පාර ‘ක්ලියර්’ නම් හැටට හැටේ යනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘රංගනය කියන්නේ හරි අපූරු කලාවක්. අපි ඒ කලාවට අවංක වෙන්න ඕනෑ. අපි කරන චරිතය සාර්ථක වෙන්නෙ එහෙම වුණොත් විතරයි. චරිතය අවංකව කළොත් ජනතා ප්‍රසාදයක් ලැබෙනවා.’’ මේ විදියට කියන්නෙ. මේ දිනවල විකාශය කෙරෙන මැටි කඩුළු නාට්‍යයේ රේඛානි ලෙසත්, බස් එකේ ඉස්කෝලේ වසුන්දරා සහ දාම් නාට්‍යයේ සමාධි ටීචර් ලෙසත් රඟපාන රංගි රාජපක්ෂය. බක්මහට ගැලපෙන විදියට හැඩ-වැඩ වී, ‘රංගි’ සැඳැල්ල කතා බහකට එක්වුණේ මේ විදියටයි. 

• රංගි විතරද නම?

මගේ නම ප්‍රභාෂිණි රංගිකා රාජපක්ෂ

• එතකොට ‘රංගි’ වුණෙත් කොහොමද? 

ගෙදර අය ඉස්සර ඉඳලාම කතා කළේ ඒ නමින්. එ්ක දිගටම රෙජිස්ටර් වුණා.

• කියමුකො රංගිගෙ ගෙදර විස්තර?

අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි. අක්කා විවාහවෙලා. අපි සාමාන්‍ය පවුලක්. තාත්තා මගේ නමින් ‘‘රංගිකා’’ ලර්නර්ස් කියලා ව්‍යාපාරයක් කරනවා

• රංගිට හොඳට වාහන පදවන්න පුළුවන්ද?

ඔව් හොඳට පුළුවන්.

• වැඩියෙන් පදවන්න ආසා?

මට තියෙන ටොයෝටා පැසෝ එක තමයි.

• රංගි ඉගෙන ගත්තෙ?

හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ.

• අරමුණ වුණේ?

‘‘නීති’’ අංශයට ආසා කළේ. ඒත් ඒකට අවස්ථාව නැතුව ගියේ අහම්බයෙන් වගේ කලාවට ආ නිසයි.

• කලාවට ආ ඒ අහම්බය ගැන කියමු.

අපේ ගෙවල් අසල සැලෝන් එකක් තියෙනවා. ඒ සැලෝන් එකට බ්‍රයිඩ්ල් මොඩ්ල් කෙනෙක් ලෙස වැඩ කළා. ඒ එක්කම දැන්වීම්වලට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. මේ අවස්ථා ලැබුණේ රොසැන් ඩයස් මහත්මිය සහ බ්‍රයන් කර්කෝවන් මහතා නිසයි. දැන්වීම් තිහකට වඩා කරලා තියෙනවා. මුලින්ම නාලන් මෙන්ඩිස් මහත්තයාගෙ ‘‘සල් සපු නා’’ නාට්‍යයේ රඟපාන්න ලැබුණෙ වෙළෙඳ දැන්වීමක් නිසයි. පසුව දෙරණ ටී.වී. එකේ තුෂාර තෙන්නකෝන් කළ රාවණ නාට්‍යයේ රඟපාන්න ලැබුණා. ඒක මම හරි ආසාවෙන් කළ චරිතයක්. ඒක මගේ රංගන ගමනේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් හරි.

• අද වෘත්තීය නිළියක්ද?

ඔව්. වෘත්තීය රංගන ශිල්පිනියක්

• අද රංගිව දැකගන්න පුළුවන්?

රූපවාහිනියේ ‘‘මැටි කවුළු’’ යනවා. ඒක අධ්‍යක්ෂණය කළේ නිමල් රත්නායක. ස්වර්ණවාහිනියේ රසංග පෙරේරා අධ්‍යක්ෂණය කළ බස් එකේ ඉස්කෝලේ විකාශය වෙනවා. ධනුෂ්ක රත්නායක අයියගේ ‘‘දාම්’’ සිරසෙ විකාශය වෙනවා.

• මෙයින් වඩාත් ප්‍රතිචාර ලැබෙන්නෙ?

මේ චරිත තුනටම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මැටි කවුළු එකේ රේඛානි, බස් එකේ ඉස්කෝලේ වසුන්දරා, දාම් එකේ සමාධි ටීචර්.

• මේ චරිත අතරින් වඩා ඔබට සමීප චරිතය?

මෙතෙක් කළ චරිත අතරින් මම අදටත් ආසා කරන්නෙ ‘‘රාවණා’’ නාට්‍යයේ රඟපෑ චරිතයට.

• සැබෑවට රංගි මොන වගේද?

මම බොහොම සාමාන්‍ය කෙනෙක්. හැමෝටම උදවු කරගෙන ඉන්න කෙනෙක්. ඉක්මනට හිත උණු වෙන, අනුන්ගෙ දුක දැනෙන චරිතයක්.

• නීති වැඩේට මොකද වෙන්නෙ?

දැන් මේ රංගනය එක්ක ඒක කරන්න අමාරුයි. චරිත ගොඩක් බදාගෙන කරන්නත් බැහැ. කරන චරිතයට උපරිම කැපවීම මගේ අරමුණයි.

• රංගිගෙ ප්‍රේමය මොන වගේද?

ඒක ඉතින් සුන්දරව ගලාගෙන යනවා.

• කොහොමද ප්‍රේමය සුන්දර කර ගත්තෙ?

වෘත්තිය ගැන තියෙන අවබෝධය නිසා. දැන්නම් ‘‘ආදරය’’ කියන එක හරි අමාරු දෙයක්. තේරුම් ගැනීම නිසා ලස්සනට ආදරය ගලා යනවා.

• ආදරය ඔබ හිතන විදිහට මොකක්ද?

එකිනෙකා අතර තියෙන අවබෝධය සහ තේරුම් ගැනීමටයි. එහෙම වුණහම හරිම සුන්දරයි. ආදරය විඳින්න තේරුම් ගැනීම අත්‍යාවශ්‍යයි.

• සිංහල අවුරුදු එනකොට කොහොමද ලැහැස්ති වෙන්නෙ?

මේ පාර කොවිඩ් නිසා ඒකත් අසීරු වෙලා. පොඩි කාලයේදී නම් හරියට ආසා කළා. අම්මලා කෑම හදනවා. තාත්තා ඔංචිලි හදලා දෙනවා. අපි කැට ගහනවා. ඒ කාලය හරිම ලස්සනයි.

• ගෙවී ගිය අමතකම නොවන අවුරුදු මතකය මොකද්ද?

කුඩා කාලයේ ගෙවූ අවුරුදු කාලය හරිම ලස්සනට අපි වින්දා. අද ඒ ස්වභාවය නැහැ.

• අවුරුදු කැවිලි හදන්න පුළුවන්ද?

කොකිස් හදනවා. කොණ්ඩ කැවුමේ කොණ්ඩය ගන්න නම් මට ටිකක් අමාරුයි.

• කැමතිම අවුරුදු කෑම?

කොණ්ඩ කැවුම්වලට. 

• රංගිට රසටම හදන්න පුළුවන්?

මගේ කෑම රසයි කියලා ගෙදර අය කියනවා. අපේ ගැමි කෑම වගේම චයිනීස් වර්ගයේ කෑමත් පුළුවනි. එක එක වට්ටෝරු අත්හදා බලනවා.

• අවුරුදු කාලයේ ගිය හොඳම සංචාරය මතකද?

අපට නෑදෑයින් ගොඩක් ඉන්නවා. අප්‍රේල් 13 පටන් ගත්තාම 20 විතර දක්වා එක දිගට නෑ ගෙවල්වලට යනවා. ඒක හරිම සුන්දරයි.

• රංගිට හොඳ හඬක් තියෙනවා කියලා කියනවා නේද?

මම ටී.වී. ප්‍රෝග්‍රෑම්වලට යන්නෙත් නැත්තෙ සිංදු කියන්න බැරි නිසයි. මගේ හඬ ලස්සන නැහැ.

• වැඩියෙන්ම ගැලපෙන විලාසිතාව මොකක් කියලද හිතන්නෙ?

දිග ගවුමට වඩා ආසයි.

• කැමතිම පාට?

නිල් පාටට ආසයි. ඒත් මම වැඩියෙන් ගන්නෙ සුදු පාට ඒවා.

• වාහනය පදවාගෙන වැඩියෙන්ම දුර ගියේ කොහේද?

අනුරාධපුර, ගාල්ල, මාතර වගේ යනවා. මට බය නැහැ. මට වාහනයත් ෂුවර්. මාවත් ෂුවර්.

• හැටට හැටේද යන්නෙ? නැත්නම් එකසිය විස්සටද යන්නෙ?

යන්න පුළුවන් තැන්වල වේගයෙන් යනවා.

• ආසම වාහනය?

ජීප්වලට ආසයි. ඕනෑම තැනක යන්න පුළුවන්නෙ.

• රංගිගෙ ප්‍රේක්ෂකයින්ට දෙන අවුරුදු පණිවුඩය මොකක්ද?

කාටවත් හිත් රිදවීමක් නොකර, ජීවත් වෙන්න. හරි විදිහට ජීවත් වෙන්න. ස්වභාවධර්මයට අනුව ජීවත් වෙන්න. පරිස්සමින් රථය පදවන්න.

• අවුරුදු ක්‍රීඩා අතරින් වඩා කැමති?

සල්ලිවලට නැතත් කැට ගහන්න ආසයි. අලියට ඇහැ තියන්න, කණාට කිරි කවන්න ආසයි.

• රංගි දායක වූ ඉදිරියේදී විකාශයට නියමිත නිර්මාණ ගැනත් කියමු.

එන්කවුන්ටර් සහ රකුන්ගිර ළඟදීම විකාශය වේවි. ඊට අමතරව මේ දිනවල නාට්‍ය හතරක රූගත කිරීම්වලට දායක වෙනවා. සුරාජ් මාපා අයියා අධ්‍යක්ෂණය කරන නාට්‍යයකත් රඟපානවා.

විලාසිතා නිර්මාණය – රුවන් චාමර
හැඩගැන්වීම් - කණිෂ්කා මධුශානි (Salon Dreams)
පසුතලය – Furniture Warehouse

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20210414Hot (1) 20210414Hot (2) 20210414Hot (3)