Spider-Man: Homecoming


ඇමෙරිකානු ජනප්‍රිය මාවල් චිත්‍රපට මාලාවක දහසය වැනි ආයෝජනය වන "Spider-Man: Homecoming" ජූලි මස 07 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිත චිත්‍රපටයකි. ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාව දෙවැනි වර කළ නිෂ්පාදන මාලාවේ චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂකයන් අතරට එන මෙම චිත්‍රපටය වෙනුවෙන් දැරූ පිරිවැය ඇ.ඩො.මිලියන 175කි. මෙහි ස්පයිඩර් මෑන් චිත්‍රපටයේ පීටර් පාකර් හෙවත් ස්පයිඩර් මෑන් චරිතය සඳහා පණ පොවන්නේ සුපිරි ක්‍රියාදාම නළු ටොම් හෝලන්ඩ්ය.

මෙවර චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ පීටර් පාකර් තම අධ්‍යාපන කටයුතු හමාර ඔහු සිදු කිරීමට උත්සාහ කරන පළිගැනීමක් සහ ඉන්පසු ඔහු විවාහ ගිවිසගෙන නැවත නිවසට පැමිණීම වටාය.

ස්පයිඩර් මෑන් මාවල් චිත්‍ර කතා මාලාවේ එන චරිතය ඇසුරින් නිර්මාණය වන මෙම චිත්‍රපටය, මාවල් ස්ටුඩියෝස් සහ කොළොම්බියා පික්චර්ස් චිත්‍රපට සමාගමේ නිපැයුමකි. එසේම මාවල් සිනෙමැටික් යුනිවර්ස් දායකත්වය ලබාදුන් 16 වැනි නිර්මාණයද මෙය වේ.

කෙසේ වෙතත් නවතම චිත්‍රපටයේ අයන් මෑන් ලෙසින් රොබට් ඩවුනිද, මයිකල් කීට්න්,ජෝන් ෆැව්රීව්, සෙන්ඩායා, ඩොනල්ඩ් ග්ලෝවර් රඟන අතර, මෙම සුපිරි වීර ක්‍රියාදාම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ජෝන් වොට්ස්ය. ජොනතන් ගෝල්ඩ්ස්ටෙයින් සහ ජෝන් ෆ්‍රැන්සිස් ඩැලේ කතාව ලියූ මෙහි තිර රචනය ජොනතන් ගෝල්ඩ්ස්ටෙයින්, ජෝන් ෆ්‍රැන්සිස් ඩැලේ, ජෝන් වොට්ස්, ක්‍රිස් මැක්කෙනා, ක්‍රිස්ටෝපර් ෆෝඩ් සහ එරික් සොමර්ස්ගෙනි. ඒ අනුව "Columbia Pictures", "Marvel Studios" සහ "Pascal Pictures" යන චිත්‍රපට සමාගම් දායක වූ මෙම චිත්‍රපටය ජුනි මස 28 වැනිදා ටීසීඑල් චීන රඟහලේ දී පළමුවරට තිරගත විණ. ඒ විශේෂ දර්ශනයක් ලෙසිනි.

"Spider-Man: Homecoming " චිත්‍රපටය, කෙවින් ෆෙයිජ් සහ ඇමී පැස්කල් නිෂ්පාදනය කරන ලද්දකි. මෙම සිනමාපටය 2015 වසරේ දී වැඩ ඇරැඹූ අතර, 2016 වසරේ ජුනි මස 20 වැනිදා මෙහි රූගතකිරීම් ඇරැඹෙන්නේ මේ අනුවය.

ජෝර්ජියාවේ ෆැයිටි කවුන්ටි නගරයේ පයින්වුඩ් අත්ලන්තා චිත්‍රාගාරයේ දී රූගත කිරීම් කටයුතු ආරම්භ වූ අතර, මෙහි සිනමා කැමරාකරුවා සැල්වටෝර් ටොටිනෝය. ඉනික්බිති අත්ලන්තාහි ග්‍රේඩි උසස් පාසැලේ දී රූගත කිරීම් පැවැති අතර, නිව්යෝර්ක් නගරයේ දී මෙහි කටයුතු නිමවිය. එහෙත් පසුව ජර්මනියේ බර්ලින් නගරයේ දී අමතර රූගතකිරීම් කිහිපයක් සිදු කිරීමට නිෂ්පාදන කණ්ඩායමට සිදුවිණ.

%Doctor Strange^ චිත්‍රපටයේ සංගීත සංරචකයා ලෙස කටයුතු කළ මයිකල් ජියාජිනෝ මෙහි සිනමා සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර, දැනටම විචාරකයන්ගෙන් මෙම චිත්‍රපටය පිළිබඳ ඉහළ පැසසුම් ලැබීම කැපී පෙනෙයි.

ඒ අනුව ඉදිරියේ දී මෙම චිත්‍රපය ඉහළ බොක්ස්ඔෆිස් ආදායමක් වාර්තා කරනු ඇතැයි විදෙස් මාධ්‍ය මත පළ කරයි.