Jagga Jasoos



මාස කිහිපයකට පෙර සිටම බොලිවුඩ් සිනමාලෝලීන් පුලපුලා බලා සිටි චිත්‍රපටයක් වන ‘Jagga Jasoos’ එළැඹෙන ජූලි 14 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතය. සුපිරි නළුනිළි යුවළක් රංගනයේ යෙදෙන නිසාම මෙය ජූලි මාසයේ ප්‍රදර්ශනය වන පළමු සුපිරි බොලිවුඩ් චිත්‍රපටයද වේ.

 

නළුනිළියන්

මෙහි එන ‘ජග්ගා’ චරිතයට පණ පොවනු ලබන්නේ ජනප්‍රිය බොලිවුඩ් නළු රන්බීර් කපූර් විසිනි. ‘සරූති’ ලෙස කත්‍රිනා කයිෆ් පෙනී සිටින අතර, සයනි ගුප්තා, සස්වත් චිත්‍රාජි, සව්රබ් සුක්ලා, ඩෙන්සිල් ස්මිත්, බිජේන්ද්‍ර කාලා, කරන් වාහි, මිර් සර්වාර් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති. ජනප්‍රිය හින්දි සිනමා නළු ගෝවින්දා මෙහි ආරාධිත චරිතයක් නිරූපණය කිරීම විශේෂත්වයකි.

 

සෙසු සහයකයන්

‘Jagga Jasoos’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ අනුරාග් බාසු විසිනි. කතාව හා තිර රචනයද ඔහුගේම වන අතර, නිෂ්පාදනය ප්‍රධාන නළු රන්බීර් කපූර් හා සිද්ධාර්ත් රෝයි කපුර් විසින් සිදු කර ඇත. සංස්කරණයෙන් අකිව් අලී, කැමරාකරණයෙන් රවී වර්මන්, කලා අධ්‍යක්ෂණයෙන් රජත් පොඩ්ඩෝර්, ඇඳුම් නිර්මාණයෙන් මනිස් මල්හෝත්‍රා, සංගීත අධ්‍යක්ෂණයෙන් ප්‍රිතම්ද දායක වී ඇත. චිත්‍රපටයේ සියලු බෙදාහැරීම් කටයුතු සිදු කොට ඇත්තේ ‘ඩිස්නි ඉන්දියා’ චිත්‍රපට සමගාම විසිනි.

 

කතාව

නිතරම වීර ක්‍රියා සිදු කරන්නට කැමැත්තක් දක්වන ‘ජාසස්’ සිය ජීවිතේම එවැනි ක්‍රියාකාරකම්වලට කැප කරයි. වචන උච්චාරණයේ දී තරමක අසාර්ථක වන ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුද වේ. උස් ගොඩනැගිලිවලින් බිමට පනින්නට උත්සාහ කරන ඔහු තවත් විටෙක නපුරු සතුන් දඩයම් කිරීමට සුදානම් වෙයි. එමෙන්ම සිය ජීවිතේ ගැන නොසිත ඔහු වික්‍රමාන්විත මිනිසුන් බේරා ගැනීමේ අවස්ථාවලටද මුහුණ දෙයි. සිය ජීවිතේම එවැනි වික්‍රමාන්විත ක්‍රියාවන්ට යොමු කරන ඔහුට එක්වරම සුරූපී ‘සරූති’ මුණගැසෙයි. ඇය සමග ආදරයෙන් වෙලෙන ඔහුට එක්තරා අවස්ථාවක අපූර්වතම සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවෙයි. එය කොතරම් අපූර්වතම සිදුවීමක්ද කියතොත්, ඔහුගේ ජීවිතේ නොදුටු වික්‍රමාන්විත අවස්ථා රැසකටම මෙම සිදුවීම හරහා ඔහුට මුහුණ දෙන්නට සිදුවේ.

 

රූපගත කිරීම්

2014 වසරේ ඔක්තෝබර් මාසයේ දී රූපගත කිරීම් ආරම්භ කළ ‘ජාග්ගා ජාසස්’ එහි සියලු වැඩ කටයුතු නිමා කරනු ලැබූවේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. දකුණු අප්‍රිකාවේ හා මොරොක්කෝවේ ඇතුළු රටවල් කිහිපයක රූපගත කිරීම් කටයුතු සිදුකළ මෙහි දර්ශන කිහිපයක් ඉන්දියාවේ මුම්බායි නගරයේදීද සිදු කරනු ලැබ තිබුණි.

 

විශේෂත්වය

මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කරන විට චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පෙනී සිටින රන්බීර් කපූර් හා කත්‍රිනා කයිෆ් පෙම්වතුන්ව සිටි අතර, චිත්‍රපටයේ අවසන් දර්ශන කිහිපය සිදු කරන විට ඔවුන් විරසක වී සිටීම විශේෂත්වයකි. විනාඩි 180ක් පුරා දිවයන මෙම චිත්‍රපටය මෑතක දී බොලිවුඩ් සිනමාව තුළ ප්‍රදර්ශනය වන දිර්ඝතම චිත්‍රපටයක්ද වේ. මෙය සිව්වතාවක් ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබුණද, නොයෙකුත් හේතු මත එය ප්‍රදර්ශනය කිරීමට නොහැකි විය.

 

සංගීතය

මෙම චිත්‍රපටය සඳහා ඇතුළත් ගීත ප්‍රමාණය 5කි. ‘ෆිල්ම්ෆෙයාර්’ සම්මානලාභී ප්‍රිතම් චක්‍රබෝර්ති මෙය සංගීත අධ්‍යක්ෂණය කර තිබේ. අර්ජිත් සිං, නිකිතා ගාන්ධි, අමිත් මිස්රා, මෝහන් කන්නන්, රහත් අලි, අන්කිත් තිවාරි පිරිස මෙහි පසුබිම් ගී ගායනයෙන් දායක වෙති. චිත්‍රපටයේ ඇතුළත් ‘ගල්ති සේ මිස්ටේක්’ ගීතය මේ වනවිට බොලිවුඩ් ගීත දර්ශක අතර පළමු ගීත දහය අතරට පැමිණ තිබේ.

 

තිරගත කිරීම

ජූලි 14 වැනිදා මෙම චිත්‍රපටය බොලිවුඩයේ හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී ප්‍රදර්ශනය වන අතර, ඊට දින කිහිපයකට පසුව දකුණු අප්‍රිකාව, මොරොක්කෝව, සිරියාව, රුමේනියාව, එංගලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. මෙම චිත්‍රපටය තිරගත වන දිනයේ දී බොලිවුඩ් චිත්‍රපට නිකුත් නොවන අතර, හොලිවුඩ් චිත්‍රපට කිහිපයක් එදින ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇත.