ආදරය කරන්න ටිකක් බයයි දැන් - කාර්ය බහුල වෙන්න හුඟාක් කැමැතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රඟපෑමට මම එක් රැයකින් එක් දවසකින් ආ කෙනෙක් නෙවෙයි. මුලින්ම දමයන්ති ෆොන්සේකා මහත්මිය යටතේ එතුමියගෙ රංග පාසලේ සිට හැදැරීම් කළා. පසුව එතුමිය නිර්මාණය කළ ගාස්තුව කීය ද? වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒ අතර වාරයේ දී සෞන්දර්යය සරසවියට අනුබද්ධව නාට්‍ය හා රංග කලාව ගැන උපාධිය හැදෑරුවා. ඒ විදියට වැඩ කටයුතු කරමින් සිටින අතරවාරයේ දී ටී.වී. දැන්වීම් සහ නිරූපණ කටයුතුවලත් යෙදුනා. 2017 දක්වා ආවේ ඒ විදියට. රංග කලාව ගැන හදාරමින් කිව්වොත් හරි. මේ හැදෑරීම් අතරේ දී 2017 දී ටෙලි නාට්‍ය රංගනයට ආවා. පටන් ගත්තේ බටහිර අහස සහ හඳයා නාට්‍යයෙන්. මේ දක්වා ටෙලි නාට්‍ය 15 ක විතර රඟපාලා තියෙනවා.

පමා වී පිපෙන මල් සුවඳයි කියලා කතාවක් තියෙනවනෙ. මේ තාර්යා කෙනඩින් ඒ වගේ කිව්වොත් හරි. රංගනයේ හෙමින් ගමනක් යන තාර්යා මේ දිනවල තරුෂි පෙරේරාගේ සත්වරුෂා නාට්‍යයේ රූගත කිරීම්වලට දායකව සිටින්නීය. මේ කතා බහ ඇය සමගයි.

• තාර්යා විතර ද නම?

තාර්යා රාංචනා ක්‍රිස්ටීන් කෙනඩි.

• ජෝන් එෆ් කෙනඩිගෙ කවුද ?

මගේ සියා ස්කොට්ලන්ඩ් ජාතිකයෙක්. ඒ හරහා තමයි මට කෙනඩි වාසගම ආවේ.

• කෙනඩි පෙළපත ගැන කිව්වොත්.?

ඇමරිකාවේ ගත්තොත් ප්‍රභූ පවුලක්. ස්කොට්ලන්තයේදිත් එහෙමයි. මගෙ සීයාගෙන් අපේ තාත්තාට ලැබුණා. තාත්තාගෙන් මට ලැබුණා.

• තාර්යා මේ දිනවල රංගනයෙන් දායකව සිටින්නේ සත්වර්ෂා නාට්‍ය සමගයි. ඒ ගැන කියමු.

මෙතෙක් මම දායක වුණ නාට්‍ය ඔක්කෝම මට විශේෂයි. ඒ අතරින් මේ නාට්‍යය වඩාත් විශේෂයි. මෙය අධ්‍යක්‍ෂණය කරන්නේ සම තිර රචනය කරන්නෙ අපේම පරපුරේ රංගන ශිල්පිනියක් නිසයි. තරුෂි පෙරේරා අක්කාගෙ ප්‍රථම අධ්‍යක්‍ෂණය යටතේ ඒ විදියට සම්බන්ධවීමට ලැබීම වෙනස්ම අත්දෑකීමක්. 

• ඇය ඔබ මෙහෙයවද්දි ඒ වෙනස දැණුනේ කොහොම ද?

රංගන ශිල්පිනියක ලෙස එයාගේ අත්දැකීම් එක්කනෙ එයා අධ්‍යක්‍ෂණය කරන්නේ. ඉතින් අපි නොදකින සියුම් තැන් පවා ඇය දකිනවා. මට මුලින්ම චරිතය ලැබුණෙම ඒ චරිතය වගේ සමාන එකක් රඟපාලා තිබුණා. ඒත් තරුෂි අක්කා මට ඒ චරිතය ගැන රඟපාලාම පෙන්නුවාම හරි අපුරු බවක් මට දැනුනා. ඒක හරි විශේෂයි. මොකද අධ්‍යක්‍ෂවරයකු විතරක් නම් එයා අපට චරිතය ගැන කියනවා විතරයි. එත් ඇය රංගන ශිල්පිනියක් නිසා අපට චරිතය රඟපාලාම කියා දුන්නාම ඒක ගැන වටහා ගැනීමක් වෙනවා. 

• එතකොට මේ චරිතයේ නම.?

කුමාරි

• කුමාරි මොන විදියේ චරිතයක්ද?

වංශවත් පෙළපතකින් එන ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැලී සිටින තනියම ව්‍යාපාර ඔස්සේ නැගී සිටින්න හදන චරිතයක්. ඇය විවාහය ගැනවත් නොසිතා දඟකාර සැහැල්ලු ජීවිතයක් ගත කරන්නෙ.

• මේ දිනවල මේ නාට්‍යයේ විතර ද රඟපෑම්වලට එක්ව සිටින්නේ.?

සත්වර්ෂා නාට්‍යයට අමතරව ‘‘21’’ නාට්‍යයේ රූගත කිරීම්වලට දායකව සිටිනවා. රූගත කිරීම් ඉවර වූ නාට්‍ය අතරින් දමයන්ති ෆොන්සේකාගේ ‘රන් කිරි අම්මා’ ළඟදීම විකාශයට නියමිතයි. මේ නාට්‍ය තුනම විකාශයට පෙළ ගැසී තියෙන්නේ ITN නාලිකාවේ.

• කොහොමද රඟපෑමේ ජීවිතය?

ඒ වෘත්තිය තමයි මම හිතන්නෙ' අපි මානසික ආතතියකින් තොරව කළ හැකි එකම වෘත්තිය. ඒ නිසා මම ඒ වෘත්තියට හරි ආසයි.

• රුකියාවක් කළා නේද?

රැකියාව කරන අතරේ රඟපාන්නේ. Next නමැති විලාසිතා නාමය වෙනුවෙන් රැකියාව කරන අතරේ කිව්වොත් හරි.

• කොහොම ද පුද්ගලික විස්තර.

මමයි, අම්මයි තාත්තයි විතරයි. තාත්තා විදේශගත රැකියාව කරන්නෙ. අම්මත් එක්ක මම සතුටින් ජීවත් වෙනවා. 

• විවාහයක් ගැන එහෙම හිතලා නැද්ද?

තාම නෑ.
ආදරයක් නැහැ? 
ආදරය කරන්න මම ටිකක් බයයි දැං.

• හේතුව 

ආදරය සුන්දරයි. එත් මට බයයි. 

• ආදරය කොහොම දෙයක් ද?

සුන්දරයි එකිනෙකාට ලැබෙන විදිය වෙනස්. ඒක කරද්දි අවංක වෙන්නට ඕනෑ. ඒ මොන විදියට වුණත් ආදරයට මම බයයි.

• අවුරුද්දට මොනව ද කළේ?

අවුරුද්ද මට හරි විශේෂයි. මට අලුත් අවුරුද්ද වගේම නත්තලත් හරි විශේෂයි. ඒ දෙකම මම සමරනවා. අලුත් අවුරුද්ද සමරන්නේ අපේ අම්මා නිසා. අම්මා බෞද්ධ. සිංහල අවුරුද්දට අපේ ආච්චිලාගෙ ගෙදර ගියා. එහෙම ගියාම ආච්චිගෙන් හැමදාම මම කැවිලි හදන්න ඉගෙන ගන්නවා. එයාගෙන් මට ලැබෙන ලොකුම තෑග්ග තමයි ඒක.

• මොනවද රසටම හදන්න පුළුවන් කැවිලි ?

කොකිස්, ආස්මි.

• තාර්යාගේ දවස ගෙවෙන්නෙ කොහොම ද?

සතියට දින දෙකක් විතරයි රැකියාවට යන්න තියෙන්නෙ. ඒ නිසා රඟපෑමේ කටයුතුවලට ඒක පහසුවක් වෙලා. රඟපෑම් ඇත්නම් ඒවාට යනවා. නැත්නම් දැන්වීම්වලට රූගත කිරීම්. කොහොම වුණත් කාර්ය බහුල වන තරමට මම හරි ආසයි. රූගත කිරීම්වලට යාම සංචාරය කිරීමත් වගේ නිසා ඒක ඇත්තටම මට හොද ප්‍රීති සංචාරයක්. මම හරිම උනන්දුවෙන් ආසාවෙන් තමයි විවිධ පළාත්වල රූගත කිරීම්වලට යන්නේ. 

• ක්ෂේත්‍රයේ යාළු මිත්‍රයින් ගැන කියමු.

විශේෂයි කියලා නැහැ. හැමෝම වගේ යාළුවෝ. මට බොහෝ දෙනෙක් උදවු කරනවා. අධ්‍යක්‍ෂවරු සහාය අධ්‍යක්‍ෂවරු රංගන ශිල්පින් ශිල්පිනියන් සියලු දෙනා මට මගේ නෑදැයින් වගෙයි. කොහොමටත් මගේ නැදෑයින් වැඩි දෙනෙක් ලංකාවේ නෙවෙයි ඉන්නෙ

• කොහෙද ඔයාගේ නැදෑයින් ඉන්නෙ?

ජපානයේ, ඇමරිකාවේ සහ එංගලන්තයේ. 

• ඒ රටවල සංචාරය කරලා තියෙනවාද?

එංගලන්තයේ සහ ජපානයේ සංචාරය කරලා තියෙනවා.
සංචාරය කරන්න ආසම රට
ජපානයට
හේතුව,
හරිම ආචාරශීලි බව සහ එකිනෙකාට ගරු කරන සමාජයක් තියෙන රටක්. අපේ ගතියට සමාන නිසා මම ජපානයට හරි ආසයි. මම මේදිනවල ජාපන භාෂාව සම්බන්ධව උපාධියක් වෙනුවෙන් හදාරනවා. ඊටත් අමතරව එංගලන්තයේ මනෝවිද්‍යාව පිළිබඳවත් උපාධියකට හදාරමින් සිටිනවා. 

• තාර්යාගේ ජීවිතයේ ඉදිරියේ ඇති නිශ්චිත ඉලක්කය.?

මගේ රැකියාවේ දියුණුවත් එක්ක රංගන ක්ෂේත්‍රයේ ඉහළටම යන්න. චරිතාංග නිළියක වී සම්මානනීය තත්ත්වයට එන්න උත්සාහ ගන්නවා. ඒ වගේම තව තවත් අංශවලින් උසස් අධ්‍යාපනය ලබන්න විශේෂයෙන්ම ජෛව තාක්‍ෂණය ගැන ඉගෙනීමටත් අදහසක් තියෙනවා. 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
හැඬගැන්වීම්- මදුරා විතාරණ
පසුතලය- Furniture Warehouse බත්තරමුල්ල

20210419Hot (1) 20210419Hot (2)