මට හින්දි භාෂාව හොඳට කතා කරන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෘත්තීයෙන් විලාසිතා නිර්මාණකාරිනියක් වන සුරංගි කලාවටද නැඹුරු ශිල්පිනියකි. නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ඇය කලා ක්ෂේත්‍රයේ කටයුතු කරයි. එමෙන්ම ඉදිරියේදී යූ ටියුබ් නාලිකාවක හිමිකාරිනියක් ලෙසද ඇයව ඔබට හමු වෙයි. සාරවිට මේ කතාබහ ඇය සමගයි.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම සුරංගි රත්නායක. මම කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2012දි. මගේ ගම බොරලැස්ගමුවේ. මම වෘත්තීයෙන් විලාසිතා නිර්මාණ ශිල්පිනියක්. ඊට අමතරව නිවේදිකාවක් සහ නිරූපණ ශිල්පිනියක් විදිහටත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා.

කලාවට පිවිසෙන්නේ කොහොමද?

එක් අධ්‍යක්ෂවරයෙක් මගේ නංගිව පාරේදි දැකලා එයාගේ වෙළඳ දැන්වීමකට ආරාධනා කරනවා. නංගි ඒ අවස්ථාව මට ලබාදෙනවා. ඒ වෙළඳ දැන්වීමට කලින් මට මියුසික් වීඩියෝවකටත් ආරාධනා ලැබෙනවා. ඒ දෙකෙන් පස්සේ මම මගේ විලාසිතා නිර්මාණකරණය පිළිබඳව හදාරන්න අවධානය යොමු කරනවා. ඒ නිසා මම 2015 වනතුරු වැඩ කරන්නේ නැහැ. මගේ උපාධියෙන් පසුව මම විදේශ ගත වනවා. ඊටපස්සේ ආයේත් ලංකාවට ආවාම මට වෙළඳ දැන්වීම්වලට සහ ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවා.

මේ වනවිට දායක වුණු නිර්මාණ ගැන කතා කළොත්?

රට ඉඳලා ලංකාවට ආව කාලේදි මට ලැබුණු ආරාධනාවලට සම්බන්ධ වෙන්න වේලාවක් තිබුණේ නැහැ. මම එතකොට මූලිකත්වය දීලා තිබුණේ මගේ ව්‍යාපාර කටයුතුවලට. කොහොමහරි මට 2019දි චැනල් C ආයතනයේ නිවේදිකාවක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඔය කාලවලදි ෆොටෝෂූට්, පේපර්ෂූට්වලටත් ආරාධනා ලැබුණා. පහුගිය කාලේ වෙනස්ම විදිහේ වෙළඳ දැන්වීමකටත් සම්බන්ධ වුණා. ඒකේ මම ප්‍රධාන චරිතයකට දායක වුණේ. මේ වෙද්දි ටෙලි නාට්‍ය දෙකකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒවාටත් ඉදිරියේදී දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තටම රංගන ක්ෂේත්‍රය තුළින් ගමනක් යන්න මම ආසයි. මොකද මම රංගනයට ආදරෙයි. මට දක්ෂ අධ්‍යක්ෂවරු දෙදෙනෙක් එක්ක තමයි ඒ ටෙලි නාට්‍ය දෙකේ වැඩ කරන්න ලැබෙන්නේ. මේ අවුරුද්ද අවසාන වෙනකොට හොඳ දේවල් ටිකක් වෙයි කියලා විශ්වාස කරනවා.

චැනල් C නාලිකාවේ ඉදිරිපත් කළ වැඩසටහන් මොනවාද?

මට හින්දි භාෂාව හොඳට කතා කරන්න පුළුවන්. ඒ නිසා මට චැනල් C නාලිකාවේB – Town (බොලිවුඩ් ටවුන්) කියන වැඩසටහන ඉදිරිපත් කිරීමට ආරාධනා ලැබෙනවා. මම බොලිවුඩය ගැන විශේෂ ඇල්මක් දක්වනවා.

විලාසිතා නිර්මාණය පැත්තෙන් ඔබේ වැඩකටයුතු ගැන කතා කළොත්?

මම ලංකාවේ ඉහළ ඉල්ලුමක් තිබෙන ඇඳුම් නිෂ්පාදන ආයතන කිහිපයක ෆ්‍රීලාන්ස් නිර්මාණකරුවෙක් විදිහට වැඩ කරනවා. බොහෝවිට ගෙදර ඉඳලා තමයි මම වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් විනාඩි කිහිපයක් ඇතුළත මට අළුත් විලාසිතාවක් නිර්මාණය කිරීමේ හැකියාවක් තිබෙනවා.

ඔබ වෘත්තීයෙන් විලාසිතා නිර්මාණකාරිණියක්. ඔබේ විලාසිතාවන් ගැනත් කියමු?

ඇත්තටම මම සාමාන්‍ය කෙනෙක්. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් කිව්වාම ගොඩක් අය හිතන්නේ එයා ගොඩාක් ෆැෂනබල් වෙන්න ඕනේ කියලා. ඒත් මම එහෙම නැහැ. මම සරලව අඳින්නේ. මම අඳින විදිහේත් ෆැෂන් එකක් තියෙනවා. මගේ ෆැෂන් හදාගන්නෙත් මමයි. කඩේකින් ඇඳුමක් ගෙනාවත් එහෙන් මෙහෙන් කපලා පොඩි පොඩි කෑලි දාලා මම වෙනස් එකක් හදාගන්නවා.

නිර්මාණයකට දායක වෙද්දිත් එහි විලාසිතාවන් පිළිබඳව සැලකිලිමත් වෙනවාද?

ෆොටෝෂූට් එකකදි වගේ නම් ඒ අය මට දෙන ඇඳුම මම අඳින්න ඕනේනේ. හැබැයි මම ගොඩක්ම අඳින්නේ ඇඟ වැහෙන ඇඳුම්. හැබැයි නිවේදන වැඩකටයුතුවලදී නම් ගොඩක් වෙලාවට ඒ තේමාවත් එක්ක මම මගේ ඇඳුම් නිර්මාණය කරගන්නවා.

ලංකාවේ විලාසිතාවන් ගැන ඔබ මොකද හිතන්නේ?

ලංකාවේ ඇත්තටම ෆැෂන් කියලා දෙයක් තියෙනවා. ඒක කලින්ටත් වඩා දියුණු වෙලාත් තියෙනවා. මෙහෙම දෙයකුත් තියෙනවා. අවුරුද්දට මාස දොළහක් තියෙනවානේ. ජනවාරිවල අළුත් ෆැෂන් එකක් ආවොත් තව මාස දෙක තුනක් යනකල් ඒ ෆැෂන් එකම තියෙනවා. ඒ ෆැෂන් එක කන්ටිනියු වෙන එකක් වෙන්නේ. ඒක තව තවත් දියුණු වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩක් අය අළුතෙන් එන ෆැෂන් කොපි කරනවා. ඒක එතකොට අළුත් එකක් වෙන්නේ නැහැනේ. ඇමරිකාව, ඉතාලිය, යුරෝපීය රටවල් දිහා බැලුවාම එයාලාගේ ෆැෂන් මාර විදිහට දියුණුයි. ලංකාවේ එහෙම දෙයක් මම දකින්නේ නැහැ. අපිට තියෙන ෆැෂන් ගොඩක්ම කොපි විතරයි.

ඔබ වැඩියෙන්ම කැමති කුමන ක්ෂේත්‍රයේ නිරත වෙන්නද?

ඇත්තටම මගේත්, අම්මාගේත් හීනයක් තිබුණා යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කරන්න. ඒක මේ වෙද්දි පටන් අරගෙන තියෙන්නේ. මම නිවේදිකාවක් විදිහට කැපී පෙන්න ලොකු කැමැත්තක් නැහැ. මම ඉගෙනගත්තේ විලාසිතා නිර්මාණකරණයනේ. මම කැමති ඒ පැත්තෙන් රටට ලොකු වැඩ කොටසක් කරන්නයි. ඒ වගේම කවුරුහරි මාව වැඩක් කරන්න පුළුවන් චරිතයකට ගැලපෙනවා කියලා වැඩකට ආරාධනා කළොත් කලාව පැත්තෙන් ඒවාටත් සම්බන්ධ වෙන්න මට පුළුවන්. නිවේදනයට වඩා මගේ වෘත්තීයටත්, රංගනයටත් වැඩි ඉඩක් දෙන්න මම කැමතියි.

යූ ටියුබ් නාලිකාව ගැනත් කතා කරමුද?

චැනල් එකේ නම සියනෙත TV. ඒකේ තේමා තවම හදාගෙන යනවා. අපි උත්සාහ කරන්නේ එකේ හැම ක්ෂේත්‍රයකටම අවස්ථාවන් දෙන්න. මගේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි දවසක සියනෙත TV නාලිකාවpeotvවලට ගේන්න.

ගෙදරින් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?

ඇත්තටම මම ෆැෂන් ඩිසයිනින් කරනවාටවත් කැමති නැහැ. මාත් එක්ක මාස හයක් කතා කළේ නැහැ. මගේයි අම්මාගෙයි හීනයක් වෙලා තිබුණේ මාව නීතිඥවරියක් කරන්න. මම උසස් පෙළ ඉවර කරලා ෆැෂන් ඩිසයිනින් කරන්න ඩිග්‍රි එක පටන්ගත්තේ අම්මාටත් හොරෙන්. ලොකු අම්මා තමයි මට සල්ලි ගෙවලා ඒ වැඩවලට උදව් වුණේ. අම්මා කැමති වුණේ නැහැ කලා කටයුතු කරනවාට. දවසක් අම්මා අපේ කොලේජ් එකට කතා කරලා මම ගැන අහලා තිබ්බා. එයාලා මගේ වැඩ සහ හැකියාව ගැන කියලා. එදා ඉඳලා මට ගෙදරින් ලොකු සහයෝගයක් දුන්නා. මගේ වැඩවලට ආච්චිත් පස්සෙන් එනවා. ඔවුන් ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා.

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

මගේ ලොකු හීනයක් තියෙනවා මගේ ෆැෂන් හවුස් එකක් පටන් ගන්න. හේ අවුරුද්ද ඉවර වෙද්දි ඒකේ වැඩ භාගයක් ඉවර කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අවුරුද්ද ඉවර වෙද්දි මගේ චැනල් එක දියුණු කරලා යම් තැනකට ගේන්න උත්සාහ කරනවා. ඒ වගේම ලැබෙන ආරාධනා අනුව කලා නිර්මාණවලටත් දායක වෙනවා.

උදව් කළ අය ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ පවුලේ අයව. ඒ වගේම ෆීල්ඩ් එකේ අය ගොඩක් මට මෙතැනට එන්න උදව් කළා. මගේ අධ්‍යක්ෂවරු, මාත් එක්ක වැඩ කරන ශිල්පීන්, බුවනෙක අයියා, ශාන්ත අයියා, චැනල් සී එකේ ප්‍රසංග සර්, කාවිංග අයියා, සරසි ඇතුළු හැමදෙනාවම මම ආදරයෙන් මතක් කරනවා. මට නම් වශයෙන් කියන්න බැරි තරම් පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම ස්තූතියි කරනවා.

කැළුම් දේවින්ද

20210501Hot (4) 20210501Hot (5) 20210501Hot (6) 20210501Hot (7) 20210501Hot (8) 20210501Hot (9) 20210501Hot (10)