Jab Harry Met Sejal


 

‘රබ් නේ බානා ඩී ජෝඩි’ හා ජබ් තක් හේ ජාන්’ චිත්‍රපටවලින් පසුව නැවතත් බොලිවුඩ් සිනමා තිරයේ පෙම්වතුන් ලෙස අනුෂ්කා ෂර්මා හා ෂාරුක් ඛාන් පෙනී සිටින අලුත්ම චිත්‍රපටයක් එළැඹෙන අගෝස්තු 04 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය. ‘ජබ් හැරී මිට් සේජල්’ නම් වූ මෙම චිත්‍රපටය ‘ෆ්ලිම් ෆෙයාර්’ සම්මාන රැසක් දිනා ඇති ඉම්ටියාස් අලීගේ සිනමා නිර්මාණයකි.

 

නළුනිළියන්

මෙහි ‘හරේන්ද්‍ර සිං මෙහෙරා’ හෙවත් ‘හැරී’ ලෙස සුපිරි නළු ෂාරුක් ඛාන් රංගනයෙන් එක් වේ. ‘සේජල් ජාවෙරි’ ලෙස සුරූපී අනුෂ්කා ෂර්මා රංගනයේ යෙදෙයි. ගයනි ගුප්තා, එව්ලියන් ෂර්මා, දුල්ජිත් දෝශාන්, මන්ජෝට් සිං, චන්දන් රෝයි, පරාස් ආරෝරා, අන්ජාන් සිවස්ති, ක්‍රිස්ටීනා මර්ෆි, සමන්තා එලිසැන්ඩෝ, බෲස් හන්ටර් ‘ජබ් හැරී මිට් සේජල්’ හි සෙසු චරිත නිරූපණය කරති.

 

සෙසු සහයකයන්

කතාව, තිර රචනය, දෙබස් හා අධ්‍යක්ෂණය ඉම්ටියාස් අලී විසින් සිදු කර ඇත. නිෂ්පාදනය ෂාරුක්ගේ බිරිඳ වන ගෞරි ඛාන්ගෙන් විසින් සිදු කර ඇත. ඇයට අයත් ‘රෙඩ්චිලි’ නිෂ්පාදනය ආයතනය හරහා මෙහි සියලු බෙදාහැරීම් කටයුතු සිදුකොට තිබේ. කේ.යූ මෝහනන් කැමරාකරණයෙන්ද, ආරති බජාජ් සංස්කරණයෙන්ද, අකි නාරුලා ඇඳුම් නිර්මාණයෙන්ද, ලෝයිස් බේකර් කලා අධ්‍යක්ෂණයෙන්ද ‘ජබ් හැරී මිට් සේජල්’ චිත්‍රපටය සඳහා සහය වෙති.

 

රූපගත කිරීම්

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී මෙහි රූපගත කිරීම් කටයුතු ආරම්භ කර තිබුණි. මාස 06ක කාලයක් පුරා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක මෙහි ප්‍රදර්ශන කටයුතු සිදු කරනු ලැබීය. රූපගත කිරීම් ආරම්භ කළ මුල් මාසයේ දී මෙහි සියලු රූපගත කිරීම් කටයුතු සිදු කර තිබුණේ චෙක් ජනරජයේ ෆ්‍රොග්හිය. ඉන් පසුව නෙදර්ලන්තයේ නගර කිහිපයකද රූපගත කිරීම් සිදු කරනු ලැබූ මෙහි අවසන් රූපගත කිරීම් කටයුතු සිදුව ඇත්තේ හංගේරියාවේ බුදාෆොස්ට් හා පෘතුගාලයේ ලිස්බන් නගරයේදීය. චිත්‍රපටය සඳහා ඇතුළත් දර්ශන කිහිපයක් ඉන්දියාවේ පන්ජාබ් නගරයේදීද සිදුකර තිබේ.

 

විශේෂත්වය

ෂාරුක් හා අනුෂ්කා සිනමා පෙම්වතුන් ලෙස පෙනී සිටින තුන්වැනි බොලිවුඩ් චිත්‍රපටයද මෙය වේ. එමෙන්ම මොවුන් දෙදෙනාම ඉම්ටියාස් අලීගේ සිනමා නිර්මාණයකට දායකවන පළමු අවස්ථාවද වේ. ෂාරුක් ඛාන් හා අනුෂ්කා ෂර්මා මේ වසරේ සිය සිනමාලෝලීන් මුණගැසෙන දෙවැනි අවස්ථාවද මෙය වේ. මීට පෙර ෂාරුක් ‘රේයිස්’ හා අනුෂ්කා ‘පිල්ලොරි’ චිත්‍රපට තුළින් සිය රසික පිරිස් මුණගැසුණි. මෙම චිත්‍රපට දෙක ආදායම් උපයා ගැනීම අතින්ද අතිසාර්ථක විය. චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සිදුකරන කාලයේ මෙම චිත්‍රපටයට ‘ද රින්ග්’ ලෙස නම් තබා තිබුණු අතර, මීට සති කිහිපයකට පෙර එහි නම ‘ජබ් හැරී මිට් සේජල්’ ලෙස වෙනස් කර තිබුණි.

 

නිෂ්පාදනය

විදෙස් රටවල දී මෙහි රූපගත කිරීම් සිදු කළ නිසාවෙන් චිත්‍රපටය සඳහා විශාල නිෂ්පාදන පිරිවැයක් දරන්නට සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ. චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු අරඹන්නට පෙර මෙහි නිෂ්පාදන මුදල ලෙස ඉන්දීය රුපියල් කෝටි 64ක මුදලක් වාර්තා වූ අතර, චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් වූ මුදලක ඇතුළත් කළ විට මෙහි සම්පූර්ණ වියදම ඉන්දීය රුපියල් කෝටි 70කට ආසන්න බව සඳහන් වේ. එමෙන්ම ෂාරුක් මෙන්ම අනුෂ්කාද චිත්‍රපටයක රංගනයෙන් දායක වීම සඳහා ඉහළ මුදලක් අය කරන නළුනිළි යුවළක් වීම නිසා නිෂ්පාදන මුදලනි ¾ක මුදලක් ඔවුන්ට වෙන් වූ බව දැනගන්නට ලැබේ.

 

සංගීතය

‘ජබ් හැරී මිට් සේජල්’ චිත්‍රපටය සඳහා ඇතුළත් ගීත ප්‍රමාණය 6කි. ප්‍රිතම් චක්‍රබෝර්ති මෙහි ප්‍රධාන සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර, සුනයිද්‍රි චෞහාන්, අර්ජිත් සිං, ශර්මිලා කෝල්ගාඩ්, දේව් නාගි, අමන් ත්‍රිකා, නුරාන් සිස්ටර්ස්, ෂාහිඩ් මලයා මෙහි පසුබිම් ගීත ගායනයෙන් දායක වී තිබේ.

 

තිරගත කිරීම

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කිහිප වරක් දින යෝජනා වී තිබුණු අතර, අවසානයේ තීරණය වූයේ අගෝස්තු 04 වැනිදා මෙය ප්‍රදර්ශනය කිරීමටය. ඉන්දියාවේ සිනමා ශාලා 367ක ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති මෙම චිත්‍රපටය එංගලන්තයේ, නෝර්වේ, ස්විඩනයේ, නේදර්ලන්තයේ, චෙක් ජනරජයේ, පෘතුගාලය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සිංගප්පූරුව, මැලේසියාව, ඇමෙරිකාව යන රටවල අගෝස්තු පළමු සතිය තුළදී ප්‍රදර්ශනය කිරිමට නියමිතය. මෙම චිත්‍රපටය තිරගත වන දිනයේ දී ශංකර් රාමන්ගේ ‘Gurgaon‘ හා ලුම් හර්ෂ්ගේ ‘Yeh Hai India‘ චිත්‍රපටද ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.