යම් කිසි ප්‍රමාණයක වැරදි හැමෝම අතේ තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සෙනාලි ෆොන්සේකා යනු මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රියත්වය චරිතයකි. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය හේතුවෙනි. ඇයගේ කලාකටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘අද’ තරු බහට ඇය මෙලෙස එක්විය.

කොහොම ජීවිතේ?

මේ දවස්වල ඉතාමත් හොඳින් ජීවිතේ ගෙවෙනවා. ඉතිං ඒ විදිහට සතුටෙන් පාඩුවේ සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

 

හරි කාර්යය බහුල වෙලා නේද?

කලාව පැත්තෙන් ගත්තාම පොඩ්ඩක් කාර්යය බහුල වෙලා තියෙනවා. විශේෂයෙන්ම නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය නිසා.

 

නාඩගම්කාරයෝ කොහොමද?

නාඩගම්කාරයෝ කියන්නේ මගේ ජීවිතයේ ලැබුණු තවත් එක වටිනාම නිර්මාණයක්. මම මුලින්ම සිරිපැරකුම් චිත්‍රපටයෙන් ආව හැඟීමක් මෙම නාට්‍යය තුළින් මට දැනෙනවා. ඉතිං ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩයි. ගොඩක් ආදරේ ලැබෙනවා. මුලින්ම මෙම නිර්මාණය කරද්දී හිතුවේ නැහැ මෙවන් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙයි කියලා හිතුවේ නැහැ. ඒ ආදරේට අපි හැමෝම හරි ආදරෙයි. අපේ ප්‍රේක්ෂයන්ගේ ආශිර්වාදය ආදරය මැද මේ නිර්මාණය ගෙවී ගෙන යනවා.

ඔබ දායක වෙන නිර්මාණ ඉතාමත් ජනප්‍රියත්වයට පත්වෙන තරමට ඔබ හරි වාසනාවන්තයි නේද?

මට කිහිප දෙනෙක්ම ඔය දේ කියලා තියෙනවා. සිරිපැරකුම් චිත්‍රපටයෙන් පස්සේ ආපු හැම නිර්මාණයක්ම වාගේම මිනිස්සු අතරට හොඳින්ම කාවැදුනා. ඒ නිර්මාණ වලට ඉන්න මට ඒ වාසනාව තිබුණා. මගේ වාසනාවත් කැරකිලා නිර්මාණයත් එක්ක එනවට වඩා. මම හිතන විදිහට ප්‍රේක්ෂකයන්ගේ හිතට යන නිර්මාණ වලට දායක වෙන්න මට වාසනාව තිබිලා තියෙනවා. මම දකින්නේ ඒක ඒ විදිහටයි. ඒ වගේම ඒ නිර්මාණ වල වැඩකරපු අයගේ දක්ෂතාවය සහ මගේ යම්කිසි දක්ෂතාවයක් තියෙනවා නම් ඒ දක්ෂතාවයත් එන්න ඇති කියලා හිතනවා. අධ්‍යක්ෂකවරයා ඉඳන්ම අනෙකුත් නළුනිළියන් වගේම මුළු කණ්ඩායම මේ සඳහා වෙහෙස මහන්සිවෙනවා. මට හැමදාමත් ලැබුනා හොඳ අධ්‍යක්ෂකවරු. මගේ ඇතුලේ ඉන්න ඒ චරිතයට එළියට ගන්න පුළුවන් අධ්‍යක්ෂකවරු මට ලැබුණා. මට වැඩකරන්න ලැබුණු රංගන ශිල්පීන්ගෙන් දේවලුත් මට ඉගෙන ගන්න හම්බෙනවා. ඒ හැමදේම මැද්දේ හොඳ නිර්මාණ බිහිවෙද්දී ඒ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා.

රංගන ශිල්පිනියක් වෙලා ප්‍රේක්ෂක ආදරය ලැබීම කියන කාරණාව කොච්චරක් දුරට වටින දෙයක්ද?

අපේ ලොකු නැන්දිලා කාලේ රංගන ශිල්පිනියක් වෙන එක ලොකු අමාරු වැඩකටයුත්තක් හැටියට තමයි  තිබුනේ. මම අහලා තියෙන, මට කියලා තියෙන දේවල් එක්ක අපේ ලොකු නැන්දිලා කාලේදී රංගන ශිල්පිනියක් වෙනවා කියන්නේ විශේෂ දෙයක්, ප්‍රබල දෙයක්. ලේසි නැහැ රංගන ක්ෂේත්‍රයට එන්න. ඒකත් එක්ක සාපේක්ෂව අද බලද්දී රංගන ක්ෂේත්‍රයට එන්න ලේසියි. ඕන තරම් ක්‍රම සහ විධි තියෙනවා රංගන ශිල්පිනියක් වෙන්න සහ ප්‍රේක්ෂක ආරක්ෂණය දිනා ගන්න. නමුත් අවුරුදු ගනන් ඒ ප්‍රේක්ෂක ආදර දිනා ගෙන තියා ගන්න බැහැ. කෙටියෙන්ම කිව්වොත් අද කාලේ ප්‍රසිද්ධ වෙන්න ඕනම කෙනෙක්ට ලේසියි. නමුත් ජනප්‍රිය වෙන්න හරි අමාරුයි. ජනතාවගේ ප්‍රියත්වය ලබන එක අමාරුයි. මම හිතන්නේ මට ප්‍රසිද්ධ වෙන්න ඕනේ නැහැ. නමුත් ජනතාවගේ ආදර මට ලැබෙනවා නම් ඒක මට ගොඩක් වටිනවා. ඉතිං මම හිතන්නේ රංගන ශිල්පිනියකට වඩා හොඳ කලා කාරණියක් වෙන්න පුළුවන් නම් ඒක අද තියෙන වටිනම දේ. ඒ වගේම ප්‍රේක්ෂක ආදර දින ගන්න එක සහ තියාගන්න එක තමයි අමාරුම දේ. ඒ දේවල් ලැබෙන ඕන කලාකරුවෙක් හරිම වාසනාවන්තයි.

රංගන ක්ෂේත්‍රය තුළත් වැඩිම විවේචන සහ මඩ ප්‍රහාර සිදුවන්නේ රංගන ශිල්පිනියටයි, ඒ දේ දකින්නේ කොහොමද?

යම් කිසි ප්‍රමාණයක වැරදි හැමෝම අතේ තියෙනවා. රංගන ශිල්පිනියක් කියන්නෙත් ලොකු තනතුරක්. ඒ නිසා හැමෝම අපි දිහා බලන් ඉන්නවා. අපි පිළිබඳව හොයන ප්‍රමාණ වැඩි වෙනවා. සමහර දෙනා සමහර රංගන ශිල්පිනියන් දිහා බලලා ජීවිතය ගෙනියන්න උත්සහ කරන අයත් ඉන්නවා. ඒ නිසා අපි හොඳ ආදර්ශයක් විය යුතුයි. වර්තමානයේ විතරක් නෙමෙයි ගොඩක් කල් ඉඳන් සමාජය හැමතිස්සෙම බලන් ඉන්නේ කාන්තාවට ප්‍රහාරය එල්ල කරන්න. ඒක සමාජ විසින් කරන දෙයක්. කාන්තාව කියන චරිතය කොච්චර වටින චරිතයක්ද කියන එක සමාජය දැන ගන්න ඕනේ. නමුත් අපිට සමාජය හදන්න බැහැ. අපිට එල්ල වන මඩ ප්‍රහාර වලට පිළිතුරු දෙන්න ගියොත් කී දෙනෙක්ට පිළිතුරු දෙන්න වෙයිද? ඒ නිසා අපි හොඳ දේවල් කලොත් සමාජය හොඳ කියයි. ඒ නිසා 100’ හිතන්න බෑ අපි කරන හැම දේමට හැමෝම කැමතියි කියලා. මොන දේ කලත් බනින්න එක පුද්ගලයෙක් හරි ඉදියි. ඒ නිසා ඒ දේවල් ප්‍රශ්නයක් කර ගන්නේ නැතුව අපේ ජීවිතය කර ගෙන යන්න.

අද සමාජය තුළ කාන්තාවන්ට වෙළෙඳ වටිනාකමක් විතරද ලබා දෙන්නේ? සමාජීය වටිනාකමක් දෙන්නේ නැද්ද?

හැමෝම දන්නවා අම්මා උතුම් කියලා. හැමෝම ඒ දේවල් ගැන කතාකරනවා. කාන්තා දිනයේදී ඒ පිළිබඳ ඉහලින්ම කතා කරනවා. අම්මාවරුන්ගේ දිනයේදී කවිවදන් ලියලා සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධ කරනවා. මේ තරම් කොච්චර දේවල් කරලත් හරි දේවල් පිළිපදින්නේ කීයෙන් කී දෙනාද?. අන්න එතනිනුනයි සමාජ  වෙන්න වෙන්න ඕනේ. අම්මා උතුම් කියලා කවි ලියනවා. නමුත් කාන්තාව ගැන සමහර විට වැරදි කතා කරනවා. අම්මා කියන්නෙත් කාන්තාවක් කියන ඒක ඒ වෙලාවට අමතක වෙනවා.  හැම තිස්සෙම සමාජය වෙනස් කරනවාට වඩා එක එක පුද්ගලයා වෙනස් වෙන්න ගත්තා නම් නොදැනුවත්වම සමාජ වෙනස් වෙලා තියෙවි. ඒක අද හෙට නෙමෙයි යම් කිසි දවසක් තිබේවි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

20210410Hot (1) 20210410Hot (2) 20210410Hot (3)