිනිසකුට පුළුවන්ද තව කෙනෙක් වෙනස් කරන්න ?
A: ඉන්දියාවේදී මාව වෙනස් කළේ එහෙම කෙනෙක් තමයි.ඒ නිසා මට ඒ සිද්ධාන්තය විශ්වාස කරන්න සිද්ධ වෙනවා.ඉන්දියාවට ගිහින් මට හමුවූ සුවිශේෂීම චරිතය තමයි ජිනදාස වික්‍රමසිංහ කියන ප්රතාපවත් අභිමානවත් චරිතය. එතුමා මොනතරම් උතුම් කෙනෙක්ද කියන එක මට කියන්න තේරෙන්නෙ නැති තරම් මගේ වාග් කෝෂය දුප්පත් කියලා මට හිතෙනවා . ඒ තරමට කථක් නර්තනය වෙනුවෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා මෙහෙවරක් කළ ජිනදාස වික්‍රමසිංහ ගුරුතුමා හමුවීම මගේ ජීවිතය සහ මගේ මාවත සම්පූර්ණයෙන්ම වෙනස් කළා.ඒ හමුවීම හැබැහින් සිදුවූ හමුවීමක් නෙමෙයි. ජීවමාන හමුවීමක් නෙවෙයි .ඒත් ඒක මහ පුදුමාකාර හමුවීමක්.
මගේ එක් කථක් ගුරුවරියක් අනික් අයට නොදුන් ශිල්පයක් මට හැම වෙලේම හංගලා ඉගැන්නුවේ. මේක නටන්න ඒත් කාටවත් කියන්න එපා කියලා එයා මට ඉගැන්නුව දේවල් තිබුණා.මේ කාරණේ මම අවුරුදු එක හමාරක් විතර හිතේ හංඟාගෙන ඉඳලා මම දවසක් මගේ ගුරුජීගෙන් ඇහුවා ඇයි ඔයා මට විතරක් මෙහෙම විශේෂයක් කරන්නේ කියලා.අනිත් අය හිතයි ඔයා මට විශේෂයක් කරනවා කියලා.ඒ වෙලාවේ මගේ ගුරුජී මට කිව්වා මේ ශාස්ත්‍රය අපිට හැමෝටම දෙන්න බෑ.මේ ශාස්ත්‍රය අපිට අකුරක් නෑර දෙන්න පුළුවන් ඒ ශාස්ත්‍රයට හදවතින්ම ආදරය කරන කෙනෙකුට විතරයි කියලා.ශාස්ත්‍රය ගෞරව පූර්වකව රකින කෙනෙකුට විතරයි කියලා.මම අදත් ඒක විශ්වාස කරනවා. මොකද මටත් මගේ ශිෂ්‍යයෙක්ව දැක්කම ඒ ශිෂ්‍යාගේ අරමුණ ,ඒ ශිෂ්‍යා ඇත්තටම කථක් නර්තනයට ආදරය කරනවද? ඒ ශිෂ්‍යයාගේ ගුණාත්මක වටිනාකම් මොනවද කියන එක දැනෙනවා.ශිල්පයකට ආදරය නොකරන ශිල්පය විකුණගෙන කන ඒ ශිල්පය නාස්ති කරන කෙනෙක්ට කවදාවත් ඒ ශිල්පය නිර්ලෝභීව ප්රදානය කරන්න ඕනෙ නෑ කියන එක ඇත්තක්.
Q: ඔබ වාසනාවන්ත වෙනවා ඉන්දියාවේදී ඔබ කථක් නර්තනය හැදෑරූ ගුරුවරියන් හතරදෙනාම ජිනදාස වික්‍රමසිංහ ගුරුතුමාගෙන් කථක් නර්තනය හැදෑරූ ගුරුවරුන්ගෙන් ශිල්පය හැදෑරූ අය බව කියන්න. මොකක්ද ඒ බැඳීම ?
A: මගේ පලවෙනි ගුරුවරයාගේ ගුරුවරයා ජිනදාස වික්‍රමසිංහ ගුරුතුමාණන්ගෙන් ඉගෙන ගත් අයෙක් .මගේ දෙවැනි ගුරුවරයා කථක් නර්තනය හැදෑරූ ගුරු පරම්පරාවේ ගුරුවරයකුත් ජිනදාස වික්‍රමසිංහ ගුරුතුමාගේ ශිෂ්‍යයෙක් . මගේ තුන්වැනි ගුරුවරයටත් එවැනි සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම මගේ හතරවැනි ගුරුවරිය එයාගෙත් පළමු ගුරුතුමා වික්‍රමසිංහ ගුරුතුමාගේ ශිෂ්‍යයෙක්.ඒ බැඳීම සහ වාසනාව පුදුමයි.
Q: ඇඳුරුතුමණි මට තවදුරටත් කියන්න..... ජිනදාස වික්‍රමසිංහ ගුරුතුමා කියන්නේ කවුද ? නෘත්‍ය සම්රාට් මහෝත්සවය කියන්නේ මොකක්ද ?
A: ගෞරවපූර්ව ප්‍රවීණ කථක් නර්තන ශිල්පියෙකු සහ ගුරුවරයෙකු වූ පණ්ඩිත් ජිනදාස වික්‍රමසිංහ නර්තනවේදියා ශ්‍රී ලංකාවේ උපත ලබා, සිය මුළු ජීවිත කාලයම ඉන්දියාවේ ලක්නව් නුවර ගත කළා. 1922 ජනවාරි 22 වන දින උපත ලැබූ එතුමා නර්තනය හැදෑරීම සඳහා වයස අවුරුදු 22 දී ඉන්දියාවට ගියා. ඉන්දියාවේදී ඔහුට, ලක්නව් ඝරානා හි සුප්‍රකට කල්කා බින්දදීන් පරම්පරාවේ මහා කථක් නර්තන පූජකවරයෙකු වූ පණ්ඩිත් අච්චන් මහරාජ් ජි තුමන්ගේ රැකවරණය සහ ගුරු හරුකම් ලැබුණා. පණ්ඩිත් අච්චන් මහරාජ් ජි යනු ඉන්දියාවේ නවීන කථක් නර්තන කලාවේ පියා ලෙස සැලකෙන පණ්ඩිත් බිර්ජු මහරාජ්ගේ පියාණන් මෙන්ම ප්‍රථම ගුරුවරයාද වෙනවා. ගුරු අච්චන් මහරාජ් යටතේ ලක්නව් ඝරානාවේ සියලු නර්තන ශෛලීන් හදාරමින්, සිය ගුරුවරයාගේ නර්තන කලාව සුරැකීමටත්, පෝෂණය කිරීමටත්, ව්‍යාප්ත කිරීමටත් ජිනදාස වික්‍රමසිංහයන් කටයුතු කළා.
පසුකාලීනව පණ්ඩිත් වික්‍රමසිංහ මහරාජ් විසින් භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයේ කථක් නර්තන අධ්‍යයන අංශය සඳහා ප්‍රථම විෂය නිර්දේශය සකස් කර නිර්මාණය කරන ලද අතර, එහි අංශභාර ප්‍රධානියා ලෙසද සේවය කළා.පණ්ඩිත් බිර්ජු මහරාජ්, සුරේන්ද්‍ර සායිකියා, ආචාර්ය පූර්ණිමා පාන්ඩේ, ආචාර්ය රංජනා ශ්‍රීවාස්තව්, ආචාර්ය වීනා සිං, ආචාර්ය රේණු ශර්මා, ආචාර්ය පාලි චන්ද්‍රා, ගුරු සුභාෂ් ඩික්සිත් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කථක් නර්තන ශිල්පිනියක වූ ගුරු සිරිමතී රසාදරී යන මහත්ම මහත්මීන් එතුමාගේ ප්‍රධාන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සුවිශිෂ්ටයන්.
පණ්ඩිත් වික්‍රමසිංහ මහරාජ්යන්ගේ කැපවීම හා මගපෙන්වීම නිසා, ශ්‍රී ලංකාවට ශාස්ත්‍රීය කථක් නර්තනය හඳුන්වා දීමට සිරිමතී රසාදරී මහත්මියට හැකි වුණා. පණ්ඩිත් බිර්ජු මහරාජ් මහතාට වයස අවුරුදු නවයක් පමණ වන විට ඔහුගේ පියාණන් අකාලයේ මියගිය බැවින්, ලච්ඡු මහරාජ් සහ ශම්භූ මහරාජ් යන බිර්ජු මහරාජ්ගේ බාප්පාවරුන් දෙදෙනා සමඟ එකතු වී කුඩා බිර්ජු මහරාජ්ව නර්තනයෙන් ඉදිරියට ගෙන ඒමේ වගකීම දැරුවේද ගුරු වික්‍රමසිංහයන්. තවද, පණ්ඩිත් වික්‍රමසිංහ මහරාජ් ලක්නව් කථක් කේන්ද්‍රයේ "නිර්දේශක්" (අධ්යක්ෂ/මගපෙන්වන්නා) ලෙසද කටයුතු කළා. කථක් නර්තන කලාව උදෙසා කරන ලද අතිමහත් මෙහෙවර අගයමින් 1981 දී එතුමාට "සංගීත් නාටක් අකැඩමි සම්මානය" හිමි වූ අතර, මෙම සම්මානයෙන් පිදුම් ලැබූ එකම ශ්‍රී ලාංකික කලාකරුවා වන්නේද එතුමා.
1984 දී ගුරු පණ්ඩිත් වික්‍රමසිංහයන් නර්තන හදාරන විද්‍යාර්ථීන්ගේ යහපත උදෙසා 'කථක් නෘත්‍ය මාලා' නමින් ශාස්ත්‍රීය කථක් නර්තනය පිළිබඳ මූලාශ්‍ර ග්රන්ථයක් හින්දී භාෂාවෙන් සම්පාදනය කළා . මෙම ග්‍රන්ථය මම මේ වන විට සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා .එය ශ්‍රී ලංකාවේදී ප්‍රකාශයට පත් කිරීමට තමා සැලසුම් කරන්නේ.

මෙම මහා ගුරුන්නාන්සේගේ උරුමය ඉදිරියට ගෙන යාමේ විශාල වගකීම මම මගේ හෘද සාක්ෂියට එකඟවම භාරගෙන තියෙනවා . ඇත්තටම "වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය" යනු පණ්ඩිත් වික්‍රමසිංහ මහරාජ් නම් වූ මෙම මහා ශ්‍රී ලාංකික කලාකරුවාට උපහාර පිණිස පවත්වනු ලබන ලොව පළමු සහ එකම ශාස්ත්‍රීය කථක් නර්තන උළෙලයි.
ශ්‍රී ලංකාවේ ගුරු වික්‍රම් සිං ගාන්ධර්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන, ICCR කොළඹ සහ එජ්වින් විහාන් සමාගම විසින් සහතික කරනු ලබන සමාරම්භක "නෘත්‍ය සම්රාට්" සම්මානය ප්‍රකාශයට පත් කිරීමට ලැබීම විශාල ගෞරවයක් . මෙම සම්මානය, ලක්නව් ඝරානා හි පණ්ඩිත් අච්චන් මහරාජ්යන්ගේ ගෞරවපූර්ව ශ්‍රී ලාංකික ගෝලයෙකු වූ ගුරු පණ්ඩිත් ජිනදාස වික්‍රමසිංහ මහරාජ්යන්ගේ ශ්‍රේෂ්ඨ උරුමයට පිදෙන උපහාරයක්
ශාස්ත්‍රීය නර්තනය, කලාව සහ සංගීතය කෙරෙහි පැවැති අතිශය භක්තිය නිසාම ගුරු පණ්ඩිත් වික්‍රමසිංහ මහරාජ්යන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ශාස්ත්‍රීය නර්තන ආකෘතීන් ප්‍රචලිත කරමින් ඉන්දියානු සංස්කෘතික උරුමය පෝෂණය කිරීමට සිය ජීවිතයම කැප කළා. එතුමාගේ ආදර්ශමත් කැපවීම සහ කලාත්මක කුසලතාව ඓතිහාසික නර්තන ක්ෂේත්රය තුළ නොමැකෙන සටහනක් තබා තියෙනවා .
"නෘත්‍ය සම්රාට්" සම්මානය මගින් ගුරු පණ්ඩිත් වික්‍රමසිංහ මහරාජ්යන්ගේ කැපවීම, නවෝත්පාදනය සහ සංස්කෘතික පෝෂණය යන ගුණාංග තමන් තුළ අන්තර්ගත කරගත් විශිෂ්ට නර්තන ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙනෙවා. ඓතිහාසික නර්තන ශෛලීන් පිළිබඳ අපගේ අවබෝධය සහ අගය කිරීම සැලකිය යුතු ලෙස ඉහළ නංවමින්, ඉන්දියාවේ සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය ඉදිරියට ගෙන යාමට කැපවූ විශිෂ්ට කුසලතාවලින් හෙබි පුද්ගලයින්ද මෙහිදී ඇගයීමට ලක්වෙනවා.
මෙම සම්මානය කලාත්මක විශිෂ්ටත්වය අගය කරනවා පමණක් නොව, අනාගත පරම්පරාවට ශාස්ත්‍රීය නර්තනයේ පොහොසත් උරුමය වැළඳ ගැනීමට සහ සුරැකීමට මග පෙන්වන ආලෝකයක් විදිහට මම දකින්නේ. ඔවුන්ගේ මෙම ගැඹුරු සංස්කෘතික දායකත්වය ඔස්සේ "නෘත්‍ය සම්රාට්" සම්මානලාභීන් නර්තනය නමැති විශ්ව භාෂාව ඔස්සේ සංස්කෘතික සාමය සහ ගෝලීය අවබෝධය කරා යන මාවත තවදුරටත් ඒකාලෝක කරනවා.
Q: ඔබ එද මෙදාතුර කථක් නර්තනය ඉගෙන ගන්න ඉන්දියාවට ගිය ලාංකික ශිෂ්‍යයන් අතරින් වෘත්තීය වශයෙන් ඉන්දියාවේ කථක් නර්තනයේ යෙදෙන්න අවස්ථාව ලබපු වාසනාව ලබපු වරප්‍රසාදය ලබපු එකම ශ්‍රි ලාංකික ශිෂ්‍යා .....
A: ඔව්.. ඒ සතුට ඒ අභිමානය හිතේ දරාගෙන මම මේ වෙද්දි මගෙන් පස්සේ මම හදාගත්තු තැන හදාගන්න පුළුවන් විදියේ ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් විශේෂයෙන්ම කථක් නර්තනයට පුදුමාකාර ආදරයෙක් තියෙන ශිෂ්‍යයෙක් හොයනවා. ඒත් මට තාම ඒ ශිෂ්‍යා හම්බවුණේ නැහැ.
මට ගුජරාටි වලින් ආවා ලොකු අවස්ථාවක් වෘත්තිය වශයෙන් කථක් නර්තනයත් එක්ක වැඩ කරන්න.මම මගේ ගුරු ජී ට කිව්වා මට යන්න දෙන්න මට නටන්න විතරයි ඕනේ .මට උපාධියක් නොවෙයි ඕනේ මට ඕනේ නටන්න කියලා. ඒත් එතුමිය නිශ්ශබ්දව හිටියා.මම ඒ වෙලාවේ වික්‍රමසිංහ ගුරුතුමාගේ පින්තූරය දිහා බලාගෙන හිතින් කතා කර කර එක දෙයයි කිව්වේ .ඔයාට කරපු දේ මටත් කරයිද කියලා මම හිතින් ඇහුවා.මම කිව්වා ඔයාට නටන්න දුන්නෙ නෑ ඉන්දියාව ඇතුළේ . මටත් කරන්න හදන්නේ ඒක. මට ඒක කරන්න දෙන්න එපා කියලා.පැය භාගයක් විනාඩි 40ක් විතර මම වික්‍රමසිංහ ගුරුතුමාගේ පින්තූරයත් එක්ක කතා කරා . වික්‍රමසිංහ ගුරු ජි ගේ පින්තූරය යට ඉඳගන්නත් ළමයි බයයි.ඒත් මම දරුවෙක් හැමදේම තාත්තාට කියනවා වගේ ඒ පින්තූරය දිහා බලලා මනසින් කතා කරන්න පුරුදු වෙලා හිටියා.එදා මම කතා කරලා නිශ්ශබ්ද වුණාම මගේ ගුරුජී මගෙන් ඇහුවේ එක දෙයක්. ඔයා දැන් වික්‍රමසිංහ ගුරු ජීට ඔක්කොම කියලා ඉවරද මම ගැන කියලා ඉවරද කියලා .මම ඒ මොහොතේ කල්පනා කරනවා මෙයා කොහොමද දන්නේ කියලා.හිතින් අඬ අඬා වගේ හිටපු මට එකපාරටම හිනහත් ගියා.ගුරුජී ඒ වෙලාවේ මට කිව්වා මට ඔයාව නවත්තන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි. ඔයා යන්න .මම ඔයා නවත්වන්නේ නෑ කියලා.මම ඇහුවා ඔයා මෙච්චර වෙලා මට බැනලා බැනලා දැන් මට යන්න කියන්නේ ඇයි කියලා . එයා මට ලස්සන වාක්‍යයක් කිව්වා මම අදටත් ඒ වචන ටිකට ආදරෙයි. මම ඔයාව නොයැව්වොත් වික්‍රමසිංහ ගුරුජී මුළු ජීවිත කාලෙම මට සාප කරයි කියලා . ඒ නිසා මම ඔයාව නවත්වන්නේ නෑ.මම ඔයාට යන්න දෙනවා කියලා.එදා ඉඳන් අද වෙනකම් මම ඉන්දියාවේ වෘත්තිය වශයෙන් කථක් නර්තනයේ යෙදෙන්න අවසර ලබපු එකම ශ්‍රී ලාංකික ශිෂ්‍යා විදිහට ඉන්දියාවේ කථක් නර්තනයේ යෙදෙනවා.

Q: දැන් ඔබ මට කියන්න කථක් නර්තනය වෙනුවෙන් මේ සා සුවිසල් මෙහෙවරක් කළ ජිනදාස වික්‍රමසිංහ ගුරුතුමන්ට එක්තරා කාලයකදී ඉන්දියාවේ කථක් නර්තනයේ යෙදෙන්න බැරි වුණේ ඇයි කියලා ?
A: ඒ ප්‍රශ්නයත් මට වේදනාකාරීයි.ජිනදාස වික්‍රමසිංහ ගුරුතුමාණන් කියන්නේ අප්‍රමාණ ගුරු ගෞරවයක් තිබුණ ශිෂ්‍යයෙක්.ඉතින් හැඟීම්බර සහ මානුෂිකව සිතන මනුස්සයෙක් වෙච්ච ජිනදාස වික්‍රමසිංහ ගුරුතුමා හේතු කිහිපයක් මත ඉන්දියාවේ ප්‍රසිද්ධියේ කථක් නර්තනයේ යෙදීම නවත්වනවා.මම දැනට ඉන් එහා ඒ ගැන කතා නොකර ඉන්නම්. ඒත් මම එක දෙයක් කියන්න ඕනේ .අදටත් ඉන්දියාවේ හුඟක් මිනිස්සු කථක් නර්තනය ගැන කතා කරද්දි වික්‍රමසිංහ ගුරුතුමාගේ නම කියද්දත් අත් දෙක එකතු කරලා වැඳගෙන තමයි එතුමගෙ නම කියන්නේ. ඒ තරම් ගෞරවයක් එතුමාට අදත් ඉන්දියාවේ තියෙනවා.ඒත් ඒ ගෞරවය සහ එතුමා ඉන්දියාවේ හංගලා තියෙන්නේ .මට ඕනෑ වෙන්නේ මට අවශ්‍ය වෙන්නේ මගේ අරමුණ වෙන්නේ ඒ හංඟලා තියෙන ජිනදාස වික්‍රමසිංහ කියන කථක් නර්තනයේ මහා පුරෝගාමී මහා ප්රතාපවත් චරිතය මුළු ලෝකයක් ඉස්සරහට ගෙනියන්න. මම උත්සහ කරන්නේ ඒ වෙනුවෙන්.
Q: ඔබ මට කියනවා එතුමා ප්‍රසිද්ධියේ ඉන්දියාවේ කථක් නර්තනයේ යෙදීම අත් හැරීමට හේතු කියන එක මේ මොහොතේ නොකර ඉන්නම් කියලා.ඒ කියන්නේ ඔබ ඊට හේතු කියන දවසක් එනවා.මේ මොහොතේ මට නොකියන ඔබ ඔහු වෙනුවෙන් කරන දෙයක් තියෙනවා ?
A: ඔව් ..මම එතුමාගේ ජීවිත කතාව ලියන ගමන් ඉන්නේ.ඒත් එතුමාගේ ජීවිතයේ සමහර සිදුවීම් එතුමා කථක් නර්තනය වෙනුවෙන් කරපු කැපකිරීම, එතුමාට නර්තනය අත්හරින්නට සිදුවීම ආදී දේවල් ඒ හේතු ලියද්දි මම හුඟාක් හැඟීම්බර වෙනවා. ඇත්තටම ඇස්වලට කඳුළු එනවා. මට ඇඬෙනවා. මම තාම තරුණයි .අත්දැකීම් එක්ක ජීවිතයත් එක්ක ජීවිතය පිළිබඳව දර්ශනයත් එක්ක මම තවත් පරිණත වෙද්දී මම මේ පොත ලියලා අවසන් කරයි. නොවැරදීම ඒ පොත එළි දක්වන දවසක් එයි. එදාට ජිනදාස වික්‍රමසිංහ කියන්නේ කවුද කියන එක මේ මුළු ලෝකෙම දැන ගනී .ජිනදාස වික්‍රමසිංහ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුදේවයාණන් කෙනෙක්.කථක් නර්තනයට තමන්ගේ හදවතින්ම තමන්ගේ ලේ වලින්ම ආදරේ කරපු අතිශය සංවේදී හැඟීම්බර අප්‍රමාණ ගුරු භක්තියක් තිබුණ මනුස්සයෙක්.ගුරුවරු හෙටත් බිහිවේවි.ඒත් මේ විදිහට ශිල්පයකට ආදරය කරන්න පුළුවන් සහ තමන්ට උගන්නපු ගුරුවරයා වෙනුවෙන් ගුරු භක්තියකින් තම අභිලාෂයන් පරිත්‍යාග කරන්න පුළුවන් ගුරුවරු බිහිවෙයිද කියන එක මම දන්නේ නැහැ.මොකද මනුෂ්‍යත්වයෙන් සහ ආදරයෙන් ශිල්පයක් ප්‍රගුණ කිරීම කියන එක විරල දෙයක්.ඒක හැමෝටම කරන්නත් බැරි දෙයක්.
Q: ඔබ කථක් නර්තනය හැදෑරුව ඔබේ හතරවෙනි ගුරුතුමියගෙන් ඔබට ලැබෙනවා ඔබ පුදුමයට පත් කළ ත්‍යාගයක්. මම හිතන්නේ ඔබ ජීවිතයේ අවසාන හුස්ම තෙක් අත් නොහරින ත්‍යාගයක් ඔබට ලැබුණේ?
A: එදා එතුමිය භාත්ඛණ්ඩේ විශ්ව විද්‍යාලයේ සමුගන්න දවස. එතුමිය හරි කලබලෙන් හිටියේ යම් ආතතියකින් වගේ.ඇය මට හමුවූ පළමු දවසෙත් කිව්වා උඹ ගියාම තමා මම මෙතනින් යන්නේ එතකම් මම උඹව බලා ගන්නවා කියලා.එදා ඒ විශ්ව විද්‍යාලයෙන් සමුගන්න දවසේ මම ඉන්දියාවේ හිටියා.මම ඒ උත්සවයෙත් හිටියා මම දැක්කා ඇය මගේ දිහා බලනවා බලාගෙන ඉන්නවා.මම ඇයට කතා කළේ අම්මා කියලා .ඇය මට කතා කළා පුතා ළඟට එන්න කියලා එතුමිය මෙච්චර කාලයක් විශ්වවිද්‍යාලයේ එතුමිය ළඟ තියාගෙන හිටපු වික්‍රමසිංහ ගුරුතුමාගේ ෆොටෝ එක මට පෙන්නලා කිව්වා ඔයා ඒක බාරගන්නන ඕන.ඒ පින්තූරේ විශ්වවිද්‍යාලයේ තියන්න බෑ. ඒ පින්තූරය අදින් පසු තියෙන්න ඕනේ උඹ ළඟ ඒ පරම්පරාව උඹ ගෙනියපන් කියලා.ඒ පොරොන්දුව එදා ඇය මගෙන් ගත්තා. ඇත්තටම ඒ මොහොතේ මගේ කකුල් දෙක පණ නැතුව වගේ ගියා. මම ඇහුවා මොනවද අම්මා ඔයා මේ කියන්නේ කියලා.ඔයා හොඳට හිතලද මේ කතා කරන්නෙ කියල මම ඇහුවා ඒ මොහොතෙත් ඇය කිව්වා වික්‍රමසිංහ ගුරු ජී ගේ පරම්පරාව ගෙනියන්න ඕන උඹ මේ පින්තූරය අදින් පස්සේ තියෙන්න ඕනෙ. උඹ ගාව විතරයි කියලා කාටවත් දෙන්න බෑ කිව්වා.එතුමිය ගාව අවුරුදු විසි ගණනක් තිස්සේ තිබ්බ පින්තූරය දැන් තියෙන්නේ මගේ ගාව.මට ජිනදාස වික්‍රමසිං ගුරුතුමා සමඟ තියෙන ලේ නෑකමක් නෙමෙයි. ශාස්ත්‍රීය නෑකමක් .ඒත් ඒ ශාස්ත්‍රීය නෑකම වචනයෙන් විග්රහ කරන්න බැරි තරම් ගැඹුරුයි. මම හිතනවා සමහරක් දේවල් සමහර බැඳීම් විග්රහ කරන්න මේ ලෝකෙම තියෙන වචනෙ එකතු කරත් බැහැ ඒ වචන දුප්පත් ඒ බැඳීම් වලට වඩා කියලා.

Q; ගුරුතුමනි මම මරණය විශ්වාස කරන්නේ නැහැ.මරණය කියන්නේ භෞතික ක්‍රියාවලියක් විතරයි.සාංසාරිකව භව ගමන පුරා ශරීරය අත්හරිමින් අපි යන ගමනක් තමයි ජීවිතය කියන්නේ.ඒ ජීවිතය තුළ අපි අත් නොහැර ආදරය සහ ගෞරවය පිරිනමන මිනිසුන් අපට හමුවෙනවා...එවැනි මිනිසුන් වෙනුවෙන්අපි අසමාන ප්‍රේමණීය අධිරාජයන් ගොඩ නගනවා....මට කියන්න නෘත්‍ය සම්රාට් කියන්නෙත් මහා අධිරාජයෙකුට අයත් එහෙම අධිරාජ්‍යයක්ද ?
A: ඔව්...... නෘත්‍ය කියන වචන ගත්තම නෘත සහ භාව එකතුවෙන් තමයි ඒ වචනය නිර්මාණය වෙන්නේ.එහි අර්ථය එයයි.නෘත කියන්නේ ශුද්ධ නර්තනයට.සම්රාට් කියන්නේ අධිරාජයා කියන එක.සම්මුති අර්ථයෙන් ගත්තම නෘත්‍ය සම්රාට් කියන එකේ අර්ථය තමයි නර්තනයේ භාවාත්මක ගුණයෙන් පිරි අධිරාජයා කියන එක.මා කථක් නර්තනය හැදෑරූ ගුරු පරම්පරාවන් කොතනක හෝ වික්‍රමසිංහ ගුරුතුමාණන්ගේ ශිල්පය හැදෑරූ ගුරුවරයෙක්ගේ තැනකට යාවෙනවා.ඒ විතරක් නෙමෙයි නෙමෙයි කථක් නර්තනය වෙනුවෙන් ඔහු කළ උත්තරීතර මෙහෙවර කවදාවත් වචනෙන් නිර්වචනය කරන්න බැරි තරම්. එතුමා ජීවිතයයේ අවසන් හුස්ම තෙක් නටන්න ඕනෑ මනුස්සයෙක්. ඒත් හැංගිලා හිටියා.මට හිතුණා එතුමාගේ නමින් ඉන්දියාවට ටයිටල් එකක් දෙන්න ඕනේ කියලා.මා පිරිනමන ඒ ටයිටල් එකේ නම තමා නෘත්‍ය සම්රාට්මේ උත්සවයේදී එතුමාගේ නමින් ලෝකයේ සහ ලංකාවේ ඉන්න විශිෂ්ට නර්තනවේදීන්ට ,කථක් නර්තන ශිල්පීන්ට වගේම වෙනත් නර්තන සම්ප්රදායන්හි විශිෂ්ටයන්ටත් සම්මාන දෙනවා.නර්තන වේදියෙකුට නර්තනයේ යෙදෙන්න කවදාවත් වයස කියන්නේ අදාළ කාරණයක් නෙමෙයි.ඒ නිසා එදාට සම්මාන ලබන හැම කෙනෙක්ම වේදිකාවේ නටන්න ඕනේ.අචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ කියන්නේ උඩරට නර්තනය වෙනුවෙන් ප්‍රථම ආචාර්ය උපාධිය ලබා ලබාගත් ශ්‍රී ලාංකික නර්තනවේදිනියයි.මම උදාහරණයක් කීවේ .ඇය වැන්නවුන් ඇය වැනි අගය කළ යුතු ප්‍රශංසා කළ යුතු අය එදා මේ වේදිකාවේදී සම්මානනීය වෙනවා.ඇය මට කිය

