Thor: Ragnarok


නොවැම්බර් මස තිරගත වන නවතම සුපිරි වීර චිත්‍රපටය වන ‘Thor: Ragnarok’, තෝර් මාවල් කතා මාලාව ඇසුරින් නිපද වූ තෙවැනි චිත්‍රපටයයි. ඒ අනුව 2011 වසරේ දී තිරගත වූ ‘Thor’ සහ 2013 වසරේ දී තිරගත වූ ‘Thor :The Dark World’ චිත්‍රපටයට පසුව නිපද වූ තෙවැනි චිත්‍රපටය ලෙස ‘Thor: Ragnarok’ සැලකෙන අතර, මාවල් සිනෙමැටික් යුනිවර්ස් චිත්‍රපට සමාගමේ 17 වැනි සිනමාපටය ලෙසද මෙය හැඳින්වෙයි. සුපුරුදු පරිදි තෝර් ඔඩින්සන් ලෙසින් ක්‍රිස් හෙම්ස්වර්ත්ද, ලොකී ලෙසින් ටොම් හිඩ්ල්ස්ටන්ද,හේලා ලෙසින් කේට් බ්ලැන්චට්ද, හෙයිම්ඩෝල් ලෙසින් ඉඩ්‍රිස් ඇල්බාද, ග්‍රෑන්ඩ්මාස්ටර් ලෙසින් ජෙෆ් ගෝල්ඩ්බ්ලම්ද ප්‍රධාන චරිත සඳහා රූපණ දායකත්වය ලබාදෙති. මෙහි සෙසු චරිත සඳහා අන්තෝනි හොප්කින්ස්, මාක් රෆලෝ, කාල් අර්බන්, ටෙසා තොම්ප්සන් දායකත්වය ලබාදෙති.

2017-11-16-ent-178කතාව දිවයන්නේ සොකොවියා අරගලයෙන් පසු ඇස්ගාඩියන්වරුන්ගේ පුරවැසිභාවය වෙනුවෙන් සහ තමන්ගේ නිවස සහ ජීවිතය රැකගැනීමේ වෙනුවෙන් සිදුකරන සටනක් වටාය.

මෙම චිත්‍රපටයේ නම කුමක්දැයි යන්න 2014 වසරේ ඔක්තෝබර් මසදී මෙහි නිෂ්පාදක කෙවින් ෆෙයිජ් තහවුරු කළ අතර, නළු නිළියන්ගේ දායකත්වය ගැනද නිශ්චිතව පැවසීය. ඒ අනුව 2015 වසරේ ඔක්තෝබර් මස රූබන් ෆ්ලෙයිස්චියර්, රොබ් ලෙටර්මන්, රෝසන් මාෂල් තර්බර් යන අධ්‍යක්ෂවරුන් සිටියදීම ටයිකා වයිටිටි මෙහි අධ්‍යක්ෂණය සඳහා තෝරාගත් අතර, චිත්‍රපට සමාගමේ විධියක නිෂ්පාදකවරයා ලෙස බ්‍රැඩ් වින්ඩර්බවුම් කටයුතු කළේය.

ඒ අනුව 2016 වසරේ ජූලි මස 04 වැනිදා ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ්හි ගෝල්ඩ් කෝල්ස්හි ඔක්සන්ෆෝඩ් හි විලේජ් රෝඩ්ෂෝ චිත්‍රාගාරයේ දී රූපගතකිරීම් කටයුතු ඇරැඹි මෙම චිත්‍රපටයේ සිනමා කැමරාකරණය සඳහා තෝරා ගැනුණේ ජවියර් ඇගියුරේසාරේබ්ය.

කෙසේ වෙතත් පසු නිෂ්පාදන අවධියේදිත් නැවතත් රූපගත කිරීම් කටයුතු සිදු කිරීමට නිෂ්පාදකයන්ට සිදු වූ අතර, ඒ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදීය. ඒ අනුව රූපගතකිරීම් අතරතුර මෙහි ප්‍රධාන නළු ක්‍රිස් හෙම්ස්වර්ත් පවසා ඇත්තේ මෙහි ආරාධිත චරිතයකට සුපිරි හොලිවුඩ් නළු මැට් ඩේමන් යොදා ගැනීම වඩා යෝග්‍ය වන බවකි. ඒ එම වකවානුවේ නිව්යෝර්ක් නගරයේ සිටි බැවිනි. එසේම මේ වසරේ ජූලි මසද මෙහි සති තුනක රූපගත කිරීමක් අත්ලන්තාහි පැවැති අතර, රේචල් හවුස් කුඩා චරිතයකට තෝරා ගැනෙන්නේ මේ අනුවය.

මාක් මදර්ස්බෝගේ සිනමා සංගීත සංරචනයෙන් වර්ණවත් වූ මෙම චිත්‍රපටය, ලෙඩ් සෙප්ලින්ගේ "Immigrant Song" ගීතයෙන් සහ "Pure Imagination" (Willy Wonka and the Chocolate Factory චිත්‍රපටයේ), පැට්‍රික් ඩොයිල්ගේ ‘Thor’ සිනමා සංගීතයෙන්ද, ‘The Dark World and Avengers: Age of Ultron’ චිත්‍රපටවල බ්‍රයන් ටයිලර්ගේ සංගීතයෙන්ද, ‘The Incredible Hulk’ චිත්‍රපට මාලාවේ “The Lonely Man” චිත්‍රපට තේමා සංගීතයෙන්ද හැඩ වී තිබීම කැපී පෙනෙයි.

පසුගිය ඔක්තෝබර් මස 10 වැනිදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර එල් කැප්ටන් රඟහලේ දී මංගල දර්ශනය තිරගත වූ මෙම චිත්‍රපටය, ඔස්ට්‍රේලියාවේ මංගල දර්ශනයක් ලෙස තිරගත වූයේ ඔක්තෝබර් මස 13 වැනිදා ගෝල්ඩ් කෝස්ට්හිදීය. ඒ අනුව චිත්‍රපටය ද්විමාණ සහ ත්‍රිමාණ වශයෙන් නිල වශයෙන් ප්‍රේක්ෂකයා වෙත පැමිණෙන්නේ නොවැම්බර් මස 03 වැනිදාය.

දැනටමත් ඉහළ චිත්‍රපට විචාරක ප්‍රසාදයකට ලක්ව ඇති ‘Thor: Ragnarok’, දැනටමත් ඇ.ඩො.මිලියන 28ක ආදායමක් අත්පත් කරගෙන ඇත.