A Gentleman


ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති "අ ජෙනට්ලිමන්" චිත්‍රපටය එළැඹෙන අගෝස්තු 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. ක්‍රියාදාම ලේබලය යටතේ මෙම චිත්‍රපටය නම් කර තිබුණද, හාස්‍යමය දර්ශන බොහෝ ප්‍රමාණයක් මෙම චිත්‍රපටයට ඇතුළත් කර තිබෙන බව සඳහන් වේ.

 

නළුනිළියන්

සිද්ධාර්ත් මල්හෝත්‍රා "ගෞරව්" හා "රිෂි" ලෙස මෙහි ද්විත්ව චරිත නිරූපණය කරයි. %කාව්‍යා^ ලෙස සුරූපී නිළි ජැක්ලින් ෆර්නැන්ඩෙස් රංගනයෙන් දායක වෙයි. ඔවුන්ට අමතරව සුනිල් ෂෙට්ටි, දර්ශන් කුමාර්, මහේෂ් මිස්රා, සැකරී කොෆින්, මලික් බැසිල්, මේරි ෆර්හා, ප්‍රශාන්ත් ෂා, හුසෙන් ඩලාල්, රැචෙලි බෙයිලි, ගෝවර් ඛාන් පිරිස මෙහි සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති.

 

සෙසු සහයකයන්

%අ ජෙනට්ලිමන්^ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ කිෂ්ණන් ඩී.කේ හා රාජ් නදිමෝරු දෙදෙනාය. කතාව හා තිර රචනයද ඔවුන් දෙදෙනාගෙන් වන අතර, දෙබස් සුමිත් භතිජාගෙනි. සංගීතය සචින් හා ජිගර් දෙදෙනා සිදුකර ඇති අතර, කැමරාකරණයෙන් රෝමන් ජාකොබිද, සංස්කරණයෙන් අරිෆ් ශීක්ද, ඇඳුම් නිර්මාණයෙන් මනොෂි නාත් හා රිෂි ෂර්මාද, නිෂ්පාදනයෙන් "ෆෝක්ස් ස්ටාර් ස්ටුඩියෝ" ආයතනයද සහය වී ඇත.

 

කතාව

"ගෞරව්" වැදගත් රැකියාවක නිරත වන චාම් ගති පැවතුම් ඇති අහිංසක තරුණයෙකි. "රිෂි" යනු නිතරම දාමරික වැඩවල නිරත වන සොරකම් කිරීම තම වෘත්තිය කරගත් තරුණයෙකි. "කාව්‍යා" අහිසංක පෙනුමකින් යුත් එහෙත්, නාගරික ගති පැවතුම්වලින් පිරි ජීවිතයක් ගත කරන්නියකි."ගෞරව්" අහිංසක "කාව්‍යා"ට පෙම් කරන නමුත්, ඇයගේ කැමැත්ත ඇත්තේ නාගරික පන්නයට හැඩ ගැහුණු තරුණයෙකුටය. චිත්‍රපටය අවසන් භාගයේ දී ප්‍රේක්ෂකයාට කුතුහලය ගෙන එන්නේ වැදගත් ජීවිතයක් ගත පුද්ගලයා දාමරික වැඩවල නිරතවන "රිෂි"ද යන ප්‍රශ්නාර්ථය ගෙන දෙමිනි.

 

විශේෂත්වය

ජැකලින් හා සිද්ධාර්ත් සිනමා පෙම්වතුන් ලෙස බොලිවුඩ් චිත්‍රපටයක දකින පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, මීට පෙර ජැකලින් හා සිද්ධාර්ත් දෙදෙනා බොලිවුඩ් චිත්‍රපටයක රඟපා ඇති අතර, ඒ %බ්‍රදර්ස්^ චිත්‍රපටයේය. එහි ජැකලින් පෙනී සිටියේ සිද්ධාර්ත්ගේ වැඩිමහල් සොහොයුරා ලෙස රඟපෑ ආක්ෂේ කුමාර්ගේ බිරිඳගේ චරිතයයි. එමෙන්ම සිද්ධාර්ත් මෙන්ම ජැකලින්ද මේ වසරේ සිය සිනමා රසික පිරිස් මුණගැසෙන පළමු අවස්ථාවද මෙය වේ.

 

රූපගත කිරීම්

2016 වසරේ සැප්තැම්බර් මාසයේ දී රූපගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය ආරම්භයේ දී නම් කර තිබුණේ %රිලෝඩ්^ ලෙසය. මේ වසරේ අප්‍රේල් මාසයේ දී මෙහි සියලු රූපගත කිරීම් කටයුතු නිමා කර තිබුණි. ඇමෙරිකාවේ මියාම්, ෆ්ලෝරිඩා නගරවලදී මෙන්ම තායිලන්තයේ බැංකොක් නගරයේදීද මෙහි රූපගත කිරීම් කටයුතු සිදු කර ඇත. එමෙන්ම ඉන්දියාවේ මුම්බායි හා මහරෂ්ට් ප්‍රාන්තයේ දී මෙහි ඇතැම් දර්ශන රූපගත කර තිබේ.

 

සංගීතය

"අ ජෙනට්ලිමන්" චිත්‍රපටයේ ඇතුළත් ගීත ප්‍රමාණය 7කි. මෙහි සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත්තේ සචින් හා ජීගර් දෙදෙනාය. ගී පද රචනයෙන් වායූ හා ප්‍රියා සාරියා දෙදෙනාගෙනි. පසුබිම් ගීත ගායනයෙන් බෙනි දයාල්, සිද්ධාර්ත් බස්රූර්, විශාල් ඩඩ්ලානි, ජොනිටා ගාන්ධි, නේහා කක්කර්, තුල්සි කුමාර්, අන්කිත් තිවාරි දායක වී ඇත.

 

තිරගත කිරීම

අගෝස්තු 25 වැනිදා මෙම චිත්‍රපටය ඉන්දියාවේදී සිනමා ශාලා 797ක ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. එම දිනයේදීම එක්සත් රාජධානියේ මෙන්ම එංගලන්තය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, තායිලන්තය වැනි රටවල "අ ජෙනට්ලිමන්" චිත්‍රපටය තිරගත කිරීමට නියමිතව ඇත. මෙම චිත්‍රපටය තිරගත වන දිනයේදී තවත් බොලිවුඩ් චිත්‍රපට 2ක් තිරගත වීමට නියමිතය.