නිරූපණයට එන්න කලින් මම නිවේදිකාවක් විදිහට වැඩ කළා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක නිරූපණ ශිල්පිණියක් වූ ගිම්හානි නිශ්ශංක ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීටයේ පළමු වසරේ ශිෂ්‍යාවකි. ඇය නිරූපණයට අමතරව නිවේදිකාවක් ලෙසද වර්තමානයේ කටයුතු කරමින් සිටියි. මේ දිගහැරෙන්නේ ගිම්හානි අප සමග කළ කතා බහා.

ගිම්හානි කියන්නේ මොන වගේ කෙනෙක්ද?

ගිම්හානි කියන්නෙ ඇත්තටම සරළ සුන්දර කෙනෙක්. දැනට මම නිරූපිකාවක් විදිහට වැඩ කරනවා. අධ්‍යාපන කටයුතු කරන අතරේ ලැබෙන කාලය කළමණාකරණය කරගෙන තමයි ඒ වැඩවලට මම සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව මම නිවේදිකාවක් විදිහටත් දැනට වැඩ කරමින් යනවා.

වැඩිපුරම ගිම්හානි කැමති මොන ක්ෂේත්‍රයටද?

ඇත්තටම මම පාසල් කාලේදී නම් ගොඩක් වෙලාවට කළේ නිවේදන කටයුතු. නමුත්, දැන් ඇත්තටම මම කැමැත්තෙන් කරන දෙයක් තමයි නිරූපණ කටයුතු කියන්නේ. ඉතින් ලොකු ආශාවක් කැමැත්තක් තියෙනවා ඒ පැත්තෙන් ඉදිරියට යන්න. නමුත්, තව ගොඩක් දේවල් තියෙනවා මේ ක්ෂේත්‍රය ඇතුලේ මට ඉගෙන ගන්න. කොටින්ම කියනවා නම් මම නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්නේ පළමු අදියරයේ. ඒ අතරේ නිවේදිකාවක් විදිහට වැඩ කරගෙන යන්නත් ලොකු ආශාවක් තියෙනවා මට.

නිවේදිකාවක් ලෙස කටයුතු කරද්දි ඇයි ඔබ නිරූපණය තෝර ගත්තේ?

නිවේදිකාවක් විදියට වෘත්තිය ජිවීතයේ ඇති වුණ කළකිරිම් එක්ක තව අලුත් දෙයක් කරන්න ඕනා කියල හිතුවා. ඒකේ ප්‍රතිපලයක් විදිහට තමයි මම නිරූපණය පැත්තට සම්බන්ධ වුණේ. මම හිතනවා ඒ ගත්ත තිරණය අද වැරදි නැහැ කියලා.

අද ලංකාවේ තියෙන නිරූපණ ක්ෂේත්‍රය ගැන ගිම්හානිට හිතෙනදේ?

නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ ගොඩක් හොඳ වටිනාකමක් තියෙන ක්ෂේත්‍රයක්. නවකයින්ට මේ ක්ෂේත්‍රයට එන්න ලේසියි. හැබැයි රැදිල ඉන්න එක අමාරු වැඩක්. මුලීකම හේතුව තමයි හැදෑරිමකින් තොරව මේ ක්ෂේත්‍රයට එන එක තමයි මම මුලිකවම හේතුව විදිහට දකින්නේ. හොඳ හැදෑරීමක් එක්ක මේ ක්ෂේත්‍රය තුළ ගමන් කළොත් ලොකු ගමනක් යන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. ඒ වගේම ඉවසීමෙන් බුද්ධිමත්ව යන්න ඕනා ගමනක් මේක.

පවුලේ අය කැමතිද ගිම්හානි කලාවට සම්බන්ධ වුණාට?

පවුලේ අයගෙන් ඇත්තටම අකමැත්තක් නැහැ. හොඳින් හැමදේම කරගන්න කියල තමයි ඒ අය කියන්නේ. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, සීයා තව නංගිලා දෙන්නෙකුත් මට ඉන්නවා. හැබැයි නිරූපණ ක්ෂේත්‍රයට මට එන්න මාව උනන්ඳු කලේ මගේ පෙම්වතා. මා සමග හැම වැඩකටම යන්නේ ඔහු. ඒ වගේම හැම වැඩක්ම මට තෝරලා බේරලා දෙන්නෙත් ඔහු. ඉතින් මේ වෙලාවේ ඔහුව ඉතාමත් ආදරයෙන් මතක් කර සිටිනවා. මගේ අම්මා තාත්තා දෙන්නවත් මේ මොහොතේදී මතක් කරන්න ඕනා. ඒ හැමෝගේම ආශිර්වාදය මට නිතැතින්ම මගේ වැඩවලදි ලැබෙනවා.

ඉදිරි ඉලක්ක මොනවද ඔබේ?

කලාව වගේම අධ්‍යපන කටයුතු සාර්ථකව මට නිමා කරන්න ඕනා. මොකද, මොන දේ කළත් අධ්‍යපනය කියන දේ තමා ගොඩක් වටින්නේ හැම මනුස්සයෙක්ටම. උපාධිදාරිනියක් වෙන එක මගේ ජීවිතයේ තියෙන ලොකුම හීනයක්. හැබැයි මම වෘත්තියක් තෝරගන්න එකක් නැහැ මම ඉගෙන ගත්ත දේකින්.  නිරූපණය හා නිවේදනය තමා බොහෝදුරට අනාගතයේදී මගේ වෘත්තිය වෙන්නේ.

බුද්ධික සේනාධීර
ඡායාරූප - සුපුන් උදයංග