වැඩියෙන්ම ලැබිලා තියෙන්නේ පෙම්වතියගේ චරිතය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210520oshadi-1

ගීත රූප රචනා තුළින් විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත් ඕෂධී හිමාෂා ඉන්පසුව සිනමාව තුළින්ද ප්‍රේක්ෂකයන් අතරට පැමිණියහ. එමෙන්ම ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස තවමත් නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්නීය. ඕෂධීගේ නවතම කලා කටයුතු පිළිබඳව ඇය සාරවිට කතාබහකට මෙලෙස එක්විය.

ඕෂධී, මේ දිනවල වැඩකටයුතු කොහොමද?

ලොකු ව්‍යාපෘති කිසිවක් ඇත්තටම බාරගෙන නැහැ. සුපුරුදු පරිදි මියුසික් වීඩියෝ සහ ෆොටෝෂූට් කරගෙන යනවා. පහුගිය දවස්වල මම දායක වුණු මියුසික් වීඩියෝ දෙක තුනක් මේ වෙද්දි රිලීස් වෙලා තිබෙනවා. ඒ වගේම තව මියුසික් වීඩියෝ දෙකක් ඉදිරියේදී නිකුත් වෙන්න නියමිතයි. පහුගිය දවස්වල හිට් වෙච්ච ඕඩියෝ එකක වීඩියෝවට දායක වුණා. ඒක එනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා.

කෝවිඩ් 19 තත්ත්වයත් එක්ක ඔබේ වැඩ කටයුතු ගොඩක් දුරට මග හැරුණා?

ඔව්. සියයට සියයක්ම අපේ ක්ෂේත්‍රයට ලොකු බාධාවක් වුණා. අපි වැඩ කරද්දි ලොකු කණ්ඩායමක් එක්කනේ වැඩ කරන්නේ. අවම වශයෙන් මිනිස්සු දහයකට වැඩි පිරිසක් වැඩකදි ඉන්නවානේ. එතකොට අපි ගෙදර අය ගැන හිතන්න ඕනේ. පවුලේ අය ගැන හිතන්න ඕනේ. හැමෝම ගැන හිතලා හරි පරිස්සමින් වැඩ කරන්න ඕනේ. කොරොනා අපේ ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයකටම විශාල බාධාවක් වුණා. ඒ වුණාට මේ වෙලාවේ පරිස්සමට තමයි මූලිකත්වය දෙන්න ඕනේ.

20210520oshadi-2

කලා ක්ෂේත්‍රයේ ශිල්පීන්ගේ ආර්ථිකයටත් ලොකු පහරක් එල්ල වුණා නේද?

ඔව්. ප්‍රධාන වශයෙන් ආර්ථික පැත්තෙන් කලා ක්ෂේත්‍රයේ ශිල්පීන් ශිල්පිනියන්ට ලොකු බිඳ වැටීමක් වෙලා තිබෙනවා. මේක කවුරුත් හිතලා ගෙන ආ දෙයක් නෙවෙයි. ඒ නිසා කාටවත් ඇඟිල්ල දිගු කරන්න අපිට බැහැ. ඒ වුණත් පරිස්සම් වෙලා හිටියොත් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. අපේ ක්ෂේත්‍රයේ සෑහෙන කොට්ඨාසයක් මේ වෙද්දිත් සෑහෙන අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. අපේ ආර්ථික මට්ටම තියෙන්නේ අපි කරන වැඩත් එක්කනේ.

ඔබව සිනමාව තුළින් ඉදිරියේදීත් දකින්න ලැබෙනවාද?

අළුතෙන් බාර ගත් සිනමා නිර්මාණ කිසිවක් නැහැ. අළුත් ස්ක්‍රිප්ට් දෙක තුනක් ආවා. නමුත් ඒවා කියවලා, මට ඒ චරිත ගැලපෙන්නේ නැහැ කියලා හිතුණු නිසා බාර ගත්තේ නැහැ. මම රංගනයෙන් දායකත්වය දුන් හැම චිත්‍රපටයක්ම මේ වෙද්දි තිරගත වෙලා අවසන්. මම දායකත්වය දීපු අන්තිම චිත්‍රපටය %මිස් ජෙනිස්^ චිත්‍රපටය. ඒත් මිස් ජෙනිස් චිත්‍රපටය කොරොනා තත්ත්වය නිසා සෑහෙන්න බිඳ වැටීමකට ලක්වුණා. මොකද මිනිස්සු සිනමා ශාලාවලට යන්න බයයි. මේ තිබෙන තත්ත්වයත් එක්ක අපිටත් කියන්න බැහැ ප්‍රේක්ෂකයන්ට සිනමාශාලාවලට ගිහිල්ලා අපේ චිත්‍රපටය බලන්න කියලා.

'මිස් ජෙනිස්'හි ඔබේ චරිතය ගැන කතා කළොත්?

මගේ චරිතයට පෞද්ගලිකවම මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒත් මම හිතන්නේ මම කලින් දායකත්වය දීපු චිත්‍රපට තරම් ප්‍රතිචාර ලැබුණේ නැහැ. මොකද මිනිස්සුන්ට චිත්‍රපටයක් බලන්න හෝල් එකකට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැනේ. මේ කෝවිඩ් කාල පරිච්ඡේදය තුළනේ චිත්‍රපටය තිරගත වුණේ. ඒ නිසා මිනිස්සුන්ට සිනමාශාලාවලට යන්න බියක් තිබුණානේ.

ඔබ යම් නිර්මාණයකට දායක වීමේදී මොනවා ගැනද හිතන්නේ?

මෙහෙමයි. අනිවාර්යයෙන්ම මට ලැබෙන චරිතය මොන වගේ චරිතයක්ද කියලා බලනවා. මට ලැබෙන චරිතය මගේ පෞද්ගලික ජීවිතයට ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් මම ඒක බාරගන්නවා. මට කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම බාර ගන්නවා. අපි ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න ඕනේනේ. අපේ ආසාවට චරිතයක් බාරගත්තට මදි. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ චරිතයට සාධාරණයක් කරන්න. එහෙම වෙනස් චරිතයක් ලැබුණත් මම ආසාවෙන් බාරගන්නවා.

දුෂ්ට චරිතවලට ආරාධනා ලැබිලා තිබෙනවාද?

ඇත්තටම මම දුෂ්ට චරිත කරලා නැහැ. මට දුෂ්ට චරිතයක් කරන්න හම්බෙලා නැහැ. මමත් ආසයි වෙනස් චරිතයක් කරන්න. පෙම්වතියගේ චරිතය තමයි වැඩියෙන්ම කරන්න ලැබිලා තියෙන්නේ. මියුසික් වීඩියෝ පැත්තේදී නම් ප්‍රේමවන්තියගේ චරිතය වගේම අම්මාගේ චරිතයත් කරන්න ලැබිලා තියෙනවා. ඔය දෙක ඇතුළේ තමයි තවම හිර වෙලා ඉන්නේ.

ඔබව ටෙලි තිරයේ දක්නට නොලැබෙන්නේ ඇයි?

ඔය ප්‍රශ්නේ ගොඩාක් අය අහනවා. ඇත්තටම මම කාර්යබහුල වෙන්න කැමති නැහැ. මම ඩ්‍රාමා එකකට කාලය ලබාදුන්නොත් ඒකෙන් මගේ පවුල් ජීවිතයට ප්‍රමුඛත්වය දෙන්න බැරි වෙනවා. මොකද හැමදාම වගේ ෂූටින් තිබෙනවා. ඩ්‍රාමා දීර්ග කාලීනව ඇදෙනවානේ.

බබා සහ සැමියා සමග ගත කරන ජීවිතේ කොහොමද?

පවුල් ජීවිතය පැත්තෙන් නම් ඇත්තටම ගොඩක් කාර්යබහුලයි. මගේ බබාට දැන් අවුරුදු එකහමාරක්. මේ එයා පොඩ්ඩක් දඟ කරන වයස. ඉතින් ඒ නිසා ටිකක් ඉවසීමෙන් වැඩ කරනවා. මටත් බබා ලොකු අත්දැකීමක්. හැමදේම මම ඉගෙනගනිමින් දවසින් දවස බබා එක්ක කාලය ගත කරනවා. එක් පැත්තකින් බබා සහ පවුලේ අය සමග හොඳින් කාලය ගත කරන්න ලැබුණා ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ. ඒක හොඳයි කියලාත් හිතෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට බබයි සැමියායි සමග තමයි කාලය ගත වෙන්නේ.

පැමිණි ගමන දෙස බලද්දි ඔබ තෘප්තිමත්ද?

මම හිතනවා මම ඉතා සාර්ථක ගමනක් ආවා කියලා. මොකද අද ක්ෂේත්‍රයට එන අය අද එනවා හෙට යනවා. ගොඩාක් අයට එහෙම තත්ත්වයක් තමයි තිබෙන්නේ. එයින් අතලොස්සක් තමයි කලා ක්ෂේත්‍රයේ නම තියාගෙන රැඳිලා ඉන්නේ. ඉතින් ඒ අතලොස්ස අතරේ මමත් ඉන්නවා කියලා මම හිතනවා. ඒ ගැන අවංකවම සතුටුයි.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මට පුළුවන් විදිහට කලා වැඩ කටයුතුවලට දායකත්වය ලබා දෙනවා. මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. කලා කටයුතු නවත්වන්නේ නැහැ. පවුල් ජීවිතයේ වැඩකටයුතුත් කරගෙන සමබරව ජීවත් වෙනවා. ඒ වගේම මම පොඩි ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ වැඩත් කරගෙන සතුටින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

කැළුම් දේවින්ද

20210520oshadi-3 20210520oshadi-4 20210520oshadi-5