කිරුළක් දරන්න කායිකව සහ මානසිකව ශක්තිමත් වෙන්න ඕනේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2021 වසරේ හිරු අවුරුදු කුමරිය ලෙසින් අභිසෙස් ලැබුවේ සිතුමිණි ප්‍රනාන්දුයි. ඇය නිරූපණ ක්ෂේත්‍රයේ සිටින නවක ශිල්පිනියක්. ඒ වගේම සිතුමිණි ඉදිරියේදී ගුවන් සේවිකාවක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉතින් ඒ ජයග්‍රහණය ගැන කතා කරන්න අපි සිතුමිණීව සාරවිට කතාබහකට සම්බන්ධ කරගත්තා.

සිතුමිණි, මුලින්ම ලැබුණු ජයග්‍රහණය ගැන කියමු?

ඇත්තටම ගොඩක් සතුටුයි. මේ ජයග්‍රහණය ලබන්න ඇත්තටම ගොඩක් ලොකු කැපකීරීමක් කළා. හිරු නාලිකාවේ අවුරුදු කුමරිය වීම ලොකු ආඩම්බරයක්. මම දන්න විදිහට හැම වතාවකම හොඳම අවුරුදු කුමරිය තෝරන්නේ හිරු එකෙන්. ලොකු අධිෂ්ඨානයක්, බලාපොරොත්තුවක් තිබුණා මට කිරුළ හිමි කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් තරඟාවලියේදී ලොකු තරඟකාරිත්වයක් තිබුණා. හැමෝම දක්ෂයි. මාස ගාණක් පුහුණුවීම් කළා.

සිතුමිණි නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ?

මුලින්ම කියන්න ඕනේ මේක තමයි මගේ මුල්ම ජයග්‍රහණය. ඊට කලින් මම ෆීල්ඩ් එකේ ෆ්‍රීලාන්ස් නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කළා. ඒත් ලොකුවට සම්බන්ධ වුණේ නැහැ. මම හිතනවා මෙතනින් ඉස්සරහට මම ඊට වඩා නිර්මාණවලට දායක වෙයි කියලා.

ජයග්‍රහණයෙන් පසුව රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?

ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම රංගනයටත් එකතු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. හොඳ නිර්මාණ තෝරාගෙන, හොඳ කෙනෙක් විදිහට ෆීල්ඩ් එකේ ලොකු ගමනක් යන්න තමයි බලාපොරොත්තුව.

නිරූපණයට ඇවිත් කොපමණ කාලයක්ද?

දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. මම වැඩියෙන්ම මූලිකත්වය දුන්නේ වෙළඳ දැන්වීම්වලට. මගේ ජනප්‍රියම වුණේ කෝමාරිකා වෙළඳ දැන්වීම. ඒකෙන් පස්සේ ගොඩක් අය මාව හඳුනාගත්තා. ඊටපස්සේ මට දිගටම වෙළඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. දැනට මම වෙළඳ දැන්වීම් 24ක් විතර කරලා තියෙනවා.

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබිලා නැද්ද?

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. ඒත් මම සම්බන්ධ වුණේ නැහැ. මොකද මගේ හීනයක් තිබුණා කිරුළක් අරගෙන, වටිනාකමක් එක්ක රංගනයට එකතු වෙන්න. දැන් මම ඒ වටිනාකම දිනාගෙන ඉවරයි. මම පහුගිය අවුරුදු දෙක තුළම කිරුළක් දිනාගන්න අවශ්‍ය කැපවීම හදාගත්තා.

කිරුළක් ලැබෙන එක ලොකු වගකීමක්. එයට ඔබ සූදානම් වුණේ කොහොමද?

ඇත්තටම කිරුළක් දරන්න කෙනෙකුට වටිනාකමක් තිබෙන්න ඕනේ. පොඩි කාලේ ඉඳලාම හීනයක් තිබුණා කිරුළක් හිස දරන්න ඕනේ කියලා. මම මාවම මේන්ටේන් කළා ඒ වෙනුවෙන්. මම කනබොන විදිහේ ඉඳලා, තැනකට ගිහිල්ලා කොහොමද හැසිරෙන්නේ කියන තැන ඉඳලා මම මාව මේන්ටේන් කළා. කිරුළක් දරන්න ඇත්තටම මානසිකව, කායිකව ශක්තිමත් වෙන්න ඕනේ. අනෙත් අය සමග තරඟයක් තිබුණාට ඔවුන් සමග තරහක්, වෛරයක් තියාගන්න හොඳ නැහැ. තමන්ගේ වටිනාකම තමන් හදාගන්න ඕනේ. ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය, දක්ෂතාවය, පෞර්ශත්වය තියෙන්න ඕනේ කිරුළක් දරන්න.

තරඟාවලියේදී ලැබුණු බාධක සහ අභියෝග ගැන කතා කරමු?

ලැබුණු ලොකුම අභියෝගය තමයි අඩුම කාලයකින් පුහුණුවීම් කරන්නේ කියන එක. ඒ වගේම පුහුණුකිරීම් අතරතුර අපි අනෙක් දේවල් කරගන්න ඕනේ. අපි හැමදාටම ලොකු ශක්තියක් වුණා ගයාන් ශ්‍රීමාල් සර්. එකට කලින් දවසේ රෑ මට හොඳටම ඇඬුනා. ඒ වෙලාවේ ලොකු පීඩනයක් ආවා. මොකද මාස ගාණක් මහන්සි වෙලා, කැපකිරීම් කරලා අවසන් මොහොතේ මොකක්හරි දෙයක් වෙයිද කියලා. ඒක මට පාලනය කරගන්න බැරි වුණා. මගේ අම්මා, අක්කා, ලොකු අම්මා තමයි මාව හැමවෙලාවේම ශක්තිමත් කළේ. ඒ වගේම ෆයිනල් එකට කලින් දවසේ රෑම අම්මාගේ කකුළ විෂබීජයක් ගිහිල්ලා හොස්පිට්ල් ඇඩ්මිට් කළා. එතකොට මාව මාර විදිහට කඩාගෙන වැටුණා. මොකද අම්මා තමයි මට ලොකු ශක්තියක් වුණේ. මට අම්මාව ඕනේම වෙලාවේදී එයා හොස්පිට්ල් එකේ. කොහොමහරි මම ඒ අභියෝගයට මුහුණ දුන්නා. ඒක තමයි මට තරඟාවලියේදී ලැබුණු ලොකුම අභියෝගය. අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි මම කිරුළ දිනන එක. අවසානයේදී මම ඒක ජයග්‍රහණය කළා.

ඔබ මෙවැනි තරඟයකට සම්බන්ධ වුණු පලමු වතාවද?

වෙනත් නාලිකාවක තරඟයකට සහභාගී වුණා. ඒත් ජයග්‍රහණය කරන්න ලැබුණේ නැහැ. මම පැජන්ට්වලටත් සහභාගී වෙලා නැහැ.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මම දැනට ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරන්න පුහුණු කාලසීමාවේ ඉන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ cabin crew කෙනෙක් විදිහට තමයි වෘත්තීය ජීවිතය පටන් ගන්නේ. ඒ එක්කම කලා කටයුතුවලටත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

වි‍ශේෂයෙන් මතක් කළ යුතු අය කවුද?

මුලින්ම මගේ අම්මා, තාත්තා, නිලූ ලොකු අම්මා, ලෂිණි අක්කා ඇතුළු මගේ පවුලේ අය. එතකොට නිමේෂ් ෂෙහාන්. එයා තමයි පලමු වටයේ ඉඳලා මගේ ඇඳුම් නිර්මාණය කළේ. එයා මගේ ඇඳුම් ටික හදලා මීරිගම ඉඳලා කොට්ටාවට එනවා. එතකොට තනූජ ධනංජය. එයා තමයි මට මුලින්ම කිව්වේ හිරු අවුරුදු කුමරියට තරඟ කරන්න කියලා. ඒ වගේම එයත් මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. එතකොට, දෙනෙත් මල්ලි, ගයාන් ශ්‍රීමාල් සර්, චතුර සහ හිරු ටී.වී කණ්ඩායම ඇතුළු හැමෝටම මම ස්තූතියි කරනවා.

කැළුම් දේවින්ද

20210417Sithumini (15) 20210417Sithumini (14) 20210417Sithumini (13) 20210417Sithumini (12) 20210417Sithumini (11) 20210417Sithumini (10) 20210417Sithumini (9) 20210417Sithumini (8) 20210417Sithumini (7) 20210417Sithumini (6) 20210417Sithumini (5) 20210417Sithumini (4) 20210417Sithumini (3) 20210417Sithumini (2) 20210417Sithumini (1)