පුංචි දරුවො මගෙත් එක්ක ඉක්මනට එකතු වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල පුංචි තිරයේ වැඩිම ආදරයක් ආකර්ශනයක් දිනාගත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වෙනුවෙන් මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා. අැය නමින් දමිත්‍රි සුබසිංහ

• දමිත්‍රි ආයෙත් ඉස්කෝලෙ යනවා වගේ?

ඔව්. ඇත්තටම මම ආයෙත් ඉස්කෝලේ යනවා වගේම තමයි දෙරණ නාළිකාවේ විකාශය වන "ඉස්කෝලේ"  ටෙලි නිර්මාණයක් එක්ක, එහි මගේ චරිතය “විහාරා” නර්ථන ගුරුවරියකගේ චරිතයක්, ඇත්තටම හරිම රසවත් චරිත රංගනයක් මට ලැබිලා තියෙනවා. ඉතින් ගොඩක් ආසාවෙන් සතුටින් මේ දිනවල එහි වැඩ කටයුතු කරගෙන යනවා.

• ආයෙත් ඉස්කෝලෙ යනවා වගේ දැනෙනවාද?

ඔව්, අනිවාර්යයෙන්ම, මොකද මේ නාට්‍යය ඇතුළේ පුංචි දරුවෝ, ගුරුවරු ඇතුළු කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මේ තුළින් මගේ ඉස්කෝල ජීවිතයත් ඇත්තටම මතකයට එනවා. නමුත් මම මෙහි කරන්නේ ගුරුවරියකගේ චරිතයක්. මම පාසල් යන කාලේ ගුරුවරියක් කියන්නේ කව්ද? මොනවද තියෙන වගකීම් කියන දේ හරියට ඔළුවේ නැහැ. මේ චරිතය කරද්දි ගුරුවරියකගේ වටිනාකම හොඳට දැනෙනවා.

• දමිත්‍රිගේ ඒ සුන්දර පාසල් කාලයේ මතක කොහොමද? 

මම පාසල් ගියේ කොළඹ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට. ඉතින් ඉස්කෝලෙන් ලබාගත්තු දේ ගොඩයි. ඉගෙනීමත් අමතර දේවල් අතිනුත් ගොඩක් අත්දැකීම් තියෙනවා. ඇත්තටම ආයෙත් යන්න ආසයි ඒ කාලෙට. ලොකු සුන්දරත්වයක් වින්දා. 

• පුංචි දරුවොත් එක්ක කරන ඒ රංගනයේ අත්දැකීම් කොහොමද?

ඇත්තටම හරිම රසවත්. මීට පෙරත් මම දායකවුණු ටෙලිනාට්‍ය රංගනයේ පුංචි දරුවෙක් එක්ක වැඩිම රංගන දායකත්වයක් තිබුණේ. ඉතින් පුංචි දරුවො මගෙත් එක්ක ඉක්මනට එකතු වෙනවා. ඉතින් මේ චරිත රංගනයේදීත් පුංචි දරුවෝ ගොඩක් එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවා. හරිම ලේසියි ඒ දරුවෝ එක්ක වැඩ කරන්න. ඒක හරිම සුන්දර අත්දැකීමක්. 

• විහාරා චරිතයට දමිත්‍රිව සම්බන්ධ කරගන්නේ කව්ද?

දෙරණ ආයතනයේ ලක්සිරි වික්‍රමගේ මහත්මයාත්, චරිත් කොතලාවල මහත්මයාත් තමයි මුලින්ම කිව්වේ මේ චරිතය ගැන. ඉතින් මාව මේ වෙනුවෙන් තෝරගෙන ඉන්නවා, කියලා කිව්වා. ඒ ආරාධනයත් එක්ක තමයි මේ චරිතයට මම සම්බන්ධ වෙන්නේ. ඇත්තටම මේ චරිතය ගොඩක් වෙලාවට දමිත්‍රි සුබසිංහ කියන මගේ ඇත්ත චරිතයට සමානයි, ගොඩක් ඉවසන අහිංසක චරිතයක්, ඉතින් ස්වභාවිකවම මම ඒ දේ ගොඩක් වෙලාවට කරනවා. මගේ ඇත්ත ජීවිතේ චරිතයට ගොඩක් සමාන නිසා. 

• දමිත්‍රිට නර්ථනය කියන දේ නුහුරු දෙයක් නෙමෙයිනේ? ඒ නිසා ලොකු අභියෝගයක් නැතිව ඇති?

ඇත්තටම මම නර්ථනයට ගොඩක් ආසයි, ආදරෙයි. ඉතින් මේ චරිතය පැත්තෙන් ගත්තොත් නර්ථන ගුරුවරියකගේ චරිතයක්නේ තියෙන්නේ. ඉතින් මට මේ චරිතය ගොඩක් වටිනවා. මගේ නර්ථන හැකියාව එළිදක්වන්න හැකිවෙලා තියෙනවා. නර්ථනය වගේම රංගන හැකියාවත් එළිදක්වන්න ලැබිලා තියෙනවා. කොහොමත් මම පොඩි කාලේ ඉඳන්ම අඳුරගත්ත දෙයක් තමයි නර්ථනය. ඉතින් ඒ හදාරපු දෙයින් සහ ආදරය කරපු දෙයින් දෙයක් කරන්න ගොඩක් අයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මට මේ නිර්මාණය හරහා මගේ තියෙන දක්ෂතා එළිදක්වන්න හැකිවෙලා තියෙනවා.

• රංගන හැකියාව එළිදක්වන්න ලැබුණේ "අවුරුදු කුමාරි"  තරගය හරහා නේද?

ඔව්, මම 2019 වසරේ දෙරණ අවුරුදු කුමාරි වුණා. ඉතින් ඒ තුළින් තමයි රංගනයට එන්න පාර කැපුණේ. මොකද මම පාසලේදිවත් රංගනය හදාරලා තිබුණේ නැහැ. නර්ථනය කළත් ඒ O/L  දක්වා විතරයි. A/L  කළේ වාණිජ අංශයෙන්. රංගනයට එන්න ඇත්තටම මගේ කිසිම අරමුණක් තිබුණේ නැහැ. මේ අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. නමුත් දැන්නම් රංගනය හොඳින් හදාරලා ඉදිරියට හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

• ඒ කියන්නේ අවුරුදු කුමාරි තරගය ජීවිතේ වෙනම මඟකට ගෙනිච්චා?

ඔව්, අනිවාර්යයෙන්ම, දෙරණ අවුරුදු කුමාරි තරගය තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. 2019 වසරේ අවුරුදු කුමාරි පළමු ස්ථානය දිනාගන්න මට හැකිවුණා. ලංකාව වටේම ගොඩක් දක්ෂතා තියෙන ලස්සන තරුණියන් බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඒ අතරින් පළවෙනියා වෙනවා කියන්නේ හිතාගන්න බැරි දෙයක්. වාසනාවක්. ගොඩක් සතුටුයි අද ඒ ගැන මතක් වෙද්දිත්. කොහොමත් අප්‍රේල් අවුරුදු කාලෙට මම ගොඩක් ආසයි, මගේ ජීවිතේ විශේෂ මතකයන් ගොඩක් තියෙනවා සතුටු වෙන්න පුළුවන්.

• මීට පෙර අවුරුදු කුමාරි තරගවලට සම්බන්ධ වෙලා නැද්ද?

මීට පෙර මම පස් වතාවක් වගේ අවුරුදු කුමාරි වෙලා තියෙනවා. පාසලේ දෙවතාවක් අවුරුදු කුමාරි වුණා. ගමේ අවුරුදු කුමාරි වුණා. ඒ වගේ ජයග්‍රහණ කිහිපයක් ලබා ගත්තා.

• මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ ජීවිතේට ලැබුණු වටිනාකම් මොනවාද?

මේ හරහා ලැබුණු වටිනාම දේ තමයි ප්‍රේක්ෂක ආදරය. ඒක හරි වාසනාවක්. මොකද මිනිස්සු ආදරය කරනවා කියන්නේ ඒ දේ හරි වටිනවා කලාකාරයෙකුට. හැමෝටම ඒ ආදරය ලබාගන්න බැහැනේ. ඉතින් එවැනි චරිතයක් වෙන්න ලැබීම ලොකු වාසනාවක්. ප්‍රේක්ෂකයෝ පාර තොටේ යද්දි වුණත් සමාජ ජාලා වෙබ් අඩවි තුළින් වුණත් ඒ දක්වන ප්‍රතිචාර, ආදරය ජීවිතේට ලොකු ආශිර්වාදයක්.

• ඒවගේ ප්‍රතිචාර ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ගොඩක්ම සතුටුයි. මම හිතනවා මම රංගනයට එකතුවීම ජීවිතේ ගත්තු හොඳම තීරණයක් කියලා. මම පෞද්ගලික බැංකු ආයතනයක සේවය කරන ගමන් තමයි රංගනයට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් සමහර වෙලාවට කාලය කළමනාකරණය කර ගැනීමේ අපහසුවකුත් තියෙනවා. නමුත් රංගනයට තියෙන කැමැත්ත ආදරය නිසාම දෙකම සමබරව කරගෙන යන්න ගොඩක් උත්සාහ කරනවා.

• කැපකිරීමක් කරන්න වුණොත් තෝරගන්නේ කලාවද? රස්සාවද?

ඒක ඇත්තටම බැරෑරුම් ප්‍රශ්නයක්. මම තවම ඒ ගැන හිතලා නැහැ. මොකද මම කළමනාකරන අංශයෙන් තමයි උපාධිය හදාරන්නෙත්. ඒ අංශයෙන් ඉදිරියට යන්න කැමැත්තකුත් තියෙනවා. ඒ ගැන හිතන්න ඕනැ.

• දමිත්‍රි U Tube හරහා නර්ථන හැකියාව නිසාම ගොඩක් ජනප්‍රියයි නේද?

ඔව් ඇත්තටම නොහිතන විදියට ප්‍රතිචාර ලැබෙනවා. මිලියනය පැනලා විව්ස් ලැබිලා තියෙනවා. මගේ නර්ථනයන් නරඹපු පිරිස ඒ තරම්. ඉතින් ඒ ලැබෙන ප්‍රතිචාර ගොඩක් වටිනවා. තවත් ඉදිරියට ඒ හැමදේමත් එක්ක එකතුවෙලා ඉන්න කියලා මගේ ආදරණීයන්ට ආරාධනා කරනවා. 

• ඉදිරි වැඩ කටයුතු කොහොමද සැලසුම් කරලා තියෙන්නේ?

රංගනය තව ඉගෙනගන්න ඕනැ. මොකද මම ගොඩක් ආසයි ඉගෙනගන්න. මගේ අඩුපාඩු ගොඩක් තියෙනවා හදාගන්න. ඉතින් මේ වෙද්දි සිනමාවට එකතු වෙන්න ආරාධනාවකුත් ලැබිලා තියෙනවා. නමුත් තවම භාරගත්තේ නැහැ. මේ වෙද්දි නිරත වෙලා ඉන්නේ ටෙලි නිර්මාණයි, වෙළඳ දැන්වීම්වලටයි. ඉතින් ඉදිරියෙදි කලාව පැත්තෙන් හොඳ දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.

ධනු විජේරත්න / ඡායාරූප: සජීව ලක්ෂාන්

20210518Hot (3) 20210518Hot (2) 20210518Hot (1)