තාත්තට බය නිසා ප්‍රේම වන්තියක් වුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනාට ඇය අමුත්තියක නොවෙයි. දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ නිරූපණ ක්ෂේත්‍රයේ නියැලී සිටින ශිල්පිනියකි. වෙළෙඳ දැන්වීම් හා මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස නමක් දිනූ ඇය, ‘‘වල්මත් වූවන්’’ ඇතුළු ටෙලිනාට්‍ය තුනකට පමණ රංගනයෙන් දායක වූ අතර, සිනමාවට ඇය ප්‍රවේශ වී සිටින්නේ, මිෂෙල් ෆොන්සේකාගේ ‘‘නිම් හිම්’’ චිත්‍රපටය සමගය. ශ්‍රී ලංකා විවාහක රූ රැජින නියෝජනය කරමින් ජයග්‍රහණ ලැබූ නිලුෂා ප්‍රනාන්දු වන ඇය සමග සඳැල්ල කළ කතාබහකි මේ.

• නිලුෂා ගම එහෙම කොහෙද?

උපන්නෙත්, දැනට පදිංචියත් පැලවත්තෙ.

• පාසල් ගියේ?

පාසල් කීපයකටම ගියා.

• ඇයි නිරූපණය තෝරා ගත්තේ?

මගේ ඔලුවෙ නිතරම වැඩ කළේ නිරූපණයට එන්න ඕනෑය කියන එකයි. අනෙක් හැමෝම ඩොක්ටර්ස්ලා, ඉංජිනේරු, ලෝයර්ස්ලා වෙන්න උනන්දු වෙද්දී මගෙ හිත ගිහින් තිබුණේ නිරූපණයටයි. ඒ කාලයේ සමාජ මාධ්‍ය කිසිවක් නැහැ. හැබැයි පත්තරවල සහ මැගසින්වල ඡායාරූපවලට එහෙම පෙනී සිටියා. ඒ කාලයේදී ලංකාවේ මම දැකපු හොඳම නිරූපිකාවක් තමයි ‘‘මිෂෙල් රයිමස්’’ එයාගෙ තියෙන ශෛලිය අපටත් ජාත්‍යන්තර මට්ටමින් මේ ක්ෂේත්‍රයේ යමක් කරන්න පුළුවන් වේවි කියන අරමුණ ඇතිව නිරූපණයට ආවා.

• නිලුෂා මොන වගේ පවුලක කෙනෙක්ද?

මගේ තාත්තා යුද හමුදාවේ උසස් නිලයක් දැරූ කෙනෙක්. දැන් විශ්‍රාමිකයි. අම්මා ගෘහණියක්. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. මම බාලයා. මුලදී මට මේ විදියේ ගමනක් එන්න තාත්තා ඉඩ දුන්නෙම නැහැ. අපිත් තාත්තාට හරි බයයි. ගෙදර හොඳ විනයක් තිබුණා. නිතරම හොඳම දේ අපට ඉගැන්නුවේ.

• අද නිලුෂගෙ ප්‍රධාන වෘත්තිය?

තවමත් මම වෘත්තීය නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම ඉස්සරහට එමින් සිටින ටෙලිනාට්‍ය ශිල්පිනියක් කිව්වොත් හරි. ඊට අමතරව මගේ ‘‘නිලූෂා’’ කියන නමේ අන්තිම අකුර එනම් ‘‘ෂා’’ එක අරගෙන ‘‘Sha ෂා’’ නමින් විලාසිතා බ්‍රෑන්ඩ් එකක් ඔන්ලයින් හරහා කරගෙන යනවා. එය මගේම විලාසිතා ‘‘බ්‍රෑන්ඩ්’’ එකක් කිව්වොත් හරි. කාන්තා සපත්තු, ඇඳුම් බෑග් ඇතුළු විලාසිතා සියල්ල ඊට ඇතුළත්. ඊටත් අමතරව මගේ නමින් ‘‘ආහාර’’ (කෑම) බිස්නස් එකකුත් (ෂා Sha) කරගෙන යනවා. ඒකටත් හොඳ ඉල්ලුමක් තියෙන්නේ.

• නිලුෂාගෙ විවාහ ජීවිතය ගැන කිව්වොත්?

මම ඉතාම සාමකාමී හොඳ පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්. අපි හරි ආදරයෙන්, ආරක්ෂාවෙන් බැඳිලා ඉන්න පවුලක්. මට පුතෙක් ඉන්නවා. සැමියා මට හමුවුණේ මේ ක්ෂේත්‍රයට ආ මුල් කාලයේදීමයි. බොහෝ දෙනෙක් මගෙන් ආදරය ඉල්ලලා තිබුණත්, තාත්තාට තිබුණු බය නිසා ආදරය කළේ නැහැ. මාව හොඳට බලාගෙන, මගේ ගමන ගැන අවබෝධයක් ඇති කෙනෙක් කෙලින්ම ඇවිත් ගෙදරින් ඇහුවොත් මම කැමති වෙනවා කියලා හිතුවා. එයාට කෙලින්ම ඇවිත් අපේ ගෙදරින් අහන්න තරම් හොඳ පෞරුෂයක් තිබුණා. ඒ විදියට මගෙන් ආදරය අහලා, කෙලින්ම ගෙදරට ඇවිත් එයා ඇහුවා. ගෙදරින් අවසර ලැබුණාම අපි සම්බන්ධය පටන් ගත්තා. නිරූපණ ක්ෂේත්‍රයට යන්නවත් මට ගෙදරින් අවසර නැති කාලයක, අපේ තාත්තාගේත් හිත දිනාගෙන, මාව රැකබලාගෙන ක්ෂේත්‍රයේ ඉදිරියට මාව අරන් ගියේ එයා. ඒ නිසා තමයි මට වෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ.

• ‘‘නිලුෂා’’ රූ රැජින තරගවලට ගිය හැටිත් කියමු?

සිංගප්පූරුවෙ පැවැත්වූ ලෝක සාම රූ රැජින තරගය නියෝජනය කළා. 2019 ලෝ චිං වොන්ග් හරහා ලෝක සුපර් මොඩල් තරගයට ගියා. එහිදී අංශ දෙකකින් ජයග්‍රහණ ලැබුවා. රටවල් 25කින් මට ලැබුණු ප්‍රතිචාර ඉහළයි. ඒ ඉසව්ව ඉවර වෙලා ලංකාවට ඇවිත් දින දෙකකට පසුව මෙම සාම රූ රැජින තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනයට අවස්ථාව ලැබුණා. ලෝක සුපර් මොඩල් තරගයට ගියෙත් මගේ වියදමින්. පසුව ඒ ආ සැණින් 2019 දී මෙම සාම රූ රැජින තරගයට යෑමට ඇරයුම් ලැබුණත්, අනුග්‍රාහකයින් නොමැතිවීම නිසා මට එය ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. අපේ රටේ හැටි එහෙමනෙ. එහෙම තිබියදී 2020 මාර්තු මේ තරගයට කෙසේ හෝ ඉදිරිපත් වෙන්න කියා නැවතත් මට ඇරයුම් ලැබුණා, කොරෝනා නිසා සංවිධායකයින් ප්‍රථම වතාවට තම තමන්ගේ රට ඇතුළේ සිට මෙය පවත්වන්න තීරණය කළා. මාස ගණනක් ඇතුළතදී මගේම උත්සාහයෙන්, මාර කැපවීමකින් ඊට ඉදිරිපත් වෙලා Best Lady of Empowerment Women ටයිටල් එක රටට දිනලා දුන්නා. ඊට අමතරව Best Talent සම්මානයත් දිනලා දුන්නා. මට පුහුණුවීම් කළේ මධු නිලංජන්. නර්තනය පුරුදු කළේ ගයාන් ශ්‍රීමාල්. රටවල් 47ක් පරදවමින් ඒ ටයිටල් එක දින්නේ. අන්තිමට මේ තරගාවලියේ 4 වැනි ස්ථානය දිනාගත්තෙ මම.

• ‘‘නිම් හිම්’’ ෆිල්ම් එක ගැන කියමු?

මිචෙල් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ත්‍රිත්වයෙන් එක් චරිතයක් රඟපාන්නෙ මම. එය බටහිර පන්නයේ තරුණියකගේ චරිතයක්. මගේ පෙම්වතා සමග වෙනත් තරුණියක සම්බන්ධ වෙනවා. කතාව ගලා යන්නේ ඒ විදියටයි. එහි මගේ නම ‘‘ටීනා’’.

• නිලුෂා රඟපෑම ද ලෙහෙසි, නිරූපණයද ලෙහෙසි?

රඟපෑම ඉතා සංකීර්ණ දෙයක්. ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක්, හැදෑරීමක් අවශ්‍යයි. නිරූපණය වුණත් වෘත්තීය මට්ටමින් කරද්දී කැපවීම අවශ්‍යයි. හැබයි ඒ වෙනුවෙන් පෙරදා පුහුණුවීම් සියල්ල කරලා, සූදානම් වෙලා, වේදිකාවේදී නිරූපණය කරන්න පුළුවනි. එය රඟපෑමට සාපේක්ෂව ඉතා පහසු දෙයක්.

• එතකොට ඔබ රඟපෑම කරන්නෙ වෘත්තියට නෙවෙයිද?

එදා ඉඳලම මගේ ඉලක්කය වුණේ නිරූපණය වෘත්තිය මට්ටමින් කිරීමටයි. ඒ අතරවාරයේදී එදා ඉඳලාම ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණා. රඟපෑමට අවස්ථාවත් ආවා. ඒත් රංගනයේදී මම කැමති වෙන චරිත කිරීම තමයි මගේ අරමුණ වුණේ. නිරූපණය මගේ වෘත්තිය නිසා රඟපෑමේදී ඒ චරිතය මට ගැලපෙන විදියට තෝරා ගත්තොත් හොඳයි කියලා හිතුවා.

• මොන වගේ චරිත රඟපාන්නද කැමති?

කරන එකම එක චරිතය හරි, සමාජයට පණිවුඩයක්, ආදර්ශයක් දෙන්න පුළුවන් විදියෙ චරිතයක් නම් මම ඒකට කැමතියි. එහිදී ගැමි චරිතයක් වුණත් මට ප්‍රශ්නයක් නෙවෙයි.

• ලංකාවේ නිරූපණය, රංගනය ඇතුළු සමස්ත කලාව මොන වගේ තැනක තියෙනවා කියලද හිතන්නෙ?

මේ ක්ෂේත්‍රයට ඇවිත් වසර 22ක් විතර වෙනවා. මේ ක්ෂේත්‍රයේදී වගේම කලාවේ සියලු අංශ වෙතින් සුන්දරත්වයෙත්, අරුතක් දැක්කෙ මුල් කාලයේදීයි. අද වන විට කලා අංශයෙන් හිත සතුටු කරවන, මනස සුවපත් කරවන, වින්දනය ගෙන දෙන නිර්මාණ රස විඳින්න ලැබෙන්නෙ කලාතුරකින්. 

• රූ රැජින තරග අද ලංකාවේ තරම් වෙන කොහේවත් නැති තරම්. ඒ ගැන කොහොමද හිතන්නෙ?

ලංකාවේ තරම් මේ තරමට උනන්දුවකින් රූ රැජින තරග සංවිධානය කරන රටක් ලෝකයේ තවත් නැතුව ඇති. ඒ වගේම එක් කෙනෙක් ටාගට් කරගෙන සංවිධානය වෙන තරගත් ඒ අතර තියෙනවා. ඒත් ලෝකයේ ඒ විදියට වෙන්නෙ නැහැ. ලංකාවේ මේවා බොහෝ විට සංවිධානය කරන්නෙ මුදල් උපයන්න පරමාර්ථ කරගෙන බව පෙනෙනවා. නමුත් මම දකින විදියට මේ පැජන්ට් කරන අය වෘත්තීය මට්ටමේ අය නෙවෙයි. වෘත්තීය මට්ටමේ ලෝ-චිං-වොං, සේනක ද සිල්වා වගේ බොහෝ දෙනා සිටියත්, ඒ අය නෙවෙයි ඉස්සරහට ඇවිත් මේවා කරන්නේ. ඒ නිසාම මෙම තරගවල ප්‍රමිතියක් නැති වෙලා. අපේ රටේ තරුණ පරපුරත් බොහෝ විට අල්ලා ගන්නෙ වැරදි තැනින්.

සඳුන් ගමගේ

20210509Hot (1) 20210509Hot (2) 20210509Hot (3) 20210509Hot (4)