රජිනිකාන්ගේ 'කාලා' දැන් තිරගතවේ


දකුණු ඉන්දීය සුපිරි නළු රාජිණිකාන්ත් දෙවසරකට පසුව නැවතත් සිනමා ප්‍රේක්ෂකයන් මුණගැසෙන ‘කාලා’ චිත්‍රපටය එළැඹෙන ජුනි 07 වැනිදා ඉන්දියාවට සමගාමීව ලොවපුරා රටවල් රැසක ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වී ඇති මෙම ‘කාලා’ චිත්‍රපටය දමිළ හා හින්දි භාෂාවට අමතරව තවත් භාෂා කිහිපයකින්ම හඬකවා ඇත.

 

නළුනිළියන්2018-06-08-ent-59

මෙම චිත්‍රපටයේ ‘කාලා’ හෙවත් ‘කරිකලන්’ ලෙස රංගනයෙන් දායක වන්නේ සුපිරි දමිළ සිනමා නළු රාජිණිකාන්ත්ය. ‘හරිනාත් දේසායි’ ලෙස නානා පටේකාර්ද, ‘අන්බු’ ලෙස ‘සමුද්‍රකරානිද, ‘සෙල්වි’ ලෙස ඊශ්වර් රාඕද, ‘ශරීනා’ ලෙස හුමා කුරේෂිද, ‘පායල්’ ලෙස අංජලී පටෙල්ද, ‘ශිවාජි රාඕ’ ලෙස අර්වින්ද් අකාෂ්ද රංගනයේ යෙදෙති.

 

සෙසු සහයකයන්

රාජණිකාන්ත් අවසන් වරට රඟපෑ ‘කබාලි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රංජිත් මෙම චිත්‍රපටයද අධ්‍යක්ෂණය කර තිබේ. කතාව හා තිර රචනයද ඔහුගේම වන අතර, චිත්‍රපටය සඳහා නිෂ්පාදන බරපැන රාජිණිකාන්ත්ගේ බෑණා වන ධනුෂ් විසින් දරා තිබේ. සංගීත අධ්‍යක්ෂණයෙන් සතෝෂ් නාරයන්ද, කැමරාකරණයෙන් මුරලී වර්ධන්ද, සංස්කරණයෙන් ශ්‍රීකර් ප්‍රසාද්ද, කලා අධ්‍යක්ෂණයෙන් අමනාත් අලීද දායක වී ඇත.

 

කතාව

‘චෙන්නායි’ නගරයේ වෙසන ‘කාලා’ අයුක්තිය වෙනුවෙන් නිතරම සටන් කරන මැරයෙකි. ධනවතුන්ගෙන් ධනය උදුරා ඒවා දුප්පතුන්ට බෙදා දෙන ඔහු අයුක්තිය වෙනුවෙන් නිතරම සටන් කරන්නෙකි. ‘හරිනාත් දේසායි’ යනු වංක දේශපාලඥයෙකි. නිතරම ජනතාව වෙනුවෙන් හඬනගන ඔහු කූට ලෙස දේශපාලන බලයෙන් ධනවත් වෙන්නෙකි. ‘කාලා’, ‘හරිනාත්’ සමගින් නිතරම ගැටෙයි. ඒ දුප්පතුන්ගේ ශ්‍රමය හා ධනය දේශපාලන බලයෙන් ඔහු ලබාගන්නට දරන උත්සාහය මින් ප්‍රකට කෙරේ.

 

රූපගත කිරීම්

පසුගිය වසරේ මැයි මාසයේ දී මෙහි රූපගත කිරීම් කටයුතු චෙන්නායි නගරයේ දී ආරම්භ කර ඇත. ඉන්දියාවේ චෙන්නායි නගරයට අමතරව මුම්බායි, ගෝවා හා හයිද්‍ර්බාද් නගරවල දී මෙහි සියලු රූපගත කිරීම් කටයුතු සිදු කර ඇත. චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරියේ දී සිදු කළ අතර, අවස්ථා කිහිපයක දී රාජිණිකාන්ත් රෝගාතුර වීම නිසාවෙන් චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු අවලංගු කරන්නටද සිදුවිය.

 

විශේෂත්වය

රාජිණිකාන්ත් චිත්‍රපටයක රූපගත කිරීම් සඳහා මුම්බායි නගරයට පැමිණ ඇත්තේ පළමු වතාවට බව සඳහන් වේ. එමෙන්ම ‘කාලා’ හෙවත් ‘කරිකලන්’ගේ පැරණි පෙම්වතිය වන ‘ශරීනා’ට පළමු වරට තෝරා ගනු ලැබුවේ විද්‍යා බාලන් බව සඳහන් වේ. පෞද්ගලික හේතුවක් මත ඇය එම චරිතය ප්‍රතික්ෂේප කළ අතර, පසුව එය හුමා කුරේෂිට ලබාදී ඇත. හින්දි, සිංහල, තෙලිඟු හා මරාති චිත්‍රපට බොහෝමයක රඟපෑ ඇති අංජලී පටෙල් දමිළ සිනමා නිර්මාණයකට දායක වන ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.