මගේ හීනය හොඳ පවුල් ජීවිතයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘තම මවගෙන් ලංකාවේ සුන්දරත්වය ගැන අසා තිබුණද ඇය කිසිදා ලංකාවට පැමිණ නොතිබිණි. නමුත් ඇයගේ මවගේ වියෝවෙන් පසුව  මවගේ භෂ්මාවශේෂ රැගෙනෙ ලංකාවට ඒමට මේ තරුණියට සිදුවේ. බැක් ටු එලිෆන්ට් වෝක්  (Back to Elephant walk) එළිෆන්ට් කතාව  විකාශය වන්නේ මෙම තරුණිය වටාය.
ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය වන මෙම චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුකෙරෙන අතර ආදරණීය කතාවක් සමග ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා, ලාංකීය භූමියේ සුන්දර ස්ථාන මෙම චිත්‍රපටයේ රූගත  කිරීම් සඳහා තෝරාගෙන ඇත. ‘තිකෝ’ ෆිල්ම්ස් මූලිකත්වයෙන් නිෂ්පාදනය වන මෙම චිත්‍රපටයේ පර්යේෂණ කටයුතු සඳහා ‘වින්ස්ටෝන්’  සමාගම දායකත්වය ලබාදී ඇත. ව්‍යාපාර පහකින් සමන්විත තිකෝ ආයතනයේ සභාපතිනිය වන තිලිණි ප්‍රියමාලි සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ ඉසුරු බණ්ඩාර නිෂ්පාදන පිරිවැය දැරූ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ නිහාල් බණ්ඩාරය. මෙලෙසින් නිර්මාණය වන බැක්ටු එලිෆන්ට් වෝක්  චිත්‍රපටයේ ප්‍රධාන භුමිකාවකට දායක වන සුරූපී  ‘අම්රිතා’ සඳැල්ල සමග කතා බහකට එක් වුණේ මේ  විදියටයි.

• ‘අම්රිතා’ කොහොමද ඉතින් විස්තර?

හොඳයි මේ දිනවල වැඩ කරගෙන යනවා. වෙනදාට වඩා කාර්ය බහුල වෙලා.

• අම්රිතා ක්ෂේත්‍රයට  ආ හැටි විස්තර කළොත්?

ප්‍රවීණ කේෂාලංකරණ ශිල්පී රම්සි රහ්මන්  කුඩා කාලයේ ඉඳලම මම දන්නවා. අපි පදිංචිව හිටියේ එයාගෙ ස්ථානය අසල. මාව දකින සෑම මොහොතකදීම වාගේ ‘‘ඔයා මිස් ශ්‍රී ලංකා එකට යන්න කියලා’’ රම්සි මහතා මට නිතරම වාගේ කිව්වා. 
මුලින්ම එයාගේ ෆොටෝෂූට් වලට හිටියා. පසුව එංගලන්තයේ ඉගෙනීමට ගියාමත් නිරූපණයෙන් ෆොටෝෂූට්වලට පෙනී සිටියා. පසුව සියත මිස් ශ්‍රී ලංකා  වෙලා මිස් වර්ල්ඩ් තරගය නියෝජනය කළා. එහිදී අවසන් රටවල් 50 අතර වූ තරගකාරියන් අතරට එන්නත් පුළුවන් වුණා. මගේ ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තෙ එයින් පසුවයි.

•‘‘අම්රිතා’’ ඔබට ඒ  නම දැම්මේ කවුද?

අම්මයි තාත්තයි, ඒ නම දාන්න කැමති වෙලා ඒක ලොකු අරුතකුත් තියෙනවා. 

• කියමුකො බලන්න ඒ අරුත?

අම්රිතා කියන්නේ ‘අමරණීය’ කියන අරුතයි. මාත් හරි ආසයි ඒ නමට.

• අම්රිතාගේ ගම?

කොළඹ.

• ඉගෙන ගත්තෙ?

බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ කන්‍යාරාමයෙන්. ඉන්පසුව  ජාත්‍යන්තර පාසලකට ගියා.

• උසස් අධ්‍යාපනය හැදෑරුවෙ එංගලන්තයේදී ද?

පරිගණක මෘදුකාංග අංශයේ උසස් අධ්‍යාපනය ලැබුවා. ඒ අතරෙදි තමයි නිරූපණ කටයුතු  කළේ.

• අම්රිතා, මෘදුකාංග අංශයේ ඉංජිනේරුවරියක් කිව්වොත් නිවැරදිද?

ඔව්. සොෆ්ට්වෙයාර් සයන්ස් තමයි කෙළේ.

• 2016 සියත මිස්  ශ්‍රී ලංකා  වී ඉන් අනතුරුව ලෝක රූ රැජින තරගය නියෝජනය කළ පසුව අම්රිතා මොනවටද දායක වුණේ?

විශේෂයෙන්ම 2016 ලෝක රූ රැජින තරගය නියෝජනය  කිරීමෙන් පසුව සමාජ සත්කාරක ව්‍යාපෘති සඳහා වූ ඉසව්වකට රූ රැජින තරගකාරියන් ව්‍යාපෘති ඉදිරිපත් කළා. එහිදී මා ඉදිරිපත් කළ ව්‍යාපෘතිය ඇතුළත් වුණා. සමාජ සත්කාරක වැඩසටහන්වලට අමතරව මම වෙළෙඳ දැන්වීම් සඳහා නිරූපණ කටයුතුවලට දායක වෙන්න පටන් ගත්තා. බ්‍රිටිෂ් කොස්මැටික්ස් එකේ වෙළෙඳනාම තානාපතිනිය ලෙසත් ප්‍රවර්ධන කටයුතුවලට දායක වෙනවා. මේ විදියට ස්වාධීනව කටයුතු කරගෙන යාම හැර කාර්යාලයීය ජොබ් එකක් කළේ නැහැ. වැඩක් ආවොත් පුළුවන් දේ කළා. ඒ අතරේදි සිරස ටී.වී. එකේ ජීවිතයට ඉඩ දෙන්න වැඩසටහන සමග වසර දෙකක් නිවේදනයෙන් එක්ව සිටියා. මගේ විවාහයත් එක්ක දැන් නිවේදන කටයුතුවලින් ඈත්වෙලා ඉන්නෙ.

• අම්රිතාට මේ චිත්‍රපටයේ රඟපෑමට ලැබුණු හැටි කියමු?

මුලින්ම මගේ යාළුවෙක් මට මේ ගැන කිව්වෙ. කැමතිද ගිහිල්ලා  ඔඩිෂන් එකට දායක වෙන්න කියලා එයා කිව්වා. මීට කලින් රඟපෑමට බොහෝ ආරාධනා ලැබුණා. ඒත් මම කැමති  වුණේ නැහැ.

• මේ චිත්‍රපයට කැමති වුණේ?

මෙය ජාත්‍යන්තරව ප්‍රචාරය සහ තිරගතවීමට නියමිතයි. නෙට්ෆ්ලික්ස් ඇතුළු අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ රටවල් ගණනාවක පෙන්වීමට ඉඩ සලසා ඇති නිසා මම මේ චරිතය කැමැත්තෙන් බාර  ගත්තා.

• මේ ෆිල්ම් එක නැගලා යාවිද?

මේ චිත්‍රපටයට සම්බන්ධ පිරිස සහ චිත්‍රපට  නිර්මාණය දිහා බැලුවාම මේ  ෆිල්ම් එක ශ්‍රී ලාංකීය ජනතාව අතරට වඩා ජාත්‍යන්තරව බොහෝ දෙනා අතර ජනප්‍රිය වේවි කියලා කියන්න පුළුවනි. මෙම කණ්ඩායමටම තියෙන්නෙ හොඳ දැක්මක්. ලංකාවේ සෞන්දර්ය අපි දුටුවාට වඩා වෙනස් කෝණයකින් ලෝකයට පෙන්වාවි. අපේ රට ගැන මීට වඩා ලෝකයේ බොහෝ දෙනා  දැන ගනීවි.

• සැමියා කැමති වුණාද චිත්‍රපට රංගනයට යනවට?

එයාගේ ආශීර්වාද ඇතුව තමයි මේ සෑම දෙයක්ම කරන්නේ. මගේ වැඩවලට නිතරම එයා ලබාදෙන්නෙ ලොකු සහයෝගයක්. අපි දෙන්නා මුලින්ම  හඳුනාගත්තේ 2012දී විතර. පසුව 2013 දී වැඩිදුර අධ්‍යාපනයට අපි දෙන්නා එංගලන්තයට ගියා. වසර කීපයක් තිස්සේ දෙන්නා අතර තිබෙන ඒ අවබෝධය නිසාම අපි විවාහ වෙන්න තීරණය කළා.

• මේ චිත්‍රපටයේ අම්රිතා රඟපාන චරිතයේ නම?

තමාෂි. එයා දඟකාර, නිතරම අලුත් දේ දකින්න කැමති බොහෝම උද්යෝගිමත් චරිතයක්. ඒ වගේම නිතරම හීන මවන කෙනෙක්. ආදරණීය චරිතයක්.

• සැබෑ ජීවිතයේදී අම්රිතාත් හීන මවන කෙනෙක්ද?

ජීවිතයට හීන අවශ්‍යයි. මම නිතරම හීන මවන්නේ හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගත කිරීමටයි.

• තමාෂි සහ අම්රිතා අතර වෙනස්කම් මොනවගේද? 

එතරම්ම ලොකු වෙනසක් නැහැ. හැබැයි තමාෂි වගේ මම නිතරම එහෙ මෙහෙ යන කෙනෙක් නොවෙයි. තමාෂි මට වඩා ටිකක් දඟ කෙනෙක්. සැබෑ ජීවිතයේදී මම කුතුහලයෙන් යුතු ත්‍රාසජනක දේට කැමති කෙනෙක්. ත්‍රාසජනකදේ කිව්වම කැලෑවේ සංචාරය කරන්න සහ එක පාරටම වෙන දේවල් එක්ක ත්‍රාසයට පත් වෙන්න ආසයි. කොහොමටත් පරිසරයට සහ වන ගහණයට ආසයි.

• කැලෑවෙ සංචාරය කරද්දී අලියෙක් ගහන්න ආවොත්‍් ?

මුහුණ දෙන්න ආසයි.

• කොටියෙක් පැන්නොත්?

හයියෙන් කෑගහාවි.

• ඒ කියන්නෙ බය නැති කෙල්ලෙක්? 

බයවෙලා ජීවත් වෙන්න අමාරුයි. ගැහැනු ළමයෙක් එඩිතර වෙන්න ඕනෑ. අද සමාජයේ හැටියට එහෙම නැතුව බැහැ. 

• අම්රිතාට රසට උයන්නත් පුළුවන් නේද?

එහෙම වෙන්න එපායැ. ඔව් මම හිතන්නෙ මට රසට උයන්න පුළුවනි. මම හදන කිරිබත් එක කන්න හැමෝම හරි ආසයි.

• මොකක්ද එච්චරටම අම්රිතා හදන කිරිබතේ වෙනස?

ඒක මම දන්නෙ නැහැ. හැබැයි මගේ යාළුවෝ නිතරම කියන්නේ මම හදන කිරිබත හරි රසයි කියලයි. ඕනෑම දෙයක් අපි ආදරයෙන් කැමැත්තෙන් කරනවා නම් එහි රසය-ගුණය වැඩියි. ඕක වෙන්නැති. කිරිබත් හදද්දී මම ඒක බොහොම අවංකව තමයි කරන්නේ. ඕනෑම දෙයක් අපි කරන්න ඕනෑ එහෙමයි.

• කිරිබත් විතරද පුළුවන්?

ව්‍යාංජන එහෙම රසට හදන්න පුළුවන්. මම නිර්මාංශිකයි.

• අම්රිතා නිර්මාංශ වෙද්දී සැමියාට කෑම හදලා දෙන්න ප්‍රශ්න නැද්ද?

ඉස්සර මම මාළු අනුභව කරලා තියෙනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නොවෙයි. හැබැයි මාංශ වර්ග නම් කොහොමටවත් උයන්නේ නැහැ.

• සැමියා මොනවද කරන්නෙ?

එයාගෙම ව්‍යාපාරයක් කරනවා.

• කොහොමද විවාහ ජීවිතය?

බොහොම සතුටුයි. අපි දෙන්නා සෑහෙන කාලයක් තිස්සේ දැන හැඳිනගෙන ප්‍රශ්න නැතුව ගමනක් ආවා. ඉදිරියටත් ඒ විදියට ජීවිතය ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. එයා එක්ක ගත කරන්නෙ ප්‍රීතිමත් ජීවිතයක්.

• අමිරිතා, ‘ආදරය’ කියන්නෙ මොකක්ද?

වෙන කෙනෙක් නිසා බොහෝ විට තව කෙනෙක් වෙනස් වෙනවා. තමන් වෙනස් නොවී වෙන කෙනෙක් එක්ක තමන්ගේ අත්හදා බැලීම් සියල්ල බෙදා හදා ගන්න පුළුවන් නම් ඒ ආදරය බොහොම සැහැල්ලු වේවි. මට නම් ආදරය සුන්දරයි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20210404Hot-3 20210404Hot-2 20210404Hot-1