තමන්ගේ කාටහරි වෙනකල් මේකේ බැරෑරුම්කම දැනෙන්නේ නැහැ කාටවත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තිසුරි යුවනිකා යනු පුංචි කාලේ සිට කලාවට සම්බන්ධ වෙච්ච අපේ රටේ ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියෙක්. නිර්මාණ අතලොස්සක් වුවද තම මවගේ අඩි පාරේ යමින් කලා ක්ෂේත්‍රයේ ඉහළට පැමිණි ඇය මෙවර අද තරු කතාබහට මෙලෙස එක්විය.

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල අළුත් නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි මේ කෝවිඩ් තත්ත්වය නිසා එහි රූගත කිරීම් කටයුතු ආරම්භ කරන්න කල් යනවා. ඊට අමතරව වෙනත් වැඩ මුකුත් භාර ගත්තේ නැහැ. කරගෙන ගිය වැඩ දෙකක් විතර ඉවර කළා. අපේ රැකියාව මාස්ක් දාගෙන කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒ නිසා වැඩ කරන එක ටිකක් අඩු කරලා තියෙන්නේ.

ඔබේ මේ දිනවල විකාශය වන නිර්මාණ මොනවාද?

මේ දවස්වල ජාතික රූපවාහිනියේ රෑනගල වලව්ව විකාශය වනවා. ඒක විතරයි දැනට විකාශය වෙන්නේ. ගිය අවුරුද්දේ ඉඳලා මේ කෝවිඩ් ප්‍රශ්නය නිසා මම අඩුවෙන් වැඩ බාර ගත්තේ. කාලේකට පස්සේ සමන් කුමාර අයියාගේ සහ මහාචාර්ය ඇතුගල සර්ගේ නිර්මාණයක් තමයි දැන් බාර අරගෙන තියෙන්නේ. ඒකත් ඉතින් කොවිඩ් එහා මෙහා වුණාම වැඩ පටන් ගන්නවා.

කෝවිඩ් නිසා ඉදිරියේදීත් ලංකාවේ කලාකරුවන්ට මොනවා වේවිද?

ඇත්තටම අපිට හානියක් වෙනවා. ගැටළු ගොඩාක් තියෙනවා. මේක ඉක්මනට පාලනය කරන්න නම් අපේ ජනතාව ආරක්ෂිත, සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්න ඕනේ. හැබැයි ඉතින් ප්‍රවෘත්තිවල යන එක නෙවෙයි අපි පාරට බැස්සාම දකින්නේ. මෙහෙම ලෙඩක් තියෙනවාද කියලාත් පොඩි සැකයක් ඇතිවෙන තැන් තිබෙනවා. මොකද ගොඩක් අය කිසිම ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කරන්නේ නැතුව අදටත් පාරේ බැහැලා යනවා අපි දකිනවා. ඉතින් මෙහෙම වෙන්න වෙන්න හැමෝටම තවත් අපහසුතා ඇතිවෙනවා හැරෙන්න පාලනයක් වෙන්නේ නැහැ. අපේ අය විනයක් ඇතුව වැඩ කරගෙන යන්න ඕනේ. චීනයෙන් මේ රෝගය ආවාට චීනය ඒක පාලනය කරා වගේම අපිටත් පාලනයක් තියෙන්න ඕනේ.

එතකොට ඔබ හිතන්නේ මිනිසුන්ගේ වගකීමක් නැතිකම නිසා තුන්වැනි රැල්ලක් ආවා කියලාද?

එහෙමයි කියලම කියන්න බැහැ. මේක හැම පැත්තකම එකතුවක්. රට වහන්න බැරි එක ඇත්ත වෙන්න ඇති. එහෙනම් තද නීති ගේන්න ඕනේ. එකදිගට මිනිස්සු කිහිප දෙනෙක් මැරෙද්දි, ආසාධිතයෝ වැඩි වෙද්දි අපේ අය බය වෙනවා. එතකොට තමයි අර සෞඛ්‍ය නීති මතක් වෙන්නේ. ආයෙත් ටික දවසක් යනකොට ඒවා අමතක වෙනවා. අවුරුදු කාලේදී වුණත් කඩ ඇතුළේ ඔළු ටික විතරයි පේන්නේ. ලෙඩක් තියෙනවාද කියලවත් අමතකයි. හරි විදිහට හැමෝටම එක විදිහට නීති හදන්න ඕනේ. ඉන්දියාවට වුණු දේ අපිට නොවෙන්න අපේ ජනතාව මොලේ පාවිච්චි කරලා, රජයත් කටයුතු කරන්න ඕනේ. මේක සුළුවෙන් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයිනේ. තමන්ගේ කාටහරි වෙනකල් මේකේ බැරෑරුම්කම දැනෙන්නේ නැහැ කාටවත්. මං කියන්නේ අපි පොඩි හික්මීමක් ඇතුව වැඩ කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඉදිරියේදී අපේ දරුවන්ට කියන්න වෙන්නේ අපි මාස්ක් නැතුව ජීවත් වුණු කාලයකුත් තිබ්බා කියලා තමයි.

තමන් තමන්ගේ වගකීම හරියට කළොත් හරිද?

එහෙමවත් කරලා බලන්න ඕනේ. මිනිස්සුන්ට එළියට බහින්නේ නැතුව ඉන්නත් බැහැනේ. පාරට බැහැලා යන හැම කෙනාම කැමැත්තෙන් යන්නේ නැහැ. බයෙන්නේ යන්නේ. රස්සාවක් නොකර ඉන්නත් බැහැ. මාස්ක් දාගෙන හැමවෙලාවේම ඉන්නත් බැරිව ඇති. ඒත් එහෙම නොකරත් බැහැනේ. අපේ අම්මාට අසනීපයක් තිබෙන නිසා එයා බෙහෙත් බොනවා. ඒ නිසා මම පෞද්ගලිකවම ගොඩක් ආරක්ෂා වෙනවා. එළියට යන්නෙත් නැහැ. මම වැඩ අඩුවෙන් බාර ගන්නෙත් ඒකයි. මම ගෙදරට ලෙඩේ අරගෙන ආවොත් ඒක හැමෝටමත් කරදරයක් වෙනවා. ඒත් හැම මනුස්සයෙකුටම ගෙදරට වෙලා ඉන්නත් බැහැ. අපේ මිනිස්සුන්ට තද නීතියක් ගෙනාවොත් ඒ ඔස්සේ වැඩ කරගෙන යන්න බැරි වගකීමක් නැති මිනිස්සු නෙමෙයිනේ අපේ රටේ ඉන්නේ. ඒ නිසා ඔවුන් ඒ පිළිබඳව වගකීමෙන් වැඩ කරයි.

අද දකින නිර්මාණ ගැන ඔබ මොකද හිතන්නේ?

හොඳ නිර්මාණ බිහිවෙනවා. හැබැයි අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් තමයි ඒ වගේම නිර්මාණ හැදෙන්නේ. මොකද දැන් අපේ නිර්මාණත් එක රැල්ලකට යන්න හුරු වෙලා තියෙනවා. දැන් නයෙක් ජනප්‍රිය වුණොත් තමන්ගේ අනන්‍යතාවය හරි තමන්ගේ ස්ක්‍රිප්ට් එක ගැන හිතන්නේ නැහැ. රැල්ල තියෙන්නේ නයාට නම් කරගෙන යන නාට්‍යයටත් නයෙක්ව දානවා. ඒක හරි වැරදියි. නිර්මාණයක් කියන්නේ හරිම සංයමයකින් කරන්න ඕනේ දෙයක්. මේක දැන් ව්‍යාපාරයක් වගේ වෙලා. ඉතින් ඉස්සර හොඳ නිර්මාණයක් කරන්න තමයි නිර්මාණකරුවෝ මහන්සි වුණේ. ගැලපෙන චරිත අරගෙන මහන්සි වෙලා වැඩ කළේ. ඒත් අද දවසේ බජට් එක කවර් කරගන්න, ආර්ටිස්ට්ලාට ගෙවන ගාන කවර් කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම යම් චරිතයකට ගැලපෙන්නේ මාව නම්, මගේ ගාන වැඩි නම් ඊට වඩා ගාන අඩු කෙනෙක් අරගන්නවා. එයා ඒ චරිතයට ගැලපෙනවාද නැද්ද කියලා බලන්නේ නැහැ. හැම නිර්මාණයක්ම නෙවෙයි. එක්කෝ අපිත් ඉස්සරහට රැඳිලා ඉන්න ඕනේ නම් මේ යන රැල්ලට යන්න වෙලා තියෙනවා. නැත්නම් හොඳ නිර්මාණයක් ආවොත් බාර ගන්නවා කියලා හිතාගෙන මේකෙන් සමුගන්න වෙනවා. දැන් මම මේ කරන්නෙත් ඒකයි. ඇත්තටම අද මේක කොටුවේ යනවා වගේ වෙලා. ඒක ගැන හරිම කණගාටුයි. හැබැයි මගේ වාසනාවට, පොඩි කාලේ ඉඳලා හිටපු නිසා දැවැන්තයින් සමග දැවැන්ත නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා රැල්ලට නොයා. ඒ වගේම හොඳ නිර්මාණ කරන්න උත්සාහ කරන පිරිසකුත් ඒ අතරේ ඉන්න එක ගැන සතුටුයි.

ඉදිරි බලාපොරොත්තු ගැනත් කතා කරමු?

විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා අපේ රට මේ ලෙඩෙන් ගැලවෙන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා. ඒ වගේම හැමෝම ආරක්ෂා වෙන්න කියලා මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට සහ හැමදෙනාටම පොදුවේ කියනවා. ඒ වගේම හොඳ නිර්මාණවලින් නැවතත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ පවුලේ අය සමග සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත

20210513Thisuri (1) 20210513Thisuri (3) 20210513Thisuri (2)