Jurassic World: Fallen Kingdom


පසුගිය සතියේ නිකුත් වූ නවතම විද්‍යාත්මක චිත්‍රපටය වන ‘Jurassic World: Fallen Kingdom’ හැඳින්වෙන්නේ ‘Jurassic World’ චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස ලෙසය. එනම්, ජනප්‍රිය ‘ජුරාසික් පාක්’ චිත්‍රපට මාලාවේ පස්වැනි කොටස ලෙසය. ජුරාසික් පාක් චිත්‍රපට මාලාව නිර්මාණය කළ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග්ගේ විධායක නිෂ්පාදිතය යටතේ නිපැයුණු මෙම චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබාදෙන්නේ ‘Universal Pictures,Amblin Entertainment,The Kennedy/Marshall Company’ සහ ‘Legendary Pictures’ යන චිත්‍රපට සමාගම්ය. එනම්, මෙහි නිෂ්පාදකයන් ලෙස කටයුතු කරන්නේ ෆ්‍රෑන්ක් මාෂල්, පැට්‍රික් ක්‍රෝලි සහ බැලෙන් ඇටියෙන්සාය.

ඉස්ලා නුබ්ලාර්හි ජුරාසික් වර්ල්ඩ් උද්‍යායනයේ අභාවයත් සමග ඩයිනෝසර්වරුන් නැවතත් වසර තුනකට නිදහස ලබන අතර, ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කරන අරගලයක් වටා මෙවර කතාව දිව යයි.

පළමු චිත්‍රපටයේ මෙන්ම මෙවරත් ක්‍රිස් ප්‍රැට්, බ්‍රයිස් ඩල්ලාස් හොවාර්ඩ්, බී.ඩී.වොන්ග් සහ ජෙෆ් ගෝල්ඩ්බ්ලම් සිය චරිත සඳහා දායකත්වය දෙන මෙම චිත්‍රපටයට මෙවර රේෆ් ස්පාල්, ජස්ටික් ස්මිත්, ඩැනියෙලා පිනේදා, ජේම්ස් ක්‍රොම්වෙල්, ටොබී ජෝන්ස්, ටෙඩ් ලෙවයින්, ඉසෙබෙල සර්මොන් සහ චාලි චැප්ලින්ගේ සිව්වැනි දරුවා වන ජෙරල්ඩින් චැප්ලින්ද දායක වෙති.

ජනප්‍රිය අද්භූත චිත්‍රපටයක් වන ‘The Orphanage’ හරහා සිනමාවට පැමිණ එයින්ම සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ජේ.ඒ.බයෝනා අධ්‍යක්ෂණය කළ මෙම සිනමා කෘතිය ඔහුගේ සිව්වැනි අධ්‍යක්ෂණයයි. ඔහු මීට පෙර ‘The Impossible’ සහ ‘A Monster Calls’ යන සිනමා කෘති අධ්‍යක්ෂණය කර සම්මාන දිනාගත් ස්පාඤ්ඤ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන අතර, තිර රචනය කොලින් ට්‍රැවරෝ සහ ඩෙරෙක් කොනොලිගෙනි.

ඕව්න් ග්‍රැඩි ලෙසින් ක්‍රිස් ප්‍රැට්ද, ක්ලෙයාර් ඩියරින් ලෙසින් බ්‍රයිස් ඩල්ලාස් හොවාර්ඩ්ද, එලී මිල්ස් ලෙසින් රේෆ් ස්පැල්ද, ෆ්‍රැන්ක්ලීන් වෙබ් ලෙසින් ජස්ටික් වෙබ්ද ප්‍රධාන චරිත සඳහා දායකත්වය දෙන මෙහි, රූගතකිරීම් ඇරඹුණේ එංගලන්තයේ ස්ලෝග් නගරයේ පිහිටි ලැන්ග්ලේ ව්‍යාපාරික මධ්‍යස්ථානයෙනි. ඉන් අනතුරුව වේල්ස්හි බ්‍රෙකන් බීකන්ස් ජාතික උද්‍යානයේද, ඇමෙරිකාවේ හවායි, එංගලන්තයේ පින්වුඩ් චිත්‍රාගාරයේද, එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්තයේද, වුඩ්බ්‍රිජ් නගරයට ආසන්න මීට පෙර ගුවන් හමුදා බැරැක්කයක් ලෙස පැවැති ස්ථානයේද ආදී වශයෙන් රූගත වූ මෙම චිත්‍රපටයේ සිනමා කැමරා අධ්‍යක්ෂවරයා ලෙස ඔස්කාර් ෆෝරාය කටයුතු කරයි. ජූලි 08 වැනිදා නිමා වූ ඇමෙරිකාවේ ඕහු දූපත්හි දී නිමා වූ මෙම චිත්‍රපටයේ රූගතකිරීම් පිළිබඳ අධ්‍යක්ෂවරයා පැවසුවේ තමන් ජීවිතයේ මුහුණදුන් විශාලතම අභියෝගය මෙම චිත්‍රපටය රූගතකිරීම බවය.

මිනිත්තු 128ක් පුරා දිවෙන මෙම චිත්‍රපටයේ සංගීතය වීඩියෝ ක්‍රීඩා සඳහා සංගීතය නිර්මාණය කිරීමට දක්ෂ මයිකල් ජියාචිනෝගෙනි.

චිත්‍රපටය පළමු සති තුනට පෙරම මිලියන 130-150ක ආදායමක් බලාපොරොත්තු වන බව නිර්මාණකරුවන් පවසන අතර, අවසානයේ ඇ.ඩො.මිලියන 325-380 ආදායමක් වාර්තා කරනු ඇතැයි අනාවැකි පළ වේ.

 

මාලන් විදානපතිරණ