'ඝරසරප' දැන් තිරගත වෙයි



 

නව යොවුන් වියේ පසුවන සඳරැස් එදිරිසිංහ ගඩාගම දේවස්ථානයට යන්නේ තම ග්‍රාම සගයා වූ අන්තෝනිගේ ආරක්ශකයා වශයෙනි.එහෙත් වරින් වර වැළඳෙන යක්ෂාරූඪයකින් පීඩා විඳින අන්තෝනි සුව කර ගැනීමේ වගකීම භාර ගත් ඔහුගේ මිත්තණිය ගේ බලවත් විශ්වාසය වූ එම දේවස්ථානයේ සති අනත් සවු මෙහෙයට ඔහු අත්‍යන්තයෙන්ම නවකයකු වෙයි.

 

නවකයා නැවුම් මිනිසෙකි. නැවුම් මිනිසාට මේ ගමනේදී නැවුම් ප්‍රේමයක් සම්මුඛ නොවී තිබෙයි ද?

ප්‍රශ්නය නම් මේ යොවුන් පෙම්බරිය ද යක්ෂාරූඪයකින් පීඩා විඳීම ය. විශේෂය නම් ඇය වසා ගත් යක්ෂයා ස්ත්‍රීන්ට පමණක් ම ලොල් වඩන සුප්‍රකට කළු කුමාර යකෂයා වීම ය. ස්ත්‍රීන් විෂයයෙහි අතිශය බලපෑම් සහගත ආලවන්තයකු වශයෙන් ප්‍රේම ක්‍රීඩාවෙහි නිරත කළු කුමාරයා විද්‍යා කෙරෙහි කෙතරම් ආසක්තව සිටින්නේද යත් ඇය මෙම අතවරයෙන් මුදා ගැනීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ඔහු අභියෝග කරන සුළු ය.

සුවපත් කිරීම අරමුණු කරගෙන ආතුරයන් ප්‍රලය කරවන සුව මෙහෙය තුළ එදා ඇය ප්‍රලය නොවන්නේ ඇයගේ සිතට රිංගා ගෙන සිටින සඳරැස් නිසාය. ලාබාල යුවතිය ගේ හද මඬල සටන් බිම වශයෙන් ගෙන සිදු කෙරෙන මේ නූතන යක්ෂ-මිනිස් සටනින් අවසානයේ මිනිස් කොලූවා ජය ලබන්නේ කළු කුමාරයා ගේ ගෞරවය ද ලබමිනි.

එහෙත් කළු කුමාරයාට ද වඩා බලවත් සමාජ-දේශපාලනකි තත්ත්වයන් විසින් නොපමාව වෙන් කරවන ලද යොවුන් ප්‍රේම වන්තයෝ අහිමි ආදරය දළු ලා වැඩෙනන්ට ඉඩ හරිමින් එකිනෙකා ගෙන් වෙන් වන්නේ කාලය නමැති ස්වභාවික අකරුණාවේ සරදමට ද ලක් වෙමිනි.

වසර තිස් හතක් ගෙවියයි. විද්‍යා, සදරැස් සමාජයේ අද පිළිගත් දෙදෙනෙකි. විද්‍යා දොරේඅප්පා නමැති මනෝ වෛද්‍යවරියයි. සඳරැස් ආචාර්ය සඳරැස් එදිරිසිංහ නමැති විශ්ව විද්‍යාල කථීකාචාර්යවරයායි. ඔවුන් යලිත් මුණ ගැසීම සිදුකරන්නේ කළු කුමාර යක්ෂයායි. ඉන්පසු ඔවුන්ගේ ඉරණම කෙසේ විසදෙයිද?