අප්පච්චි බලාගෙන ඉන්නේ ද‌ෙසීයා තුන්සීයා වෙනකම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාධවී.... මෑතකදී ගායනා කරන ආදරේ ඕනෑ කෙරේ ගීතය ජැක්සන් ඇන්තනි ලියූ ගීතයකි. මේ ගිතයට පාදක වුණෙත් ආදරයමයි. මේ කාගේ සංකල්පනාවක් මත ගොඩනැගුණු ගීතයක්ද?

ආදරේ ඕනෑ කෙරේ ගීතයත් ප්‍රේමණීය ගීතයක්. මේ ගීතයේ සංකල්පය වුණෙත් ආදරේ ඕනෑ කියලම තමයි. විශේෂයෙන් මේ ගැන කියවෙන්නේ දරුවන් ගැනයි. දෙමව්පියෝ ඉන්න දරුවෝ, පවුලක් තියෙන දරුවෝ, අම්මා තාත්තා දෙන්නම හෝ එක්කෙනෙක් ඉන්න දරැවෝ වාසනාවන්තයි. ඔවුන්ට ආදරේ කරන්න දෙමව්පියෝ, නෑදෑ පරපුරක් ඉන්නවා. පුංචි දරුවන්ට දෙමව්පියෝ ආදරේ විතරක් නෙමේ නෑදෑ පරපුරක්ද ඒ දරැවන්ට ආදරය කරනවා. ඉතින් ආදරේ ඕනෑ කෙරේ ගීතයත් මුලින්ම සංකල්පයක් විදිහට හිතට ඇතිවුණේ අපෙ අප්පච්චිගෙයි.

ඒකට අකිලගේ චූටි දුව ආරණ්‍යාත් හේතුවක් වෙන්න ඇති නේද?

ඔව්... අනිවාර්යයෙන්ම. කොහොමටත් අප්පච්චි දරුවන්ට හරි ආදරේ කෙනෙක්. එයා අපිට විතරක් නෙමෙයි. මේ රටේ හැම දරැවෙකුටම ආදරේ කරන අප්පච්චි කෙනෙක්. ආරණ්‍යා දුව ඉපදුණාට පස්සේ තමයි මේ අදහස අපේ පවුලට මුලින්ම දැනුණේ. අපේත් ඊළඟ පරම්පරාව විදිහට ඇය ඉපදෙනකොට අපිට අපි පුංචි කාලේදී ලැබුණ ආදරේ මේ දරැවාටත් ලැබෙනවා. නමුත් ඒ වගේ ආදරයක් නොලබන දරුවන් කොයිතරම් පව්ද? කියලා අපිට හිතුණා. ඒ දරුවන්ටත් මේ ආදරේ ඕනෑ. ආරණ්‍යා වගේම ඒ පුංචි දරුවනුත් මේ රටේ අනාගතයයි. ඒ නිසා හැම දරුවෙක්ටම ආදරේ කියන දේ මොනතරම් වැදගත්ද කියන එක අපිට ආරණ්‍යාගෙන් පෙනුණා. ඒකත් මේ ගීතයට හේතුවක් වෙන්න ඇති.

ඒ අපූරු පද රචනාවට සංගීතයෙන් දායක වුණේ රාජ් තිලයියම්පලම්. මාධවීට ඔහුව මුණගැහෙන්නේ කොහොමද?

මේ ගීතය මුලින්ම නිර්මාණය වුණේ තනු නිර්මාණයක් විදිහටයි. මෙහි සංගීත අධ්‍යක්ෂණය කළේ රාජ් තිලයියම්පලම්. සමාජ මාධ්‍ය හරහා රාජ් මාව හඳුනාගෙන මේ තනු නිර්මාණය මට දීලා ගීතයක් ගායනා කරවන්න ආසයි කියලා මට කිව්වා. ඒ 2015 අවුරුද්දේ. මට ඒ තනුව ඇහුණට පස්සේ ලොකු වෙනසක් ඒ තනු නිර්මාණයෙන් මම දැක්කා. මගේ ඊමේල් එකට එයා අවසන් කළ තනු නිර්මාණයත් එව්වා. නමුත් කාලයක් යනතුරු ඒ තනුව ඊමේල් එකටම සීමා වුණා... ඔය අතරේ මම විවිධ රුකියාවල් කළා. මගේ අධ්‍යාපන කටයුතු එක්ක මම කාර්යබහුල වුණා. ඒ නිසාම ඒ හැම දෙයක් එක්ක මම කලා කටයුත්තකට නිරත වෙන්න ඉස්පාසුවක් තිබුණේ නැහැ.

කලාවෙන් ඈත්වෙලා හිටිය මාධවී ආයෙත් කලාවට එකතු කරන්න මිලාන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා නේද?

ඔව්... ඒක ඇත්ත. අධ්‍යාපන කටයුතු වගේම අට - පහ රුකියාවල් නිසාම මම කලාවෙන් ටිකක් ඈත්වෙලා හිටිය. ඒත් මිලාන් මට මුණගැහුණට පස්සේ මිලාන් මට හැමවෙලේම කිව්ව දෙයක් තමයි ඔයා පුංචි කාලේත් ලස්සනට සිංදු කිව්වා. ඇයි දැන් කියන්නේ නැත්තේ. අපි ගීතයක් ගායනා කරමු. කියලා. එයාට මගෙන් ඈත්වෙලා ගියපු කලාව ආයෙත් මට ලබලා දෙන්න ලොකු ඕනෑකමක් තිබුණා. ඒ වෙනකොට මගේ අප්පච්චියි, අම්මයි කාර්යබහුලයි. මගේ මල්ලිලා දෙන්නාටත් ඒ අයගේ වැඩ කරන්න තියෙනවා. හැබැයි මිලාන් එයාගේ ජීවිතේ වැඩි ඉඩක් මට දුන්නා. එයා තමයි හැමවෙලේම මාව මේකට උනන්දු කළේ. ඒ වෙලාවේ මං මිලාන්ට මේ තනුව ගැන කියද්දී මිලානුත් ඒක ඇහුවා. ඊටපස්සේ එයා අප්පච්චිටත් ඒක පෙන්නලා අප්පච්චි ඒ වචන ටිකත් ලියලා තමයි මේ ගීතය නිර්මාණය වුණේ.

කොවිඩ් නිසා ආදරේ ඕනෑ කෙරේ ටිකක් පස්සට ගියා නේද?

ඔව්.... අපි ගීතය නිර්මාණය කළේ කොවිඩ් එන්නට පෙරයි. අපි 2020 පෙබරවාරි මාසේ තමයි ඒක රෑගත කළේ. කොවිඩ් නිසා ඒ ගීතය මුදාහරින්න අපි ටිකක් කල්ගත්තා... කලා නිර්මාණය දකින්න මිනිස්සුන්ගේ හිතට ඉස්පාසුවක් ලැබෙනතුරු අපි අවුරැද්දක් විතර ඉවසුවා. ආරණ්‍යාගේ පළවෙනි උපන්දිනයත්, අපේ දෙවැනි විවාහ සංවත්සරය දවසේ තමයි මේක නිකුත් කළේ.

කාලයකට පස්සේ මාධවීව ආයෙත් පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා. තාදි ගැනත් කතා කරමු?

මාව මේකට එකතු කරගත්තේ තාදි ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ චරිත් අබේසිංහ අයියා. චරිත් අයියා මට කතා කරලා චරිතයක් තියෙනවා. ලොකු වෙනසක් නැහැ. ඒ චරිතයත් ඔයා වගේම දඟකාර නිදහස් ගැහැනු ළමයෙක්ගේ චරිතයක්. කරමුද කියලා ඇහුවා. මම පිටපතත් බැලුවා. ධනංජය සිරිවර්ධන, ශනුද්‍රි ප්‍රියසාද්, හර්ෂි රසාංගා, රැවන් පෙරේරා වගේ බොහෝ පිරිසක් මේකේ රඟපානවා. ටිකක් වෙනස් විදිහේ කතාවක්. කුතුහලයක් තියෙන ලස්සන අමුතු විදියේ කතාවක් තමයි තාදි කියන්නේ.

කොවිඩ් වසංගතයෙන් සියලුම කලාකරුවන්ට, කලාකාරියන්ට කාලයක් නිවෙස්වලට කොටුවෙලා ඉන්න සිදුවුණා. මාධවී මේ කාලයේදි ගෙදර ඉඳන් මොනවද කළේ?

කෙරෝනා කාලේදී මං හුඟාක් දේවල් කළා. ඒ වෙනුවෙන් අපිට කාලය තිබුණා. මුලින්ම අපි ආදරේ ගීතය හැදුවා. ඒ ගීතයේ රඟපෑම්, ගායනා කිරීම්, රූගත කිරීම්, සංස්කරණ කිරීම් හැමදෙයක්ම කළේ අපේ ගෙදරමයි. අපේ ගෙදර අට දෙනායි, චූටි ආරණ්‍යා දුවයි තමයි මේකට සම්බන්ධ වුණේ. අපේ අල්ලපු ගෙදර ඉන්න ජීවන් මල්ලි තමයි මේක වීඩියෝ කළේ. අපේ පර්චස් දහය ඇතුළේ තමයි මේ ගීතය නිර්මාණය කළේ. ඒක හොඳ නිර්මාණයක් වුණා...හිතපු නැති විදිහට ඒකට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම මම මගේ You tube චැනල් එක පටන් ගත්තෙත් මේ කොරෝනා වසංගතයේදීමයි.

ඔය You tube චැනල් එක පටන් ගත්තෙත් කේක් එකක් නිසාම නේද?

ඔව්නේ. මිලාන්ගේ බර්ත් ඩේ එකට මම හදපු කේක් එක තමයි මේ You tube චැනල් එකට ප්‍රධාන හේතුව වුණේ. මම කේක් පන්ති ගිහින් ඉගෙන ගත්තේ නැහැ. ඔය You tube වලින් බලලා මම මිලාන්ට කේක් එකක් හැදුවා. ඒක හදද්දී සජිත බලාගෙන හිටියා. අක්කා... මේක අනිත් අයට හදද්දී පෙන්නන්න ඔයා ආසා නැද්ද? කියල මල්ලි මගෙන් ඇහුවා. මාත් ඒකට කැමති වුණා. ඊට සුමාන දෙකකට පස්සේ මම ආයෙත් ඒ කේක් එකම හැදුවා. ඒක හදද්දී සජිත කැමරාවක් අරගෙන ඇවිත් ඒක වීඩියෝ කළා. ඒ වීඩියෝ එකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. කට්ටිය ආස වුණා. මටත් ආසා හිතුණා.

මාධවීට උයන්න පුළුවන්ද?

මට හොඳට රහට උයන්න පුළුවන්. ඒක මගේ විනෝදාංශයක්. අප්පච්චිත් කියන්නේ මම පොල්මුඩ්ඩක් ඉව්වත් රහයි කියලයි. මගේ අම්මාටත් හොඳ රහට කෑම හදන්න පුළුවන්. මගේ බාප්පලා දෙන්නත් ඉතාලියේ, හොඳ සූපවේදියෝ. ඉතින් ඒ රසේ අත්ගුණය මටත් පිහිටලා තියෙනව වෙන්න ඇති. ඒ අයගෙන් මට උපදෙස් ලැබෙනවා. සමහර කෑම මම හදද්දී මම ඒ අයගෙන් අහලා ඉගෙන ගන්නවා. දෙක වසරේ ඉඳන් හත වසර වනතුරු මම හිටියේ ගණේමුල්ල ආත්තම්මලාගේ ගෙදරයි. හැමදාම අත්තම්මා මිරිස් ගලේ අඹරලා, වංගෙඩියේ කොටලා රහට කෑම හදන හැටි මම බලාගෙන ඉඳලා තියෙනවා. සමහර පුංචි පුංචි දේවල් කරලා දීලා මම ආත්තම්මාට උදව් කරලත් තියෙනවා. ඒ පුහුණුව පුංචි කාලේ ඉඳන් මට තිබුණා. මම උයන්න ආසයි. කෑම හදන්න ආසයි. මම එහෙම ආසාවෙන් කරපු දේවල් වීඩියෝ කරලා මගේ චැනල් එකේ දැම්මා. මගේ පළවෙනි වීඩියෝ එක ප්‍රචාරය වුණාට පස්සේ මිලාන් ගොඩාක් උනන්දු වෙලා මට ඒවාට ඕනෑකරන කැමරාව, ලයිට් ආදි සියලුම උපාංග අරගෙන දුන්නා... කොරෝනා කාලයේදී මිලාන්ටත් ලොකු නිවාඩුවක් ලැබුණා. එයයි ඉරේෂ් ලක්මාල් මල්ලියි එකතුවෙලා තමයි මගේ වීඩියෝ කටයුතු කලේ. සංස්කරණය කරන්නේ මමයි. අපි හිතුවටත් වඩා සාර්ථකත්වයක් අපි අද අත්කරගෙන තියෙනවා.

මාධවී රඟපාන්නේ අප්පච්චිගේ නිර්මාණවලටම විතරයි කියල සමහරැ කියනවා. ඇත්තද ඒක?

නැහැ. ඒක ඇත්තක් නෙමේ. තාදිවලට අමතරව තවත් ටෙලිනාට්‍ය දෙකකට විතර ආරාධනා ලැබුණා. කොරෝනා නිසා ඒකත් ටිකක් කල් ගියා. සිනමා පටයකටත් ආරාධනා ලැබුණා. කොරෝනා නිසා සිනමා කලාව තිබුණ තැනටම ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. එහෙමයි කියලා සිනමා පට බිහිනොකරත් බැහැ. සමහරු මම අප්පච්චිගේ නිර්මාණවලට විතරක් සම්බන්ධ වෙන්නේ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඒක එහෙම නැහැ. ඉදිරියේදී චිලි පේස්ට් කියලා ටෙලිනාට්‍යයක් එන්නට නියමිතයි. ඒ ටෙලිනාට්‍යවලින් මම නැවතත් වැඩකරන බව දැනගන්න පුළුවන් වේවි.

ජැක්සන් ඇන්තනි වගේම කුමාරි මුණසිංහත් මේ ගහකොළට, සතා සිව්පාවුන්ට ආදරය කරන කලා දෙපළක්. මාධවීත් ඒ වගේම ගහකොළට ආදරේ කරනවාද?

ඔව්. අපිට එහෙම ලොකු ඉඩමක් නැහැ. අපිට තියෙන්නේ පර්චස් දහයක ඉදිවුණ ගෙයක්. ඒකත් අප්පච්චිගේ ගෙදර. අපි තාම අපේම කියලා ගෙයක් හදාගෙන නැහැ. ඒක තමයි මිලාන්ගෙයි මගෙයි තිබෙන ඊළඟ හීනය වෙන්නේ. අපිටම කියලා අපේම කැදැල්ලක පැල් ගැහෙන්න අපි ආසයි. කසාද බැඳලා අවුරුදු දෙකක් ගිහිල්ලත් තාමත් අපිට ඒ කැදැල්ලේ හීනය හැබෑ කරගන්න බැරිවුණා. දැනට අපි ඉන්නේ අප්පච්චිගේ ගෙදරයි. අපිට පුළුවන් විදිහට අපි පෝච්චිවල බොහෝ දේවල් වවලා තියෙනවා. ඒකට මූලික වුණේ අම්මයි. අම්මාට එයාගේ තාත්තාගේ ඉඩමක් සීගිරියේ තියෙනවා. ඒක බලාගන්නේ අම්මයි. හරි උනන්දුවෙන් ගස් හිටවලා අම්මා එක් බලාගන්නවා. ගනේමුල්ලේ ආච්චිගේ වත්තෙත් අම්මා ගස් වවලා තියෙනවා. අපි ඒවාට එකතු වෙනවා. ස්වභාව දහමට අපි කොහොමත් ආදරෙයි. ස්වභාව දහම කියන්නේ ගහකොළ විතරක් නෙවේ. මිනිස්සු, සතා සිව්පාවාත් ස්වභාව දහමට අයිතියි. &ආදරේ* කියන බීජය පැළ කරන්න පුළුවන් නම් ඒ බීජයෙන් හැදෙන වෘක්ෂයෙන් හැමෝටම සෙවණ ලැබේවි.

අපි හැමෝම ජීවිතේ යම් තැනකදී ඇද වැටෙනවා. දුක, සංකා, කලකිරීම් ජීවිතේදී මුහුණ දෙන්න සිදුවෙනවා. මාධවීත් එවැනි ඇදවැටීමකට මුහුණ දුන්නා. ආයෙත් හිත හදාගන්න හයිය වුණේ මොනවාද?

අපිට කවදාවත් ඉගෙනගත්තු පාඩම් අමතක කරලා ඉස්සරහට යන්න බැහැ.මම ඉගෙනගත්තු පාඩම්, විපත් නිසා මට ලැබුණු අත්දැකීම්. ඒ අත්දැකීම් එක්ක මට ලැබුණු කැළැල් හැමදාටම මා තුළ තිබෙනවා. ඒ කැළැල් දකිද්දී මට ඒ අතීතයේදී සිදුවුණු තුවාල මතක් වෙනවා. ඒ තුළින් මම ලබන්නේ ජීවිතයට ලොකු හයියක්. ඒක හරියට මුවහත් වෙන පිහියක් වගේ. පුද්ගලයෝ ගැන, සමාජය ගැන, ලෝකය ගැන අවබෝධ කරගත්තු දේවල් තුළින් ජීවිතය ඉදිරියට හොයන්න ලොකු ශක්තියත් වෙනවා. සමහර දේවල් ආයෙත් වෙද්දී මම පුදුම වෙන්නේ නැහැ. කෙනෙක් මට බොරැවක් කිව්වොත්, කෙනෙක් ඉස්සරහට එක දෙයක් කියලා පිටිපස්සෙන් වෙන දෙයක් අනිත් අයට කිව්වට මම පුදුම වෙන්නේ නැහැ. හැබැයි මම කවදාවත් අසුභවාදීව හිතන්නේ නැහැ. ඕනෑම නරක මනුස්සයෙක් ඇතුළේ හොඳ මනුස්සයෙක් ඉන්නවා වගේම ඕනෑම හොඳ මනුස්සයෙක් ඇතුළේ නරක මනුස්සයෙක් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. කළු සහ සුදු කියලා වෙන් කරන්න බැහැ. ඒ අතරේ අලුත් තියෙනවා. වෙන පාටක් තියෙනවා. ඒ නිසා මම එහෙම ලේබල් කරන කෙනෙක් නෙවේ. මම එහෙම විනිශ්චය කරන කෙනෙක් නෙමේ. ජීවිතේ වෙච්චි ප්‍රශ්නවලින් හෝ වැටිච්චි තැන්වලින් මට නැගිටින්න ප්‍රධානම හේතුව වුණේ මිලාන්.

අතීතයේ වෙච්චි සිදුවීම් එක්ක. දික්කසාද වෙච්චි ගැහැනියක් වුණාට පස්සේ ආයේ විවාහ වෙන්නේ නැහැ කියලා මාධවි හිතුවද?

විවාහය සහ ආදරය කෙනෙක්ට ලැබෙන්නේ එක පාරයි කියලයි මම විශ්වාස කරන්නේ. අවස්ථා කිහිපයක් තිබිලා එක තැනකදි සාර්ථක වුණොත් අනික් එකක්වත් හරි ඒවා නෙවෙයි කියලයි මම අදහස් කරන්නේ. මම හරි තැනක නවතිනවා නම් ඒක තමයි හරි දේ වෙන්නේ. මේ තමයි ඒ හරිම කෙනා කියලා මට අද තේරෙන්නේ මම ලබන මේ සැනසීමෙන්, සතුටින් සහ අසීමිත ආදරයෙන්. එයාට මම වැදගත් කියලා දැනෙන එකෙන්. ඒ හැමදේකින්ම මේ මට ලැබුණ හරිම කෙනා කියලයි මට හිතෙන්නේ. මම මගේ යාළුවන්ට මම වෙනුවෙන් උපන් කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා අනන්තවත් කියලා තියෙනවා. ඒත් එයාලා මට දිගින් දිගටම ඔයා වෙනුවෙන් ඉපදුණු කෙනෙක් කොහේ හරි ඉන්නවා කියලා මට අනන්තවත් කිව්වා. ඒත් මම විශ්වාස කළේම නැහැ. මාව බලාගන්න කෙනෙක් එයි කියලා මම විශ්වාස කළේ නැහැ. කාලයත් එක්ක මම මිනිස්සු සැක කරන්න පටන් ගත්තා. මිලාන් මගෙන් අහද්දිත් මම එයාට දීපු පළවෙනි කොන්දේසිය වුණේ ඔයා මට කැමති නම් අප්පච්චිගෙන් හම්බවෙලාම ගිහින් කතා කරන්න කියලා කිව්වා. මං හිතුවෙවත් නැති විදිහට මිලාන් එකපාරටම හා මම යන්නම් කියලා කිව්වා. මිලාන් එයාගේ විශ්වාසය සපථ කළා. මිලාන්ව මට මුණගැහුණු එක මගේ වාසනාවක්. එයාටත් එහෙම දැනෙනවා. මිලාන්ගේ තාත්තා 2016 නැතිවුණා. ඒ නැති පාළුව මිලාන්ට තදින්ම දැනිලා තිබුණා. ඒ තාත්තා නැති අඩුව අපේ අප්පච්චි පිරෙව්වා කියලා මිලාන් හැමවෙලේම කියනවා. අප්පච්චිටත් අම්මටත් මිලාව පුතෙකු වගේම දැනනෙවා. මල්ලිලා දෙන්නත් මිලාන්ට හරි ආදරෙයි. මිලාන් මේ බැඳීම්වලට හරි ආදරෙයි. හරි ළෙංගතුයි. අපේ හැමදේටම සතුට ගෙනාවේ ආදරයයි.

අකිලගේත් එමීගෙත් ආදර ජිවිතවලට ආරණ්‍යා සතුට අරගෙන ආවා. මිලාන්ගේ, මාධවීගේත් කැදැල්ලට ඒවගේ පුංචි පැටියකුගේ සතුට ළඟදීම ලැබෙයිද?

අප්පච්චි ඕක හැම වෙලේම කියව කියවා ඉන්න දෙයක්. මම දැන් සීයා වුණා. දෙසීයා, තුන්සියා වෙන්න ඕනේ කියලා. මිලාන්ව හම්බවෙයි කියලා මම ප්ලෑන් කළේ නැහැ. මට මිලාන්ව මුණගැහුණා. දෙවියන් වහ්නසේගේ කැමැත්ත පරිදි ඒ අයත් අපේ ජීවිතවලට ඒ කාලයට ඒවි කියල මම විශ්වාස කරනවා. තාමත් සිංදු කරන්න කියලා ඒ දේවල් පස්සට දාලා නැහැ. නමුත් මගේ ජීවිතේ කලාව වෙනුවෙන් පහුවෙච්චි අවුරුදු අට මම අල්ලන්න තියෙන්නේ අවුරුදු දෙකක් විතරයි. මට නැතිවුණු ඒ කාලය මට හරි ඉක්මනට ගන්න ඕනේ. මිලාන්ගේ උනන්දුවත් ඒකක, මාව එක්ක යන මේ ගමනේදී තව කලා නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු.... හැමදේම හරි විදියටම වේවි.

දිශානි ජයමාලි කරුණාරත්න /  සේයාරූ - සුමුදු හේවාපතිරණ

20210213Madhavee-1 20210213Madhavee-2 20210213Madhavee-3