තමුන් කැමති රැකියාවක් කරන්න ලොකු පිනක් තියෙන්න ඕනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරන්තරයෙන්ම ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනාගන්නා රංගන ශිල්පිනියක් බවට වර්තමානයේ පත්ව ඇති හිරුණි රණසිංහ සමග අපි මෙවර කතා බහා කළේමු. මේ වනවිට විකාශය වෙන ජනප්‍රිය ටෙලි නාට්‍යය  කිහිපයකම දකින හිරුණි ඉදිරියේදී තවත් කලා නිර්මාණ බොහෝමයක් තුළින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණිමටද සූදානමින් සිටියි.

හිරුණි කියන්නේ මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පිනියක් නේද?

මම දන්නේ නැහැ මම ජනප්‍රියයිද නැද්ද කියලා. නමුත්, ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක බැලුවොත් මම හිතනවා මම ජනප්‍රිය ඇති කියලා. ගොඩ දෙනෙක් මාව මේ දිනවල දන්නේ ජාතික රුපවාහිනියේ විකාශය වෙන ‘නැනලා’ ටෙලි නාට්‍යයේ ‘සුබානි’ කියන චරිතය හරහා. ගැබිණියක් වුණ තරුණියක්.. ‘හැටේ වත්තේ’ කෙල්ලෙක්.. හරිම අමුතු විදිහට ගැළපෙන හා ගලපගන්න පුළුවන් චරිතයක් තමයි ‘සුබානි’ කියන්නේ.

මේ දිනවල ප්‍රේෂකයෝ ඔබ ගැන කතා කරන්නේ මොන චරිතය හරහාද?

‘නැනලා’ ටෙලි නාට්‍යයේ ‘සුබානි’ වගේම ‘අහස් මාලිගා’ ටෙලි නාට්‍යයේ ‘අමාලි’, ඊට අමතරව ‘පුලිඟු’ ටෙලි නාට්‍යයේ ‘ශාලිකා’. එකේ වෙනස්ම විදිහේ චරිතයක් මම කරන්නේ. ‘අග්නි පියාපත්’ හි ‘නිමාලි’. තවත් මේ දිනවල මාව දකින්න පුළුවන් චරිතයක්. කියන්න සතුටුයි මේ හැම චරිතයක්ම අද වෙන කොට ප්‍රේක්ෂකයෝ කතා කරන චරිත බවට පත්වෙලා තියෙනවා.  

කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් ඔබ කාලයක් වෙනවා. රංගන ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රය තුළ ඔබ යම් තැනක සිටිනවාද?

මනුස්සයෙක් තමන් කැමති රැකියාවක් කරන්න ලොකු පිනක් කරලා තියෙන්නේ ඕනා. තමන් කැමති මිනිස්සු පිරිසක් එක්ක තමන් කැමති රැකියාවක් කිරිමේ භාග්‍යය මට හම්බ වෙලා තියෙනවා. මට ඒක හරි සතුටුයි. මම ස්තුති කරනවා දෙවියන් වහන්සේට. රංගන ශිල්පිනියක් විදිහට මට පොඩි දේකින් හරි උදව් කළ පිරිසක් ඉන්නවා. ඒ හැමෝම මේ මොහොතේදි මතක් කරන්න ඕනා. අද මම මේ කලා ක්ෂේත්‍රය තුළ යම් තැනක සිටිනවා නම් ඒ තැනට එන්න මේ හැමෝම මට උදව් කළා කියලා මම කියන්න ඕනා.

කලාවට සම්බන්ධ වෙන හිනයක් ඔබට තිබුණද?

අනේ මන්දා. පොඩි කළේ ඉඳලා මම බැලුවේ ලොකු ලොකු දේවල් කරන්න. පෙර පාසල් අවදියේ ඉන්නකොට නත්තල් මාසයේ ඉදිරිපත් කරන නාට්‍යයේ මරියා තුමියගේ චරිතය ඉල්ලලා මම අඬලා තියෙනවා. අඬලා කොහොම හරි ඉල්ලගෙන මම රඟපාලාත් තියෙනවා. රූපවාහිනියේ මම ආස කරන නළුවෙක් හෝ නිළියක් දැක්කාම ඉතින් මට ගොඩක් ආසයි. අනේ මටත් මේ අය වගේ රඟපාන්න තිබුණා නම් කියලා. ඒ වගේම කවද්ද මම රංගනයට එන්නේ කිය කිය ඇඟිලි ගැන ගැන හිටියේ. කවද්ද මම ආස කරන මේ අයත් එක්ක රඟපාන්නේ කියන ආසාව මා තුළ තිබුණා. ඒ ආසාව අද වෙන කොට මට ඕනාවටත් වඩා වැඩිපුර ලැබිලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ඉන්න දක්ෂතම ප්‍රවිණ රංගන ශිල්පිනියෝ එක්ක මට රඟපාන්න අවස්ථාව අද වෙන කොට ලැබිලා තියෙනවා. ඒ මගේ හීනේ හින්දා කියලා මම හිතන්නේ.

රංගන ශිල්පිනියන් මුදලට විකිණෙනවා කියන කතාව ඇත්තද?

රංගන ශිල්පිනියක් කිව්වොත් ගොඩක් හරි ආසයි පිරිමි. ඇත්ත කතාව ඕකනේ ඉතින්. මිනිස්සු ගැහැණියක් දිහා සුන්දර විදිහට බැලුවොතින් ඒ ගැණි හරි සුන්දරයි. මිනිස්සු ගැහැණියක් දිහා ‘අයිටම්’ එකක් විදිහට බැලුවොත් ඒ ගැණි ‘අයිටම්’ එකක්. ඒක මටත් එකයි ලංකාවේ ඉන්න ගමේ ගැණු ළමයාටත් එකයි. මම හිතනවා ඔය ගණිකාව කියන වර්ගිකරණයේ නිළියක් ගණිකාවක් වෙලා නෙමෙයි ගණිකාවක් නිළියක් වෙලා කිව්වොත් හරි. මම ආවේ මේ කලා ක්ෂේත්‍රයට ආවේ මගේ තිබුණ හීනේ නිසා. ඒත්, සමහර අය පොඩි චරිතයක් ඉල්ලගෙන එනවා මා ගාවට. මොකද මට නිෂ්පාදන ආයතනයක් තියෙනවා. මේ කියන්නේ මගේ අත්දැකිමෙන්. බලාගෙන යන කොට මේ අය මේ පොඩි චරිත ඉල්ලගෙන එන්නේ රඟපාන්න ආසාවට නෙමෙයි. තමන්ගේ නම හදාගන්න මම රංගන ශිල්පිනියක් කියලා. එහෙම රංගන ශිල්පිනියක් කියලා ඒ අය අන් අයට පෙන්නලා කරන්නේ ඔය කියන දේ තමයි.

ඔබටත් ඔය කියන යෝජනා චෝදනා තියෙනවාද?

මමත් මුණක් කටක් ඇස් දෙකක් තියෙන ගැණු කෙනෙක්. එතකොට මම රංගන ශිල්පිනියක්. හිතනවාද මට ඔය චෝදනා කෙසේ වෙතත්, යෝජනා එන්නේ නැතිවෙයි කියලා. මටත් අනන්තවත් ආවා. ඒ වුණාට මම දැනගන්න ඕනා මම කාලයක් මේ ක්ෂේත්‍රය තුළ ඉන්න නම් මගේ ගෞරවය රැකගත යුතුයි. රුපය හැමදාම තියෙන්නේ නැහැනේ අවුරුදු 30 35 වෙද්දි නැතිවෙලා යනවා. කවුරුත් හැරිලා බලන්නේ වත් නැතිවෙයි අන්න අර නිළිය ඉන්නවා කියලා. ඒ නිසා අපි දැනගන්න ඕනා මේ ක්ෂේත්‍රය තුළ හැසිරිය යුත්තේ කොහොමද කියලා දැනගෙන කටයුතු කරන්න.

කල ක්ෂේත්‍රය තුළ හිරුණිට වටිනාකමක් අද වනවිට ගොඩ නැගිලා තියෙනවාද?

ඇත්තටම කියන්න සතුටුයි. මුල් කාලයේ අපිට තිබුණ වටිනාකමට වඩා අද මට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ගොඩක් වැඩවලට මට කතා කරනවා. මුල් කාලයේ ගොඩක් අපි මේ ක්ෂේත්‍රය වැඩ කරද්දි ලොකු කට්ටක් කැවා. නමුත්, දැන් එහෙම නැහැ. අද වෙන කොට මට හිතෙනවා මට ලොකු වටිනාකමක් ගොඩ නැගිලා තියෙනවා කියලා.

සටහන හා ඡායාරූප - බුද්ධික සේනාධිර

20210412Hiruni (1) 20210412Hiruni (2) 20210412Hiruni (3) 20210412Hiruni (4)