‘ආශාවරී’ පළමු සිනමා රංගනයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“මගේ නම ඉෂංකා ජහන්වී කොස්තා. ගම පිළියන්දල. ඉගෙන ගත්තේ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයෙන්. දැනට පුද්ගලික සරසවියක උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ අතරේදි තමයි තේජා ඉද්දමල්ගොඩ මහතාගේ ‘ආශාවරී’ චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබුණෙ. ‘‘ආශාවරී’ කියන්නෙ මගේ ප්‍රථම චිත්‍රපට රංගනයයි” මේ විදියට කියන්නේ ළඟදීම තිරගතවීමට නියමිත ආශාවරී චිත්‍රපටය සමඟ ශ්‍රී ලාංකික සිනමාවට පිවිසි අලුත්ම රංගන ශිල්පිනියයි. ආශාවරී සමඟ සිනමාවට ආ මේ ලස්සනම ලස්සන හැඩකාරිය කවුද? 

• ඉෂංකා ජහන්වි. එහි තේරුම?

ජහන්වී කියන්නෙ හිංදි භාෂාවෙන් ‘’පණ’ කියන එකට. ආදරය වගේ

• කවුද මේ හිංදි නම ඔබට දැම්මෙ?

තේජා ඉද්දමල්ගොඩ සර්. අපෙ අම්මාගෙන් අහලා මට ඒ නම දැම්මෙ සිනමාවට ගැලපෙන නිසයි.

• අපෙ අම්මා ගැන විස්තර කියමු?

අම්මා දැනට ගෘහණියක්. කලින් ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිරතව හිටියෙ. ඇය මගේ ලොකුම ශක්තියයි. මගේ පිටුපස අපිට ලොකුම ශක්තිය වන්නේ අම්මා.

• එතකොට තාත්තා?

මගේ තාත්තාත් ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරනවා. මට මල්ලි කෙනෙකුත් ඉන්නවා.

• ඉෂංකා කියන්නද? ජහන් වී කියන්නද?

ඉෂංකා කියලා තමයි බොහෝ දෙනා කියන්නෙ. ඒත් මම ජහන් වී නමටත් කැමතියි.

• ඉගෙනීම් කරන්නෙ මොන අංශයෙන්ද?

ව්‍යාපාර හා කළමනාකරණ අංශයෙන්.

• අරමුණ?

ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතියි. ඒ වගේම කලාවට සේවයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

• දැන් වයස කියන්න පුළුවනිද?

අවුරුදු 22යි.

• මේ වයසට ජීවිතේ ගැන හිතන්න කොහොමද?

ජීවිතය ලස්සනයි. මේ කොරෝනා උවදුර ඉවර වුණොත් ඉක්මණට. අපි හැමෝටම පෙරටත් වඩා ලස්සනට ජීවිතය ගෙවන්න පුළුවන් වේවි.

• ‘ආශාවරී’ වූ හැටි කියමු?

ආශාවරි චරිතයට මට ආරාධනා ලැබෙන විට, මම හිටියෙ උසස් පෙළට මාස දෙකක් පමණ තිබියදී. ඒකට කතා කරලා තිබුණෙ මිහිර බණ්ඩාර විසින් අධ්‍යක්‍ෂණය කළ ශිවන්ත ප්‍රනාන්දු ගයන, පුංචි කතාවක් ගීතය, තේජා, ඉද්දමල්ගොඩ මහතා සහ රුවන් කොස්තා මහතා නරඹලා තිබුණා. ඒක දැකලා තමයි මට සම්මුඛ පරීක්‍ෂණයට එන්න කිව්වෙ.

• ඒ ලෙවල් කරන අතරේ ගෙදරින් අවසර දුන්නද?

ගෙදරින් කොහොමටත් මට ලැබෙන්නෙ ලොකු සහයෝගයක්. අම්මා තමයි මාව වඩාත් දිරි ගැන්වූවේ. ගෙදර අය මගේ ගමනට ගොඩාක් උදවු කරනවා. මේ නිසාම තමයි මේ මොහොතට මට එක්වෙන්න පුළුවන් වුණේ. සම්මුඛ පරීක්‍ෂණයේදී බොහෝ පිරිසක් අතරින් මාව තේරුණා. ඒක මට ලොකු සතුටක්. අන්තිම 50 දෙනා අතරින් තිර පරීක්‍ෂණය කළ පසුව මම තේරුණු බව කිව්වා. ඒ ගැන විශේෂයෙන්ම අධ්‍යක්‍ෂ තේජා ඉද්දමල්ගොඩ සහ කැමරා අධ්‍යක්‍ෂ රුවන් කොස්තා යන මහත්වරුන්ට ස්තුතිය පිරිනමන්නට ඕනෑ.

• චරිතය ලැබුණාම මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?

ලොකුම ලොකු සතුටක්. ඒ චරිතය හරිම ඳඟකාර- ආදරණීය චරිතයක්. හරියට සැබෑ ජීවිතයේදී මමම වගේ චරිතයක්. ඒ නිසා හරිම ආසාවෙන් බාර ගත්තා. ඒ වගේම ඒ වෙලාවෙදි ඒ චිත්‍රපටයේ සිටින නළු නිලි පිරිස ගැන කිව්වාමත් මට ඇති වූ සතුට අප්‍රමාණයි.

• ‘ආශාවරී’ චරිතය ගැන විස්තර කරමු?

යාපනයේ දමිළ පවුලකින් පැවත එන, දුම්රිය ස්ථානාධිපතිවරයකුගේ බාල දියණියක්. මගේ පියා ලෙස රඟපෑවේ ජයලත් මනෝරත්න සර්. මව ලෙස රඟපෑවේ ජයනි සේනානායක අක්කා. එහි මගේ පෙම්වතා ලෙස රඟපාන්නෙ හේමාල් අයියා. ආශාවරි කියන්නෙ ඇත්තටම හරිම සුන්දර- දඟකාර- ආදරණීය චරිතයක්.

• සැබෑ චරිතයේ විදියත් කියමු?

ආශාවරී වගේමයි. හරිම ආදරණීයයි, හරිම සංවේදියි, ටිකක් දඟයි.

• මොනවද කරන දඟවැඩ?

අම්මාගෙන් ගුටි කන එක තමයි. 

• ඇයි ඒ විදියට ගුටි කන්නෙ?

මල්ලිත් එක්ක ගහගන්න නිසා. ඒ වෙලාවට මල්ලිත් ගුටි කනවා.

• කොහොමද ඉෂංකාගේ ආදරය? මොකද හරිම ආදරණීයයි කිව්වනෙ?

ලෝකෙටම ආදරෙයි. පුද්ගලිකව පෙම්වතුන්ගේ ආදරයක් ගැන හිතලා නැහැ. සුදුසු කාලයට, සුදුසු කෙනා ලැබේවි.

• මේ දිනවල මොනවද කරන්නෙ?

වෙළඳ දැන්වීම්වලට දායකත්වය ලබාදෙනවා. කොරෝනා නිසා ඒවත් පරිස්සමට කරන්නෙ. ගෙදරට වෙලා වැඩිපුරම කරන්නෙ අධ්‍යාපනික කටයුතුයි.

• ගෙදර වැඩත් පුළුවන්ද?

අපෝ පුළුවනි.

• ගෙදරදි විශේෂයෙන් කරන වැඩ මොනවද? 

අම්මාට අසනීපයක් එහෙම වුනාම උයලත් දෙනවා. ඒ නැතත් ගෙදර වැඩ කරමින්, අම්මාට සහයෝගය දෙනවා. 

• උයන්නත් පුළුවන්? 

ඔව්. 

• ජහන්වී ස්පෙෂල් මොනවද? 

මම හිතන්නේ මට ඉතා රසට බටර් කේක් සහ බිස්කට් පුඩිං වගේම, ව්‍යාංජනත් රසට හදන්න පුළුවනි. අම්මාගෙන් බලාගෙන ඒවා පුරුදු වෙනවා. 

• ඉෂංකාගේ හොඳම ගුණාංගය මොකක්ද? 

මම හරිම කරුණාවන්තයි සහ හරිම සංවේදියි කියලා හිතනවා. 

• නරකම පුරුද්ද මොකක්ද? 

වැඩිපුර ටිකක් නින්ද යනවා. 

• ජීවිතයේ වැඩියෙන්ම කැමති මොනවද? 

අම්මා තාත්තා සහ පවුලේ අය එක්ක කාලය ගත කරන්න. 

• ඒ කියන්නේ හොඳ දියණියක් ? 

ඔව්. මම එහෙම හිතනවා. අම්මා තාත්තා මට හරි ආදරෙයි. මමත් එහෙමයි. 

• අපි ආශාවරි චිත්‍රපටය ගැන කියමු? මේ චිත්‍රපටය නැගලා යාවිද? 

මම හිතන්නේ මේ චිත්‍රපටය 70 සහ 80 දශකයේ ලස්සන චිත්‍රපටයක් වගේ හරිම ලස්සන චිත්‍රපටයක් කියලා. පෙර කිව්වා වගේ මේ කතාව. යාපනයේ දමිල පවුලක් සහ නුවර අභිමානවත් පවුලක් අතර ගලායන කතාවක්. කුලමල ආගම් භේද තිබියදීත් ආදරය ජයගන්න හැටි කියැවෙන විදිය හරිම ලස්සනයි. හරිම අරුත්බරයි. ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය නරඹන්න ලොකු ප්‍රේක්ෂකාගාරයක් එක් වේවි. ආශාවරි රූගත කළේ දියතලාව සහ රන්මිණිතැන්න ඇතුළු ඉතා සුන්දර ප්‍රදේශවල. රඟපාන නළු නිළි පිරිස දිහා බැලුවාම ලොකු පිරිසක් ඒ වටා ගොනුවේවි. 


• මෙච්චර ලස්සනට කතා කරන ආශාවරි චිත්‍රපටයේ ආශාවරි හෙවත් ඔබ රඟපාන ආශි චරිතයට අයත් ලස්සන දෙබසක් කියමු? 

ආදරය …. මං ආදරයටත් හොරෙන්, රනේශ් කොල්ලට ආදරය කරනවා. සදහටම.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
විලාසිතා නිර්මාණය – ගීතමී වික්‍රමරත්න 
හැඩගැන්වීම් - ඉන්දික උදාර

20210516Hot (1) 20210516Hot (2) 20210516Hot (3) 20210516Hot (4)