Nude Art කියන්නේ භාවනාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මලී එස්තර් කියන්නේ නවක නිරූපණ ශිල්පිනියක්. ඇය නිරත වන්නේ Nude art කියන කලාව තුළයි.Nude art ගැන ලංකාවේ බොහෝ දෙනෙක් කතා කරන්නේ විශාල බියකින්. ඒ වගේම Nude artවල නිරත වන අය ගැනත් සමාජය බලන්නේ වපර ඇසකින්. මේ දේවල්වලට හේතූව සහ මලීගේ ඉදිරි වැඩකටයුතු ගැන සාරවිට අපි පුංචි කතාබහක යෙදුණා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම මලී එස්තර්. මම ඉන්නේ මොරටුවේ. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. ඒ වගේම නාට්‍ය ඉගෙනගන්නවා සහ ලියනවා. ඊට අමතරව පුංචි ව්‍යාපාරයක් කරනවා.

ඔබ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

දැනට අවුරුදු දෙකකට විතර කලින් තමයි මම නිරූපණයට එන්නේ. මම පත්තරයක ගියපු ගර්ල් කෙනෙක්ගේ ආටිකල් එකක් දැක්කා. මට ඒකෙන් නිරූපණයට එන්න ආසාවක් හිතුණා. මම ඊටපස්සේ ෆොටෝෂූට් එකක් කළා. ඒ හරහා තමයි මම ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. ක්ෂේත්‍රයට ආවාට පස්සේ මට හිතුණා මම නිරූපණය ඉගෙනගන්න ඕනේ කියලා. ඊටපස්සේ catwalk මොඩ්ලින් ඇකඩමියෙන් මම ඉගෙනගන්නවා.

ඔබ බොහෝසෙයින් දායක වෙන්නේNude artසඳහා නේද?

ඔව්. මෙහෙමයි. මම මුලින්ම කරපු ෂූට් එක අඩ නිරුවත් එකක්. ඒ එක්කම මම කැෂුවල් ෂූට් එකකුත් කළා. හැබැයි ඒ දෙක සංසන්දනය කරලා බලද්දි මට තේරුණා මට හරියන්නේ Nude art කියලා. මම ඊටපස්සේ Nude art ගැන හොයන්න ගත්තා. ඇත්තටම Nude artවලට ලංකාවේ ලොකු තැනක් නැතිවුණාට අනෙක් රටවල මේක ලොකු ක්ෂේත්‍රයක්.

Nude art කරද්දි බයක් දැණුනේ නැද්ද. සමාජයෙන් විශාල පීඩනයක් එයි කියලා?

මම මුලින් ෂූට් කරද්දි ගෙදර අයට කිව්වෙත් නැහැ. මම බයෙන් ෂූට් කරන නිසා ගොඩක් මිනිස්සු මාව බ්ලැක්මේල් කරන්න ගත්තා. මම එතකොට හිතුවා මේක හොරෙන් කරන නිසානේ මාව මෙහෙම බ්ලැක්මේල් කරන්නේ. මම තවත් Nude shoot කරන නිරූපණ ශිල්පිනියක් වන ගයාත්‍රි ජයමාන්න අක්කාගෙන් උපදෙස් අරගත්තා. එයා මට කිව්වේ මුලින් ඉගෙනගන්න. ඊටපස්සේ මට ආත්ම විශ්වාසයක් තිබෙනවා නම් මම දිගටම මේකේ රැඳෙයි කියලා. මම ඒක කළා. ගෙදරින් ප්‍රශ්න ආවා. ඒ වුණාට මම ඒක ලොකුවට හිතුවේ නැහැ. මොකද මම කරන්නේ හරි දෙයක් කියලා මම දන්නවා. මම නිදහස්ව හිතන කෙනෙක්. මම ගැන තීරණ ගන්නේ මමයි. මට නීති දාන මිනිසුන්ගෙන් මට ගන්න තිබෙන දේවල් ලබාගෙන මම මට ඕන දේ කරන කෙනෙක්. මම Nude art කරද්දිත් මිනිස්සු එක එක ඒවා කිව්වා. මට ආත්ම විශ්වාසයක් නැහැ කියලා කිව්වා. හැබැයි මම ඒ අයට පෙන්නලා දීලා තිබෙනවා මට පුළුවන් කියලා. Nude art කරන්න ලොකු ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. ලොකු ශක්තියක් තියෙන්න ඕනේ. මිනිස්සු ගොඩක් ඉස්සරහ Nude performance එකක් කරන්න ගැහැණු ළමයෙක්ට ලොකු ශක්තියක් තියෙන්න ඕනේ. මම හිතනවා මට ඒක තියෙනවා කියලා. ඒ නිසා මට Nude modelකෙනෙක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතනවා.

නිරූපණ ශිල්පිනියන්ටත් බොහෝවිට අයුතු යෝජනා එනවා. ඔබටත් එහෙම ඇවිත් තිබෙනවාද?

නිරූපණ ශිල්පිනියකට විතරක් නෙවෙයි සාමාන්‍ය ගැහැණු ළමයෙක්ටත් එහෙම අයුතු යෝජනා, බලපෑම් කරන අය ඉන්නවානේ. මටත් එහෙම දේවල් ඇවිත් තිබෙනවා. මගේ පටන්ගද්දිම එහෙම යෝජනා ආවා. ඇත්තටම හරි අමාරුයි ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ Nude art කරන්න. අපි කෙලින් හිටියේ නැත්නම් ප්‍රශ්න එනවා. ගොඩක් අය බොරු කියලා වෙන දේවල් ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ. මට එහෙම මිනිස්සු හම්බෙලා තියෙනවා. මම දැන් දන්නවා කවුද වැඩකට කතා කරන්නේ, කවුද බොරු කරන්නේ කියලා. මුලදී ගොඩක් රැවටීම්වලට අහුවුණා. ඒ දේවල් දැන දැන මම තවමත් ඒ මිනිස්සුන්ට අහුවෙනවා නම් ඇත්තටම මම මොඩ්ලින් කරන්නවත් සුදුසු නැහැ.

Nude artවලට ලංකාවේ තිබෙන තත්ත්වය ගැන මොකද හිතෙන්නේ?

Nude art කිව්වාම ලංකාවේ ගොඩක් අයට ලොකු අදහසක් නැහැ. සාමාන්‍ය මනුස්සයෙක්ට Nude art කරන කෙනෙක්ව පේන්නේ වැරදි විදිහට. මට අනුව නම් Nude art කියන්නේ භාවනාවක් වගේ දෙයක්. අපි එක ඉරියව්වක ඉද්දි සමහරවිට පැය ගාණක් ලයිට් හදනකල්, සෙටප් එක හදනකල් ඉන්න ඕනේ. ඒ ඉරියව් ලෙහෙසි පහසු ඒවා නෙවෙයි. ඒවාට ශරීරය සමබරව තියාගන්න, ඇඟේ හැඩය තියාගන්න ඕනේ. ඒක විශාල කැපකිරීමක්. ඇඳුම් ගලවගත්තු පලියට ඒක Nude art එකක් වෙන්නේ නැහැ. ලංකාවේ ගොඩක් Nude art කරන ඡායාරූප ශිල්පියෝත් අඩුයි. මිනිස්සු හිතන්නේ මොඩ්ල් කෙනෙක් නිරුවත් ෆොටෝෂූට් එකකට හිටියාම එයා ෆොටෝග්‍රැෆර් එක්ක තව මොනවා හරි කරලා කියලා. ඇත්තටම ඒ වගේ වෙලාවට එහෙම ෆීලීන්ග්ස් එන්නේ නැහැ. මොකද ඒක ලොකු වැඩක්. ලංකාවේ මිනිසුන්ගේ ඔළුව අපිට එකපාරටම හදන්න බැහැ. ඒක එක කාලෙකදි හැදෙයි. එතකල් අපි අපේ පාඩුවේ වැඩ කරගෙන ගියා නම් හරි.

Nude art කියන්නේ ලංකාවේ සංස්කෘතියට පටහැනි දෙයක්ද?

Nude art කියන්නේ අපේ සංස්කෘතියට පටහැනි දෙයක් කියලා මම හිතන්නේ නැහැ. අපේ අතීතයේ රජ කාලේ පවා ගැහැණු උඩුකය නිරුවත්ව හිටියා. එතකොට ඒ කාලේ මිනිසුන්ට ගැහැණියකගේ උඩුකයක් දැක්ක ගමන් හැඟීම් එන්න ගත්තා නම් මාර ප්‍රශ්නයක් වෙනවානේ. ලංකාවේ මිනිසුන්ගේ හිතේ අවුලක් මෙතන තියෙන්නේ. මිනිස්සු හිතන පතන විදිහේ අවුලක්නේ. නිරූපණ ශිල්පිනියෝ නිරුවතින් පාරේ යනවා නෙවෙයිනේ. මේක කලාවක්. Nude art ප්‍රදර්ශනත් ලංකාවේ තියෙනවා. අපිව අඳින චිත්‍ර ශිල්පියෝ ලංකාවේ ඉන්නවා. මේක කලාවක් කියන එක ගොඩක් මිනිස්සු හිතන්නේ නැහැ.

නිරූපණයට අමතරව මොනවාද කරන්නේ?

මම හැමදේටම වඩා කැමතිම මියුසික්වලට. මම විශාරද විභාගයත් කරලා තිබෙනවා. ඊට අමතරව මම කැමතියි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න. මොකද රංගනය කියන දේටත් මම ආදරය කරනවා. මම දැනට ඒ ගැන ඉගෙනගන්නවා.

ඔබට ක්ෂේත්‍රයේ ඉන්න හොඳම යාළුවා කවුද?

ඇත්තටම මට එහෙම කෙනෙක් නැහැ. ෆීල්ඩ් එකේ විශේෂිත යාළුවෝ නැහැ.

ඒ කියන්නේ යාළුකම් තියාගෙන ෆීල්ඩ් එකේ වැඩ කරන්න බැරිද?

එහෙම නෙවෙයි. මට යාළුකමක් ගොඩනගාගන්න තරම් කාවවත් මට හමුවෙලා නැහැ. ෆේස්බුක් එකෙන් කතාබහ කරලා තිබෙනවා හැරෙන්න එතනින් එහා යාළුකමක් නැහැ. ගයාත්‍රි අක්කාගෙන් තමයි උපදෙස් වුණත් ගන්නේ

ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්?

මට මගේ ඉදිරිය ගැන ලොකු සැලැස්මක් තිබෙනවා. ඉදිරියේදී රංගනයෙන්, නිරූපණයෙන් ඉස්සරහට යන්න ඕනේ. මාව තවම කවුරුත් දන්නේ නැහැ. ඇත්තටම මට ඕනේ මං ගැන මිනිස්සු දැනගන්න නෙවෙයි. සමාජයට හොඳ පණිවුඩයක් දෙන විදිහේ වැඩක් කරන්නයි මට ඕනේ. 

උදව් කළ අය ගැන කිව්වොත්?

මම හිතන්නේ මට ලැබුණු බාධක තමයි මගේ උදව්වට හිටියේ. මට මෙතනට එන්න උදව් කරපු නම් වශයෙන් කියන්න බැරි තරමේ විශාල පිරිසක් ඉන්නවා. ඒ අයව සහ මට වචනයකින් හරි උදව් කරපු හැම කෙනෙක්වමත් මම ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද