කනා මුට්ටිය බිඳින තරගෙට හුඟාක් කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210413Hot-1තිසුරි යුවනිකා

හොඳ දේවල් අපි දෝතින්ම බදා ගන්නවා වගේම ජීවිතයට එන නරක දේවලටත් අපි සතුටින් මුහුණ දිය යුතුයි. ඒවාට මුහුණ දීලා මොන දේ වුණත් හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම්  ජීවිතය හරි සැහැල්ලු වේවි. ඒ වගේම අරුත් බර වේවි. මේ විදියට කියන ඇය ඔබට අමුත්තියක නොවෙයි. සම්මානනීය රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකා සමග ජීවිතයට සාපේක්ෂව අපි තවත් බොහෝ දේ කතා කළ පිළිසඳරකි මේ. 

• තිසුරි කොහොමද ජීවිතේ? 

ජීවිතේ වෙනදා වගේම සතුටින් ගෙවමින් ඉන්නවා. වෙනදා වගේම තමයි වෙනසක් නැහැ. 

• අද කොහොමද විවාහ ජීවිතය දැනෙන්නේ? 

ගොඩක් සතුටුයි. විවාහ වෙලා වසර තුනක් වෙනවා. මට හොඳ සැමියෙක් ලැබුණා. ඒක වාසනාවක්. එයාගෙන් සෑම දෙයකටම ලැබෙන සහාය ඉහළයි. විවාහ ජීවිතය අපි දෙන්නාගේ හරි සුන්දරයි. 

• වගකීම් වැඩි නැද්ද? 

වගකීම් කවදත් වැඩියි. ජීවත් වීමම වගකීමක්නේ. ඒත් ඔහුගෙන් ලැබෙන සහාය නිසා මට ජීවිතය පෙරට වඩා පහසු වුණා. එයා මා ගැන මගේ අම්මා තාත්තා ගැන, එයාගේ පවුලෙ උදවිය ගැනත්, සොයා බලන හරි ගුණවත් කෙනෙක්. 

• තිසුරි විවාහ වෙන්න ඉන්න අයට විශේෂයෙන් කිව යුතු දේ මොකක්ද? 

තමන්ට හොඳයි කියලා හිතට අවංකව දැනෙන කෙනා තෝරා ගන්න. සර්ව සම්පූර්ණ අය ලෝකයේ නැහැ. රණ්ඩු වුණත් අපට එයා ඕනෑමයි කියලා හිතෙනවා නම්, ඒක හොඳ බැඳීමක්. හොඳ මනුස්සයෙක් වෙන්න ඕනෑ. සල්ලි සහ පෙනුමට කැමති වෙන්න පුළුවන්. නමුත් හොඳ මනුස්සයෙක් නොවේ නම්? අන්න එතැනදී ප්‍රශ්න එනවා. ඒ නිසා ඔක්කෝටම වඩා මනුස්සකම තියෙන පොළවෙ පය ගහලා ඉන්න කෙනෙක් නම් ඒ තමයි හොඳම කෙනා. උගත් වෙන්නත් ඕනෑ. හෙට දින විවාහ අපේක්ෂිතව සිටින අයට මම දෙන උපදේශය එයයි. 

• ඔබ කිව්වනේ පුංචි පුංචි ගැටුම් කොයි බැඳීම්වලත් තියෙනවා  කියලා? ඒ මොන වගේ වෙලාවලදි ද? 

දෙකක හැදුණු දෙන්නෙක්, දෙවිදියකට ජීවත් වූ දෙන්නෙක්නේ එක වහලක් යටට එන්නේ. අන්න ඒ ගැලපීම් තෝරා ගන්න ඕනෑ. අපි දෙන්නට එවැනි ගැටුම් ඇති නොවුණේ කුඩා කාලයේ දී ඉඳලාම අපි දෙන්නාට දෙන්නා හොඳ යාළුවෝ විදියට හිටපු නිසයි. පුංචියට හරි තරහා ගියොත් මට තමයි තරහා යන්නේ. ඒකත් හරි මෝඩ දෙයක්. මටම ඒ වෙලාවට ලැජ්ජයි. ලොකු වලි ගැටුම් නැහැ. දන්නේ නැද්ද ඉතිං බොරුවට හරි ඔය පුංචි පුංචි දේ වෙනවනෙ. ඒවා මෝඩ වලි. 
දෙයියනේ කියලා අපි දෙන්නා මරාගෙන නැහැ. ගහගෙන නැහැ. අපි දෙන්නට දෙන්න එකිනෙකාගෙ හැඟීම් දන්නවා. අදහස් දන්නවා. 

• තිසුරිට කේන්ති ගියාම එයා කොහොමද හැසිරෙන්නේ?

මට පුංචියට හරි තරහා ගියොත් ඒක විවෘතව කතා කරනවා. ඉතිං ඔයාට ඇයි කේන්ති ගියේ? හරි මම ආයේ ඒ දේ නොකර ඉන්නම්කෝ කියලා ඒ අවස්ථාව හරියට බැලන්ස් කරනවා. ගොඩක් ආදරෙන් කියලා දෙනවා. තරහ වෙලා අපි දෙන්නා දවසක් ඉඳලා නැහැ. ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා නම් හිතේ තියන් ඉඳලා නැහැ. අපි දෙන්නට දෙන්නා කතා කරනවා. මම ඔයාගේ මේ දේට අකමැතියි. ඒ විදියට අපි විවෘතව කතා කරන්න ඕන. එයා කියන්නෙත් හිතේ තියාන ඉන්න එපා කියන්න කියලයි. එතකොට මට කියන්න දෙයක් නැහැ. මොකද මම බොරුවට තරහා අරන් තියෙන්නේ. ඒ නිසා මම ඕනෑම කෙනෙක්ට කියන්නේ ප්‍රශ්නයක් තිබේ නම් දෙන්නාට දෙන්නා කතා කරන්න හිතේ තියාන ඉන්න එපා. එතකොට ප්‍රශ්න අඩුයි. 

• තිසුරි ජීවිතය කියන එක දකින්නේ කොහොමද? 

ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක්. ලෙහෙසි නැහැ. ජීවත් වීම හරි අමාරු දෙයක්. ඇත්තටම ගලා යන ගඟක් වගේ තමයි. ‘සතුට අපි දෝතින් බදා ගන්නවා වගේ දුකටත් අපි මුහුණ දෙන්න ඕනෑ’ කියලා අපේ අම්මා මට කියලා දීලා තියෙන දෙයක්. මම බොහොම සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. ගෙදර වැඩිපුර කාලය ගත කරන්න කැමති කෙනෙක්. කොච්චර සරල වුණත් ප්‍රශ්න ඒවි. ඒවාට අපි ශක්තිමත්ව මුහුණ දෙන්න ඕනෑ. 

• ‘බිරිඳ’ කියන චරිතය මොන විදියට විය යුතුද? 

බිරිඳක් සීනි බෝල වෙලා බැහැ. අම්මා තාත්තා අස්සේ හිටපු කෙනා විය යුතු නැහැ. ජොබ් එකක් වගේ ගෙදර වැඩ බිරිඳගේ විතරක් වගකීමක් විය යුතු නැහැ. බැඳලා වැඩ කන්දරාවක් කළ යුතුම නැහැ. අද සමාජය වෙනස්. ගෙදර ලස්සනට තියා ගැනීම, ආහාර පාන ටික පිළියෙළ කර ගැනීම එයාගේ යුතුකමක්. 
ඉස්සර වගේ නොවෙයි. අද බොහෝ දෙනා රැකියා කරනවා. ඒක හොඳ දෙයක්. ඒත් මොන දේ කළත්, රටේ කොච්චර ජනප්‍රිය වුණත්. ගෙදර තමාගේ වගකීම් ඉටු කළ යුතුයි. වෙලාවට සැමියාට තේ එක හරි හදලා දීම යුතුකමක්. කොහොමටත් කාන්තාවකට වැඩ වැඩියි. ඒක ස්වභාවයෙන්ම ආ දෙයක්. අම්මා කියන්නෙ හරියට අහස වගේනේ. ඒ නිසා ජොබ් එකක් කරලා ගෙදර වැඩත් කරලා. ඇයට පවුල බැලන්ස් කර ගන්න පුළුවන් නම් ඒක ඉතා හොඳ දෙයක්. 

20210413Hot-2• තිසුරි උයනකොට සැමියත් උදව් කරනවද? 

එයා හරි ආසයි මට උදවු කරන්න. පොඩි දෙයක් හරි ගෙදර හදලා දෙනවා නම් එයා කැමැතියි. එයාට හරි පිළිවෙළට වැඩ කරන්න පුළුවනි. මම උයන කොට පොල් ටික ගාලා දෙන්න ද කියලා හරි අහනවා. එක්කෝ මා එක්ක කතා කර කර හරි ඉන්නවා. හරිම සහයෝගයක් එයාට තියෙන්නේ. 

• තිසුරි උයන කෑමවලින් එයා කැමතිම මොනවට ද? 

විශේෂයක් නැහැ. ඒත් විවිධ ස්ටයිල් එකට, නැත්නම් විවිධ කෑම ජාති හදන්න මම උත්සාහ ගන්නවා. ඉතින් ඒවා පිටින් නොකා මම හදලා දෙනවට එයා ආසයි. මට විවිධ විදියේ කෑම හදන්නත් පුළුවනි. 

• අවුරුද්දට මොනවද තිසුරි හදන කෑම. 

මේ සැරේ මම කොකිස් හදන්න ඕනෑ. අපේ අම්මා වගේම සුරාජ්ගෙ අම්මාත් කැවිලි හදලා අපට එවන නිසා අපි එකක් දෙකක් තමයි හදන්නේ. හැබැයි තනියම කැවිලි වර්ග හදලා නැහැ. අම්මාගේ අනුදැනුම යටතේ තමයි හදලා තියෙන්නේ? අපේ අම්මාට රසට කැවිලි හදන්න පුළුවන්. 

• අවුරුද්ද ඔබට දැනෙන්නේ කොහොමද? 

අප්‍රේල් කියන්නේ එක තැන ඉන්න බැරි කාලයක්. ගමේ දුවන්න ඕනෑ වත්තේ පිටිය ඇවිදින්න ඕනෑ. කුඩා කාලයේ දී මට අවුරුද්ද දැනුණේ ඒ විදියටයි. ඒක හරි සුන්දර කාලයක්. අපි නෑ ගෙවල්වල යනවා. යාළුවෝ හමු වෙනවා. ඔක්කෝමලා එකට එකතු වෙනවා. ප්‍රීතිමත් කාලයක්. අද කියලා ඒක වෙනසක් නැහැ. හරි සුන්දරයි. 

• අවුරුදු ක්‍රීඩා එහෙම කරලා තියෙනවද? 

අනන්තවත් කරලා තියෙනවා. 

• වැඩියෙන්ම කැමති ක්‍රීඩාව? 

කොට්ට පොර සහ බැලුම් පිපිරවීමට හැර, අනෙක් ඕනෑම තරගයකට අනිවාර්යයෙන්ම සහභාගි වන කෙනෙක්. මම ආසයි අවුරුදු ක්‍රීඩාවලට. කනා මුට්ටිය බිඳින්න හරිම ආසයි. පොඩ්ඩක් හොරෙන් බලලා හරි මුට්ටිය බිඳින්න කැමැතියි. ඒවා ඇත්තටම හරි සුන්දර ශ්‍රී ලාංකික අපටම ආවේණික වූ දේවල්නේ.

 

ඇඹිලිපිටියෙ ගෙවපු ‘අවුරුදු’කාලෙ හරි සුන්දරයි - ආශා එදිරිසිංහ

20210413Hot-3රූපය වගේම, ඇයගේ හඬ ද ලස්සනය. ඒ ලස්සන රූපය සහ හඬට එහා ගිය රංගනය ඊටත් වඩා ලස්සනය. ඒ හැඩකාර රංගන ශිල්පිනිය ‘ආශා එදිරිසිංහ’ය. පසුගිය දිනවල විකාශය වූ අමාලියා, ලංසුපතිනියෝ සමග අපූරු රංගනයක් ඉදිරිපත් කළ ඇය මේ දිනවල අපට හමුවන්නේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන ‘රෑනගල වලව්ව’ නාට්‍යයේනි. ඊට අමතරව මේ දිනවල රූගත කෙරෙන නිහඬ ගිර, උරුමය සහ තවත් නාට්‍යයක රංගනයේ යෙදෙන අතරේ ආශා සඳැල්ල කතාබහ හැඩ කළේ මෙලෙසිනි.

• ආශා කොහොමද අවුරුදු?

බොහොම සතුටින් අවුරුද්ද සමරන්න හිතාගෙන ඉන්නවා. මේ සැරේ බොහෝම විශේෂයි.

• මොකක්ද ඒ විශේෂත්වය?

මේ සැරේ මම අවුරුද්ද සමරන්නෙ ස්වර්ණවාහිනිය එක්ක එකතු වෙලා. ඒක මට විශේෂ දෙයක්.

• එතකොට ගෙදර අවුරුදු සමරන්නෙ නැද්ද?

මගේ තාත්තා නැති වුණේ 2015 දී. එද‌ා ඉඳලා ලොකුවට අවුරුදු සැමරුවේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට අවුරුදු දිනවල අම්මයි, මමයි ගෙදර හිටියෙ නැති තරම්. අපි විවිධ පළාත්වල සංචාරය කළා. මේ සැරේ විතරයි එය වෙනස් වෙන්නෙ.

• ආශා අවුරුද්ද ඔබට දැනෙන්නෙ කොහොමද?

මට පුංචි කාලයේ දැණුන විදියට තමයි අදටත් දැනෙන්නේ. විවිධ වෙනස්කම් තියෙනවා. එද‌ා ඉඳලා අද සැසඳුවාම. කොහොම වුණත් අවුරුද්ද කියන්නේ ‘සතුට’යි. පවුල එකතු වෙලා සතුට තමයි සමරන්නෙ. ඒක එකක්. ඒ වගේම අපේ සංස්කෘතිය ඉස්සරහට ගෙන යෑමට අලුත් පරම්පරාවට කියා දෙන සංස්කෘතික මංගල්‍යයක්. අවසානයේ ඒ හැමෝටම ‘සතුට’ හිතට දැනෙනවා නම් ඒ තමයි සැබෑම අවුරුද්ද. හැමද‌ාම සතුටින් ඉන්නවා නම් හැමද‌ාම අවුරුදු වගේ තමයි.

20210413Hot-4• ආශා හැමද‌ාම සතුටින්ද?

ඔව්. මම හැමද‌ාම සතුටින්. මනුෂ්‍යයකු විදියට මේ ලෝකෙට අපි ඉපදුණාට පස්සෙ ප්‍රශ්න ගොඩකට ඕනෑම කෙනෙක් මුහුණ දෙනවානෙ. ඉතින් ඒ ප්‍රශ්න නැති වෙන්නෙ නැහැ. ඒ නිසා තමුන් සොයා ගන්නට ඕනෑ තමුන් සතුටින් ඉන්න ඕනෑ කොහොමද කියලා. ඒක තමුන් සොයා යා යුතු දෙයක්.

• එතකොට ‘ආශා’ සතුට නිතරම තියාගන්න මොනවද කළේ?

මගේ හිත දිහා බලාගෙන ඉන්න එක. සෑම මොහොතකම හරි අමාරුයි ඒක. ඒත් කොච්චර අමාරු වුණත් පුළුවන් විදියට තමන්ගෙ හිත දිහා බලාගෙන හිටියොත්, තමුන් සතුටින් ද ඉන්නේ, දුකින්ද ඉන්නෙ කියලා තමුන්ටම බලාගන්න පුළුවන්. එහෙම බැලුවාම සතුට හොයා ගන්න එක අමාරු නැහැ.

• ආශා කුඩා කාලයේ දී සැමරූ හොඳම අවුරුද්ද ගැන මතකද?

පුංචි කාලයේ දී මට අවස්ථාවක් ලැබිලා තියෙනවා අවුරුදු පහක විතර කාලයක් ඇඹිලිපිටිය ගමේ ජීවත් වීමට. තාත්තාගෙ රැකියාව එක්ක ඒක වුණේ. එද‌ා එහි ගත කළ සෑම අවුරුද්දක්ම මට හරි විශේෂයි. ඒ ගමේ මිනිස්සු එක්ක එකතු වෙලා අවුරුදු ක්‍රීඩා, අවුරුදු කෑම ආදී ඒ සියලු දේ සැබෑ ලෙස වින්දනය කරන්න පුළුවන් වුණා.
 
• ඒ කාලයේ දී සිඟිති අවුරුදු කුමරියට එහෙම හිටියෙ නැද්ද?

ඉඳලා තියෙනවා. එතකොට මගේ වයස අවුරුදු 8ක් විතර ඇති.

• එද‌ා මොකද වුණේ?

මම දින්නා. නිල්පාට ඔටුන්නක් තමයි ලැබුණෙ.

• තාරුණ්‍යයට ආවාම අවුරුදු කුමරියට තරග කළේ නැද්ද?

කවද‌ාවත්ම තරග කළේ නැහැ. මට එහෙම අදහසක් ආවෙ නැහැ.

• ආශා ට හොඳටම හදන්න පුළුවන් අවුරුදු කෑම මොනවද?

අන්න එතැනදි නම් මම ටිකක් අමාරුවෙ වැටෙනවා. හැබැයි අම්මා එක්ක එකතුවෙලා නම් පුළුවනි. අම්මා එක්ක එකතු වෙලා නැතුව මට තනියම පුළුවන් කොකිස් හදන්න විතරයි. එක සැරයක් මුංකැවුම් හැදුවා.

• වෙනත් කෑම ජාති පුළුවන් ද?

තනියම හදන්න බැහැ. අම්මාට උදවු කරන එක තමයි කරන්නෙ.

• එකක් අහන්න අමතක වුණා. ආශා කැමැතිම අවුරුදු කැවිලි වර්ගය මොකක්ද?

මුං කැවුම්.

• එතකොට කැමැතිම අවුරුදු ක්‍රීඩාව?

කැට ගහන්න ආසයි.

• කැට ගහලා දිනපු ලොකුම මුදල?

වයස 12 සිට කැට ගැහුවා. එක වතාවක් රුපියල් 1000 ක් විතර දින්නා. ඒ කාලයේ හැටියට ඒක ලොකු මුදලක්.

• ඒ දිනපු මුදලට මොනවද කළේ?

කැටේට දැම්මා. තාත්තා මට කැටයක් අරන් දීලා තිබුණා.

• එකතු කරලා, එකතු කරලා, ඒ කැටයේ සල්ලි කොච්චර තිබුණ ද?

හරියටම මතක  නැහැ. නමුත් ලොකු මුදලක් තිබුණා. ඒක බැංකු ගිණුමකට දැම්මා.

• ආශා අවුරුද්දට වැඩියෙන්ම යන්න කැමැති කොහේද?

පොඩි කාලයේ දී නම් ගෙදරම ඉන්න තමයි කැමැති වුණේ. තාත්තයි, අයියයි, මමයි, අම්මයි ගෙදරම තමයි හිටියෙ. පිට තැන්වල ගියේ කලාතුරකින්. අවුරුදු සමරලා නෑ ගෙවල්වල ගියා. 2015න් පසුව ඒ තත්ත්වය වෙනස් වුණා.

• අයියා මොනවද කරන්නේ?

එයා ඉන්නෙ ස්වීඩනයෙ.

• ආශා ස්වීඩනයට ගිහින් තියෙනවද?

අපොයි ඔව්. හරිම ලස්සන රටක්.

• ආශා ආදරය විග්‍රහ කරන්නෙ කොහොමද?

සෑම මනුෂ්‍යයෙකුට විතරක් නෙවෙයි, සෑම සතෙකුටම ආදරය අවශ්‍යයි. ලෝකය පවතින්නෙ ආදරය එක්කයි. බැඳීම් සියල්ල ඇතිවෙන්නෙ ආදරය මතයි.

• ආශා ජීවිතේ වැඩිපුර කතා කරන්න කැමැතිම මාතෘකාව මොකක්ද?

මේ කාලයේ දී නම් මම වඩා කැමැති ජීවිතයේ සතුටින් ඉන්නෙ කොහොමද සහ ජීවිතේ සැනසීම හොයාගන්නෙ කොහොමද කියන එක ගැන කතා කරන්න. මොකද අපි හැමෝම ලොකු තරගයක යෙදී සිටින්නෙ. ඒ තරගය කවද‌ාහරි ඉවර වෙන දවසට මේ සැනසීම හොයලා වැඩක් නැහැ. අදම ඒ සැනසීම ලබාගන්න, විශේෂයෙන්ම තරුණ කාලයේ දී ජවය තියෙන කාලයේ දී ඒක හෙව්වේ නැත්නම් වයසට ගියාම අපි අසරණ වෙනවා. අවසාන වශයෙන් මිනිස්සු කවුරුත් ජීවිතයෙ හොයන්නෙ සැනසීමයි.

• මේ අවුරුද්දෙ ආශාගෙ ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

අපි හැමෝම ලෝක වසංගතයකට මුහුණ දීලා ඉන්නෙ. මේ ව්‍යසනය එක්ක ජීවිතය ඉස්සරහට ගෙනියන්නෙ කොහොමද කියන එක ගැන. අලුත් දේ සොයා ගන්නෙ කොහොමද කියන එක ගැන වගේම මේ වසංගතයට මුහුණ දීලා එයින් බේරිලා කොහොමද ජීවිතය ඉස්සරහට යා යුත්තේ කියලා තමයි මම සොයන්නෙ. ඒකට හේතුව පුද්ගලිකව අපි එහෙම හිතුවොත් විතරයි. අපිට මෙයින් ගොඩ එන්න පුළුවන් වෙන්නෙ. කොවිඩ් වසංගතය අලුත් විදියට හිතන්න අපට පුරුදු කළා. අලුත් විදියට හිතන අලුත් අවුරුද්දක් එක්ක ඉදිරියට යාම මගේ බලාපොරොත්තුවයි.

• අපේ ලාංකීය විදිහට ආශා වඩා කැමැති ඔසරිය අඳින්න ද? රෙදි හැට්ටය අඳින්න ද? ගවුම අඳින්න ද?

ඔසරියට බොහෝම කැමැතියි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
හැඩගැන්වීම – දර්ශන පෙරේරා
විලාසිතා - රුවනාරි සාරි

20210413Hot-5