දෙයක් ලබාගන්න තව දෙයක් කැප කරන්න වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රධිකා තිලිණි ගුණවර්ධන යනු ජාත්‍යන්තරව සහ දේශීයව රූ රැජිණ තරගවලදී විවිධ අංශ සඳහා කිරුළු 15ක් පමණ ලද චරිතයකි. 2013 දී චීනයේ පැවැත්වූ විවාහක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 70ක තරගකාරිනියන් අතරින් ඇය අවසන් වටය දක්වා තරග කළාය. 2015 ආසියානු විවාහක රූ රැජින තරගයේදී උප කිරුළු ද්විත්වයකට හිමිකම් කීවාය. ඒ අතරේදී ඇය කටයුතු කළේ සිරස ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසිනි. මෑතකදී ඇය ගැන බොහෝ දෙනා කතාබහ කළේ Interනැසනල් නාට්‍යයේ ‘ක්‍රිස්ටිනා’ නමැති චරිතය රඟපෑ නිසාය. ඇය සමග මේ කතාබහ ඒ සියල්ලට සාපේක්‍ෂවය. 

• ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දන්නේ රධිකා ලෙසද? තිලිණි ලෙසද?

රධිකා ලෙස.

• කිරුළු ගොන්නක් රටට ගෙනැල්ලා දුන්නත් වැඩි දෙනෙක් අතර කතාබහට ලක්වුණේ නැහැ නේද?

ඔව්.

• එකට හේතුව?

එක එක්කෙනාගේ අවශ්‍යතා අනුව කතා කළාම ඒවාට එකඟ නොවුණාම ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.

• රධිකාගේ අද අරමුණ මොකක්ද?

පුද්ගලික සමාගමක සේවය කරනවා. බැංගලෝරයේ තියෙන ඒ සමාගමේ උපදේශිකාවක ලෙස සේවය කරනවා. ඊට අමතරව ඉන්දියන් එජන්සියක මැගසින් එකක් වෙනුවෙන් නිරූපණය කරනවා.

• රධිකාගෙ ගම?

වැල්ලවත්ත.

• ඉගෙන ගත්තේ?

ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය මිලාගිරිය.

• අරමුණ වුණේ?

ආසාවෙන් හිටියේ නීතිඥවරියක වීමටයි. ඒත් ආර්ථික අපහසුතා තිබුණු නිසා රස්සාවක් හොයාගත්තා. අද මගේ අරමුණ මගේම කම්පැනි එකක් ආරම්භ කිරීමයි. රැකියාව වුණත් මම පටන් ගත්තේ අඩුම තැන ඉදලා. ප්‍රමෝෂන් අරගෙන ලොකු පුටුවක් දක්වා ගියේ මගේ කැපවීමෙන්. ඒ නිසා අද මම දන්නවා කොහොමද සමාගමක් පවත්වාගෙන යන්නේ කියලා.

• අද ජීවිතේ කොහොමද?

බොහෝම සතුටින් ගෙවෙනවා. බබාලා තුන්දෙනෙක් ඉන්නවා. සැමියා සහ දරුවෝ එක්ක ගෙවන ඒ ජීවිතය මට හරි සතුටුයි. ඒත් පුංචි දුකකුත් තියෙනවා. මොකද මම තරම් දේ නොකළ අයත් ක්ෂේත්‍රයේ බොහෝ දුර ගිහින් නිසා. මට ඒ ගැන ඊර්ෂ්‍යාවක් නැහැ. දෙයක් ලබාගන්න තව දෙයක් කැපකරන්න වෙනවානෙ. මම මගේ පවුල සාර්ථක කර ගත්තා.

• සැමියා මේ මාධ්‍ය ක්ෂේත්‍රයේද?

නැහැ. එයාගෙම ව්‍යාපාරික කටයුත්තක් කරගෙන යනවා. එයාලගේ පවුලේ අය සතු ව්‍යාපාරයකුත් තියෙනවා. 

• රධිකා මොනවගේ කෙනෙක්ද?

බොරුව පේන්න බැහැ. වංචාවට කැමති නැහැ. මොකද මමත් බොරුව නැහැ. වංචා කරලා නැහැ. ආදරයට බොහෝම ආදරය කරන කෙනෙක්. දරුවන්ට හොඳ මවක්. සැමියාට හොඳ බිරිඳක්. ඒක මට ඕනෑම තැනක කියන්න පුළුවන්. මගේ ෆෝන් එක ලොක් කරලා නැහැ. දරුවන්ටත් අම්මගේ ෆෝන් එක බලන්න පුළුවන්. මගේ ජීවිතයේ රහස් නැහැ. සැමියා සහ මා අතර රහස් නැහැ. ඒ නිසා තමයි අපේ පවුල් ජීවිතේ සාර්ථක.

• පසුගිය දිනවල ඔබ ගැන කතා කළේ Interනැසනල් නාට්‍යයේ ‘ක්‍රිස්ටිනා’ නිසා නේද?

හැංගිලා හිටපු මාව ඒ විදියට නැවතත් ක්ෂේත්‍රයට හඳුන්වල දීම ගැන මම දුලිකා අක්කාට සහ සුජීව අයියාට ස්තුතිවන්න වෙනවා.

• ‘ක්‍රිස්ටිනා’ සහ ඔබ අතර සමීප බව කොහොමද?

එය මගේ පළමු රංගනයයි. සුජීව අයියා කියු දේ ඇඟට අරගෙන මම එය හොඳට කළා කියලා හිතනවා. 

• කොහොමද ලැබුණු ප්‍රතිචාර?

ඉතා හොඳයි. දැන් ප්‍රේක්‍ෂකයින් බලා සිටින්නේ එහි දෙවැනි කොටස් මාලාව එනකල්. මිනිස්සු ඒ නාට්‍යයට හරි ආසයි.

• වෙනත් බාරගත්ත රංගනයන් මොනවද?

බොහෝවිට මම ප්‍රසිද්ධ ටී.වී. ඇඩ්ස් නිසයි. ඒ විදිහට මම බාරගත්ත දැන්වීම් ගණනාවක් ඉදිරියටත් තියෙනවා. 

• කොහොමද නිරූපණය ද රංගනය ද වඩා ලෙහෙසි?

නිරූපණය එක විදියක්. රංගනය කියන්නේ තව විදියක්. ඒ නිසා මේ ක්ෂේත්‍ර දෙක අනුව හැඩගැහෙන්න ඕනෑ. ඉදිරියට මගේම නිරූපණ පාසලක් පටන් ගන්න හිතාගෙන ඉන්නෙ. එයින් බොහෝ දක්‍ෂ නිරූපණ ශිල්පිනියන්ට අවස්ථා ලබාදීම මගේ අරමුණයි. ක්ෂේත්‍රයට හරි විදියට එන්න හිතන අයට අතදීම මගේ අරමුණයි. ක්ෂේත්‍රයේදී මට වූ අසාධාරණයන් නවකයින්ට විය යුතු නැහැ කියලයි මම හිතන්නෙ. සුජීව අයියයි, දුලිකා අක්කයි මට අත දුන්නා වගේ මාත් පිරිසකට අතදෙන්න ඕනෑ. 

• රටට රූ රැජිණක ලෙස කිරුළු ගෙනැල්ලා දුන්න ඔබට, රටෙන් ඔබට ඇගැයීමක් ලැබුණාද?

රටෙන් කෙසේ වෙතත් මම සේවය කළ සිරස ටී.වී. ආයතනයෙන් මාව ඉහළින් ඇගයුවා. සිරසට මගේ ප්‍රණාමය පුදන්න ඕනෑ. 

• රඟපෑම ලෙහෙසි දෙයක්ද?

අමාරු නැහැ. සැබෑ ජීවිතයේදීත් එක එක විදියට අපි රඟපානවනෙ. කැමරාව ඉදිරියේදී ඩයලොග් වෙනස් කිරීම තමයි බොහෝ විට අපට කරන්න තියෙන්නේ. 

• ‘ජීවිතේ’ කිව්වාම මොනවගේ දෙයක් කියාද හිතන්නේ?

වැටීම් - නැගිටීම් තියෙනවා. ගැටීම් තියෙනවා. ඒ සියල්ල එක්ක දරුවන් සමග ලස්සන ජීවිතයක් ගෙන යන්න ඕනෑ. එයාලට ස්ථාවර ජීවන ගමනක් හදලා දෙන්න උත්සාහ ගන්න මවක්. මව්පියන්ගෙන් අරන් ආ කිසිවක් මට නැහැ. මට තියෙන්නෙ මගේ මහන්සියෙන් හම්බ කරගත් දෙයක් විතරයි.

• නිරූපණය, රංගනය මේ හැර තව වෙන මොනවද පුළුවන්?

රස්සාව හොඳට කරගෙන යනවා. ප්‍රධානව කරන්නේ මගේ රැකියාවයි. වසර 17ක විතර පළපුරුද්දක් තියෙනවා. ඒ නිසා තමයි මට ඉන්දියන් සමාගමක උපදේශිකාවක පවා වෙන්න පුළුවන් වුණේ.

• එතකොට රස්සාව නිසා නිතරම ඉන්දියාවේද?

මාස දෙකෙන් දෙකට ගියේ. සති දෙකයි එහේ ඉන්නේ. දැන් කොවිඩ් නිසා අපි වැඩ කරන්නේ ඔන්ලයින්.

• අද නැවතත් ප්‍රවෘත්ති කියන්න අදහසක් නැද්ද?

අවස්ථාවක් ලදොත් හරි ආසයි නැවතත් ප්‍රවෘත්ති කියන්න.

• නිරූපණ ක්ෂේත්‍රයට එන්න අදහස් කරන තරුණියන්ට දෙන උපදෙස මොකක්ද?

මොඩ්ලින් කියන එක අද හැමෝම කරන දෙයක් බවට පත්වෙලා. කොයි හැටි වෙතත් කරන දේ හරියට කරන්න. එහෙම නැති වුණොත් තව කෙනෙක්ටත් අවස්ථාව නැතුව යනවා.

• බාහිරව නිරූපිකාවක දෙස බලන අයට මොන වගේ දෙයක්ද කියන්න පුළුවන්.

බොහෝ දෙනා හිතන්නෙ විවාහ වෙනකල් ලස්සනට ඉන්න ඕනෑ කියලයි. හැබැයි විවාහයෙන් පසුව තමයි පෙරටත් වඩා ලස්සනට ඉන්න ඕනෑ. තමුන්ගෙ සිරුර ගැන හිතන්නට ඕනෑ. සැමියා ඉදිරියේ, දරුවන් ඉදිරියේ ලස්සනට ඉන්නට ඕනෑ. එහෙම ඉන්න නම් හොඳට වතුර බොන්න, පලා වර්ග, පලතුරු, එළවළු වර්ග වැඩිපුර කන්න. විටමින් ගන්න. සතුටින් ඉන්න. ආදරයෙන් ඉන්න. පවුලට අවංක වෙන්න.

• විවේකය කොහොමද ගත කරන්නේ?

හරිම අඩුයි. බබාලගෙ වැඩ ඔන්ලයින්නේ. ඒ වැඩ සහ ඊට අමතරව මල් පැළ වගාව. කොරෝනා කාලයේ පටන් ගත්ත ඒ වගාව දැන් එළවළු පවා වගා කරනවා.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
 හැඩගැන්වීම් - මදාරා විතාරණ

20210328Hot (1) 20210328Hot (2) 20210328Hot (3) 20210328Hot (4)