Toilet Ek Prem Katha



හාස්‍යමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටය අගෝස්තු 11 වැනි දින බොලිවුඩයට සමගාමීව ලොවපුරා රටවල් කිහිපයක ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇත. ජනප්‍රිය නළුනිළියන් රැසකගේ දායකත්වයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය අඩු නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කෙරුණු චිත්‍රපටයක්ද වේ.

 

නළුනිළියන්

මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර්ය. ඔහු මෙහි එන ‘කේශව්’ නම් චරිතයට පණ පොවන අතර, ඔහුගේ බිරිඳ ‘ජායා’ ලෙස භූමි පෙඩ්නේකර් රංගනයෙන් දායක වෙයි. කේශව්ගේ පෙම්වතිය ලෙස සානා ඛාන්ද, කේශව්ගේ මිතුරා ලෙස දිව්‍යාන්ද්‍ර ෂර්මා රංගනයෙන් දායක වෙති. අනුපම් කේර්, රාජේෂ් ෂර්මා, ජස්පල් ෂර්මා, මුකේෂ් භාට්, සුධිර් පාණ්ඩේ, විජේ කුමාර් ඩෝග්රා, විකාෂ් පාල්, සත්‍යජිත් ඩුබේයි, කිම්ති ආනන්ද මෙහි එන සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති.

 

සෙසු සහයකයන්

‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ශ්‍රී නාරයන් සිංය. කතාව, දෙබස් හා තිර රචනය සිද්ධාර්ත් සිං හා ගරිමා වාහල් දෙදෙනාගෙනි. කැමරාකරණයෙන් අනුෂ්මන් මහේලීද, ඇඳුම් නිර්මාණයෙන් දර්ශන් ජාලන්ද, කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රවීන් චෞද්‍ර්රිද, සංස්කරණයෙන් චිත්‍රපට අධ්‍යක්ෂක ශ්‍රී නාරයන් සිංද, නිෂ්පාදනයෙන් ශීතල් භාටියා හා අර්ජූන් එන්.කපූර්ද දායක වී තිබේ. චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු සිදු කර ඇත්තේ ‘විකොම් 18 මෝටන් පික්චර්ස්’ සමාගම විසිනි.

 

රූපගත කිරීම්

ගෙවුණු 2016 වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙහි රූපගත කිරීම් කටයුතු ආරම්භ කළ අතර, මාස තුනක කාලයක් මෙහි සියලු රූපගත කිරීම් කටයුතු සිදු කරනු ලැබීය. ඉන්දියාවේ උත්තර් ප්‍රදේෂ්හි මෙහි වැඩි දර්ශන ප්‍රමාණයක් රූපගත කර ඇත. එමෙන්ම රාජ්පූත්, ආග්‍රා, හයිද්‍ර්බාද්, මාථුර් යන නගරවලද මෙහි දර්ශන් කිහිපයක් රූපගත කර තිබේ.

 

සංගීතය

‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටය සඳහා ඇතුළත්ව ඇති ගීත ප්‍රමාණය හයකි. වීකි ප්‍රසාද්, සචිත් තන්ඩන් හා මනිෂ් ශිකාර් පිරිස මෙහි ඇතුළත් ගීත සඳහා සිය සංගීත දායකත්වය සපයා ඇත. චිත්‍රපටයේ කතාව ලියූ සිද්ධාර්ත් හා ගරිමා මෙහි ඇතුළත් සියලු ගීත පද රචනා සිදුකර තිබේ. පසුබිම් ගීත ගායනයෙන් සෝනු නිගම්, ශ්‍රීයා ගෝෂාල්, සුක්වින්ද්‍රර් සිං, සුනයිදි චෞහාන්, පලක් මච්චල්, සචින් තන්ඩන් හා පරම්පරා ඨාකූර් සහය වී තිබේ.

 

විශේෂත්වය

ආක්ෂේ කුමාර් මේ වසරේ සිය සිනමා ප්‍රේක්ෂයන් මුණගැසෙන තුන්වැනි බොලිවුඩ් චිත්‍රපටය මෙය වේ. මීට පෙර ඔහු ‘Jolly LL.B 2’ හා ‘නාම් සබානා’ චිත්‍රපට හරහා සිය රසික පිරිස් මුණගැසුණි. 2015 වසරේ බොලිවුඩ් සිනමාවට පිවිසි භූමි පෙඩ්නේකර්ගේ දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය මෙය වීම විශේෂත්වයකි. ඇයගේ ප්‍රථම චිත්‍රපටය වූයේ ‘ඩූම් ලගා කේ හසීනා’ චිත්‍රපටයයි. ඇය එහි කළ රංගනයට වසරේ හොඳම නැගී එන නවක නිළිය ලෙස සම්මාන රැසක් දිනාගත්තාය.

 

නිෂ්පාදනය

මෙය ඉන්දීය රුපියල් කෝටි 17ක වියදමකින් තැනුණ බොලිවුඩ් චිත්‍රපටයකි. ආක්ෂේ කුමාර් මෑත කාලයේ රංගනයෙන් දායක වූ අඩු නිෂ්පාදන චිත්‍රපටයද වන්නේ මෙයයි. වියදම් වූ මුදලින් වැඩි කොටසක් ලබා දී ඇත්තේ ආක්ෂේ කුමාර්ටය. ඒ ඉන්දීය රුපියල් කෝටි 7කි. මෙය ඉන්දියාවේම රූපගත කළ නිසාවෙන් වැඩි නිෂ්පාදන බරපැනක් දරන්නට සිදු නොවූ බව පවසන චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම, මේ වනවිට සිදුවෙමින් පවතින මෙහි ප්‍රචාරක කටයුතුවලටද තවත් අමතර මුදලක් වියදම් වූ බවද සඳහන් කර තිබේ.

 

තිරගත කිරීම

අගෝස්තු 11 වැනිදා මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් සිනමා ශාලා 370ක ප්‍රදර්ශනය අරඹන්නට නියමිතය. එදින ස්විට්සර්ලන්තයේ දී ‘ස්විස්’ භෂින් හඬකවා ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කර තිබේ. අගෝස්තු 13 වැනිදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදීද, එදින දකුණු කොරියාවේ හා හොංකොංහිද ප්‍රදර්ශනය අරඹන්නට නියමිතය.