මම ඉගෙනගන්නේ ගණකාධිකාරීවරියක් වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන තමාලි පසුගිය දා නිමා වුණු රිසිර අවුරුදු කුමරිය තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගන්න සමත් වනවා. ඇය තවමත් උසස් අධ්‍යාපනය හදාරන අතර අනාගතයේදී කලාව තුළින් මෙන්ම ගිණුම්කරණය තුළින්ද වෘත්තීය කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එබැවින් සාරවිට කතාබහකට තමාලිව සම්බන්ධ කරගැනීමට අප සිතුවා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම තමාලි ප්‍රියදර්ශනී. මගේ ගම බණ්ඩාරගම. මගේ පවුලේ මමයි අක්කයි අම්මයි ඉන්නේ. මම දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක කළමණාකරණ පීඨයේ පළමු වසරේ ශිෂ්‍යාවක්. ඊට අමතරව නිරූපණ ක්ෂේත්‍රයට සහ රංගන ක්ෂේත්‍රයට එකතුවීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.

රිසිර අවුරුදු කුමරිය තරඟාවලියට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ART TV එකේ ගිය දැන්වීමක් දැකලා තමයි අයදුම් කළේ. මම පොඩි කාලේ ඉඳලා කලාවට ආසයි. කලාවට සම්බන්ධ වෙන්න කැමැත්තක් ඒ කාලේ ඉඳලාම තිබුණා. ඒකටත් මේක හොඳ තෝතැන්නක් වෙයි කියලා හිතුවා.

ලැබුණු ජයග්‍රහණය ගැන කිව්වොත්?

රිසිර අවුරුදු කුමරිය තරඟාවලියේ දෙවන ස්ථානය හිමි කරගත්තේ මමයි. ඒ ලැබුණු ජයග්‍රහණය ගැන නිහතමානී සතුටක් තියෙන්නේ. මගේ පවුලේ හැමෝම සහ යාළුවෝත් ගොඩක් සතුටු වුණා. ඒ ගැන පුංචි ආඩම්බරයක් තිබෙනවා.

තරඟාවලියේදී ලැබුණු අත්දැකීම් ගැන කියමුද?

මේ මම සහභාගී වුණු පළමු තරඟාවලියයි. ඒ නිසා මට හැමදේම අළුත්. ඇවිදීමේ ඉඳලා ඉගෙනගන්න සිදු වුණා. ගොඩක් අය උදව් කළා. අපි හැමෝම එකටමයි හිටියේ. අවසානයේදී ලැබුණු හැම අභියෝගයක්ම ජයගෙන ඉස්සරහට ගියා.

අවසන් තරඟයේදී හැමෝම අතරේ තරඟයක් තිබුණාද?

ඔව්. හැමෝම එක වගේ දක්ෂයි. ලස්සනයි. ඒ නිසා ලොකු තරඟයක් තිබුණා. අවසන් පස් දෙනාට ආවාට පස්සේ ලොකු සතුටක් දැණුනා. මම දිනයි කියලා ලොකු විශ්වාසයකුත් තිබුණා.

මේ ජයග්‍රහණයත් එක්ක කලාවට ආරාධනා ලැබුණාද?

ඔව්. ආරාධනා කිහිපයක්ම ලැබුණා. ඒවා තෝරා බේරාගෙන හොඳ නිර්මාණ තුළින් ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවා.

ඉදිරියේදී නිර්මාණවලට දායක වෙද්දි අධ්‍යාපන කටයුතු මග හැරෙයිද?

නැහැ. මම දෙපැත්තම සමබරව ගෙන යන්න උත්සාහ කරනවා. මම ඉගෙනගන්නේ ගණකාධිකාරීවරියක් වෙන්න තමයි ඉගෙනගන්නේ. ඒ එක්ක කලාවත් සමබරව ගෙනියන්න පුළුවන් වෙයි. මගේ පවුලේ අය හැමතිස්සේම මගේ පිටුපස ඉන්නවානේ.

අද කලාව සහ නිරූපණය තියෙන තත්ත්වය අනුව බය නැද්ද ක්ෂේත්‍රයට එකතු වෙන්න?

මෙහෙමයි. හැමදේම හොඳට හොයලා බලලා නිර්මාණවලට දායක වෙනවා නම් ප්‍රශ්නයක් නැහැනේ. ගෙදර අයගේ උපදෙසුත් ලබාගෙන හොඳ විදිහට ඉන්නවා නම් මම හිතන්නේ මේ ක්ෂේත්‍රය තුළින් ඉස්සරහටම යන්න පුළුවන් වෙයි කියලා.

පාසැල් කාලය ගැන කතා කරමුද?

මම පාසැලේ මාධ්‍ය ඒකකයේ හිටියා. තව ක්‍රීඩා, නර්තනය හැදෑරුවා. ඒ වගේම තූර්යවාදක කණ්ඩායමේ නායිකාවත් වුණා.

ඔබට නිවේදනයත් පුළුවන්ද?

ඔව්. මම පාසලේ ජනප්‍රිය නිවේදිකාවක්.

නිවේදනයට ආරාධනාවක් ලැබුණොත්?

අනිවාර්යෙන්ම බාර ගන්නවා. කලාවට වගේම මම නිවේදනයටත් ආසයි.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මගේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යනගමන් කලාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි මම උත්සාහ කරන්නේ.

උදව් කරපු අය කවුද?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා, අක්කා, අයියා ඇතුළු පවුලේ හැමෝටම ස්තූතියි කරනවා. ඒ වගේම රිසිර නාලිකාවටත්, ලක්ෂාන් සූරියබණ්ඩාර අයියාවත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම අපේ අඩුපාඩු හදලා අපිව මේ තැනට ගෙනාව විනිසුරු මඬුල්ලටත් ස්තූතියි කරනවා.

කැළුම් දේවින්ද

20210422Hot (1) 20210422Hot (2) 20210422Hot (3) 20210422Hot (4) 20210422Hot (5) 20210422Hot (6)