ඇත්තටම මම මේක හිතපු අවස්ථාවක් නෙමෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගනයට පිවිස ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොබදව දිනා ගත්ත ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් ලෙස හේෂානි ලියදිපිට හැඳින්විය හැකිය. දෙරණ නාලිකාවේ විකාශය වන ‘ධරණි’ ඔස්සේ රසික ආදරය දිනා ගත් ඇය තම පළමු ටෙලි නාට්‍යය තුළින් සුමති සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය සඳහාද නිර්දේශ වී තිබේ. ඒ පිළිබඳව සහ ඇයගේ කලා දිවිය පිළිබඳ අපත් සමග මෙසේ කතා බහ කලේය.

කොහොමද ජීවිතේ?

මේ දවස් ඉතිං කැම්පස් එකේ වැඩ කටයුතුත් එක්ක ශූටින් වැඩ කටයුතුත් කර ගෙන ඉන්නවා. ඒ විදිහට තමයි ඉතිං ජීවිතේ ගෙවිලා යන්නේ.

‘ධරණි’ කොහොමද?

ටෙලි නාට්‍යය හොඳට කෙරීගෙන යනවා. දැන් පටන් අරන් මාස 05ක් 06ක් වගේ වෙනවා. මම හිතනවා මේ වෙද්දී ‘ධර්ණී’ සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වැඩටික කරගෙන යනවා.

‘ධරණි’ ලැබුනේ කොහොමද?

ඇත්තටම මම මේක හිතපු අවස්ථාවක් නෙමෙයි. මට මේක අහම්බෙන් ලැබුණු දෙයක්. මොකද අවුරුදු කුමාරියක් වුණ පලියට මම පළවෙනියා වුණා කියලා දැන ගෙන දුන්නෙ නැහැ. අපි දොලොස් දෙනාම ඔඩිෂන් කරලා තෝරලා බලලා තමයි අවස්ථාව ලැබුණේ. මොකද මේක තනි චරිතයක් නෙ. චරිතයට සුදුසුම කෙනා බලලා තමයි තේරුවේ. මම හිතනවා ඒ වෙනුවෙන් වෙන්න පුළුවන් උපරිම සාධාරණය ඉෂ්ඨ කරනවා කියලා. ඉතිං ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. මොකද මම කවදාවත් රඟපාපු කෙනෙක් නෙමෙයි. ඉතිං එහෙම නොකරපු ලොකු විශ්වාසයක් තියලා දුන්න එක ලොකු අභියෝගයක්. ඒ දේ ගෙන ලොකු සතුටක් තියෙනවා. ඒ නිසා ඒකට වරදක් කරන්න හිතන්නේ නැහැ.

මේ පළවෙනි නාට්‍යයද?

මෙහෙම රඟපාන පළවෙනි අවස්ථාව. මම මීට කලින් වෙළෙඳ දැන්වීම් වලට තමයි දායක වුණේ. ඉතිං ටෙලි නාට්‍යය කියන එකට ආවේ ‘ධරණි’ නිසා.

‘ධරණි’ නිසා සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළියට නිර්දේශ වෙලා තියෙනවා නේද?

හිතා ගන්න බැරි දෙයක්. අද වෙද්දී ජනප්‍රිය 10 දෙනා අතරට ඇවිත් තියෙනවා. මට තියෙන සතුට මේකෙන් ලබන ජයග්‍රහනය නෙමෙයි. මම මේ වෙනකොට ජයග්‍රහානය ලබලා කියලා හැඟීමක් තියෙනවා. ඒක ආඩම්බරයක් ලොකුකමක් නෙමෙයි. මාස 05ක් වගේ කාලයක් තුළදී සුමති සම්මාන උලෙලක් වගේ ලොකු සම්මාන උළෙලකටම මාව යෝජනා වීම ලොකු සතුටක්. මට ඒ සතුට තියෙනවා. ප්‍රවීණයන් ගණනාවක් එක්ක මගේ පින්තූරට දකින්න ලැබෙන එක සතුටක්. හේෂානි ලියදිපිට කියන නම එතන තියෙන එක ලොකු සතුටක්. ‘ධරණි’ වෙනුවෙන් මම සාධාරණයක් ඉෂ්ඨ කරා වෙන්න ඇති, ප්‍රේක්ෂයක් මාව විශ්වාස කරා වෙන්න ඇති. ඒ නිසා මට මේක ලැබුණා කියලා මම හිතනවා. මොකද මම තනියම ඉස්සුනා නෙමෙයි. මාව උස්සන් ඉන්න අත් ගොඩක් තියෙනවා.

‘ධරණි’ නිසා ලැබුණු දේවල් තියෙනවාද?

‘ධරණි’ නිසා මගේ ජීවිතයට ලැබුණු ප්‍රධානම දේ තමයි මම ඉවසන්න පුරුදු වුණු එක. මොකද මම සෑහෙන්න කේන්ති යන කෙනෙක්. ප්‍රශ්න වලදී මම මාවම ව්‍යාකූල කර ගන්න කෙනෙක්. හැබැයි මම හිතන්නේ අද වෙන කොට චරිතය මගේ ජීවිතය තුළට අරගෙන තියෙනවා. මම චරිතයත් එකම ජීවත් වෙලා තියෙනවා. මට මගේ දෙබසක්වත් නිකන් අත අරින්න බැහැ. ඒ තුළින් මගේ ජීවිතයට බලපෑමක් කරගෙන තියෙනවා. ඒක තමයි මට ලැබුණු ලොකුම දේ. ඊට අමතරව ලැබුණු දේ ජනප්‍රියත්වය. ප්‍රසිද්ධිය නෙමෙයි. ඒ ජනප්‍රියත්වය මට තියෙනවා. ධරණිට වැඩිපුරම ආදරය කරන්නේ පොඩි දරුවෝ. ඒ අයගේ ආදරය මට වැඩි වශයෙන් ලැබිලා තියෙනවා. ඒ තුලින් මට මානසික සතුටක් ලැබිලා තියෙනවා.

චරිතය අභියෝගක් වුණාද?

ගැහැණු ලමයෙක් අලුතින් ටෙලි නාට්‍යයකට එන කොට ඒ ගැණු ලමයා පෙම්වතියක් කියන චරිතයට කොටු වෙනවා. නැත්නම්, මවක් කියන තැනට වැටෙනවා. නමුත් මම ‘ධරණි’ හරහා දුවෙක්, පෙම්වතියක්, බිරිඳක්, අම්මා කෙනෙක්. දරුවො දෙන්නෙක් ලැබෙනවා. සැමියා නැතුව දරුවෝ දෙන්නා හදා ගන්නවා. මේ කියන චරිතය තුළින් කාන්තාවක් තමන්ගේ ජීවිතයේ ගෙවන්න පුළුවන් හොඳම අවස්ථාවන් සහ දුක්ඛිතම අවස්ථාවන් මේ හැමදේම මෙතනින් පිළිබිඹු වෙනවා. මට මේ චරිතය තුළින් ලැබෙන දේවල් අත්දැකීම් නෙමෙයි. මට ඒ පිළිබඳව කිසිම අත්දැකීමක් නැහැ. ඉතිං මං පුළුවන් තරම් දේවල් ඉගෙන ගත්තා. වීඩියෝස් බැලුවා. මගේ එක්පෙෂන් හදා ගන්න ඉගෙන ගත්තා. ඉතිං මේ දේවල් වලට අපේ ඩිරෙක්ටර් සර්ගෙන්, ශ්‍රීයන්ත අයියාගෙන්, නිදුක් අයියාගෙන්, ජානක සර්ගෙන් මේ දේවල් වලට සහයෝගයක් ලැබුණා. මාව නාට්‍යයට දාන කොටම මම දෙරණෙ ලක්සිරි සර් කිව්වේ, ‘පුතේ මේක මෙහෙම චරිතයක්, ඔයා ගන්නේ මේ වගේ අභියෝගයක්. මේ දේවල් බලන්න’ කියලා වීඩියෝස් පවා කිව්වා. ඒ අයගේ ලොකු සහයෝගයක් ඇතුව තමයි මම මේ දේවල් වලට ඇතුලු වෙන්නේ. ඒ අයගේ ලොකු දායකත්වයක් ඇතිව තමයි මේ දෙයට සාධාරණයක් කරන්නේ.

‘ධරණි’ කියන චරිතය සමාජ තුළින් දැකිය හැකි චරිතයක්ද?

‘ධරණි’ කියන චරිතය අනිවාර්යෙන්ම සමාජය තුළ ඉන්නවා. එක්කෙනෙක් නෙමෙයි. අපි නොදන්නවා වුණාට වැඩිපිරිසක් ඉන්නේ එහෙම. මට පෞද්ගලිකව කතා කරලා කියනවා, අක්කේ මගේ ජීවිතයෙත් මෙහෙමයි, මටත් මේ දේවල් වෙලා තියෙනවා. මගේ නෑනා මේ දේවල් මටත් කරලා තියෙනවා* මිනිස්සු ගොඩක් දෙනෙක් පෞද්ගලික අත්දැකීමක් කරන් තමයි මේ කතාව බලන්නේ.ගොඩක් අය මට මැසේජ් එවලා තියෙනවා. මම යූටියුබ් එකේ කමෙන්ට් කියවද්දිත් ඒ දේ දකිනවා. ඉතිං එහෙම අයට වැටෙන්න නැතුව අපිට දෙයක් කර ගන්න පුළුවන් කියන තැනට සංඥාවක් දෙන්න පුළුවන් නම් ‘ධරණි’ සාර්ථකයි කියලා මම හිතනවා.

 ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - OpenSky Photography

20210420Hot-3 20210420Hot-2 20210420Hot-1