විවාහ වුණා කියලා කවදාවත් මට වැඩ නම් අඩු වුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෘත්තිය මට්ටමේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ධනංජි තාරුකා නිරන්තරයෙන්ම කලා ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වන යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවලද ටෙලි නාට්‍යය කිහිපයකම ප්‍රේක්ෂක ඔබ හමුවන ඇය පසුගියදා පැවැති ‘සුමති’ ටෙලි සම්මාන උළලේදි සම්මානයකටද හිමිකම් කිමට සමත් වූවාය.

ටෙලි නාට්‍යය කිහිපයකම අපි ඔබව මේ දිනවල දකිනවා?

ඔව්, ‘ඉලංන්දාරියා’ හා ‘හොඳ වැඩේ’ කියන ටෙලි නාට්‍යවලින් මාව මේ දිනවල දකින්න පුළුවන්. ‘ඉලංන්දාරියා’ ටෙලි නාට්‍යයේ මා රඟපාන්නේ ‘සිත්මා’ කියන චරිතය. ‘හොඳ වැඩේ’ ටෙලි නාට්‍යයේ මා රඟපාන්නේ ‘නදී’ කියන චරිතය. ‘නදී’ කියනවට වඩා අද වෙන කොට බොහෝ දෙනෙකු මට ප්‍රතිචාර දකවන්නේ ‘පැපරාසි නදි’ කියන නමින්.

ඔබගේ චිත්‍රපට හා ටෙලි නාට්‍යය කිහිපයකුත් ඉදිරියට එන්න තියෙනවා නේද?

‘වැලිපහුරු’ හා ‘සීමා නැ ආකාසේ’ චිත්‍රපටයෙන් පස්සේ මම චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වුණ. මම හිතන්නේ නුදුරේම ‘නිහඬ සෙවණැලි’ කියන චිත්‍රපටය ප්‍රදර්ශනය වේවි කියලා. මොකද, මේ ටෙලි නාට්‍යය ප්‍රදර්ශනය වෙන්න දින නියම වෙලා තිබුණාත් ‘කොවිඩ්’ වසංගත තත්ත්වයත් සමග එය කල් ගියා. ඊට අමතරව ‘සනී බනි හනී’ කියලා කොමඩි විදිහට නිර්මාණය වුණ තවත් චිත්‍රපටයකටත් මම සම්බන්ධ වුණා. ටෙලි නාට්‍යය පැත්තෙන් ගත්තෙත් ‘21’, ‘රගුන්ගිර’ හා ‘සිප්පිකටු’ ඉදිරියට විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා.

මෑතකදි හමුවුණ සම්මානය ගැනත් කියමු?

‘සුමති’ ටෙලි සම්මාන උළලේදි ‘සුසුමක ඉම’ කියන ටෙලි නාට්‍යයේ ‘මාලිකා’ කියන චරිතයට මට ‘කුසලතා’ සම්මානයක් ලැබුණා. ප්‍රධාන ටෙලි සම්මාන උළෙලක රංගනය වෙනුවෙන් මට ලැබුණ පළමු සම්මානය මේක. ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනා ‘සුසුමක ඉම’ ටෙලි නාට්‍යයට මා සම්බන්ධ කරගත් එහි නිෂ්පාදිකා අයෝෂා අබේගුණරත්නට. ඇය තමයි මට ගොඩක් උදව් කළේ. ඊට අමතරව එම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ මහේන්ද්‍ර කුලසිංහ හා තිර රචනා කළ ලලිත් කුලතුංග දෙදෙනාවත් විශේෂයෙන් මේ මොහොතේදි මතක් කරන්න ඕනා.

‘සුසුමක ඉම’ ටෙලි නාට්‍යයේ ඔබට ලැබුණේ චරිතය මතකද?

ඔව්, වෙරළබඩ ආශ්‍රීත ජිවත්වෙන දඟකාර තරුණියක්. ඇය ප්‍රෝඩාවෙන් ජිවත් වෙන තරුණයෙකු අතින් අමාරුවේ වැටෙනවා. අවසානයේ ගැබිණියක් බවට පත් වෙන ඇයව කාරුණික තරුණයෙක් භාරගන්නවා. විශේෂත්වය වෙන්නේ ඇයව භාරගන්න තරුණයා ඇයට ඊට කළින් ආදරය ප්‍රකාශ කරලා ප්‍රතික්ෂේප වුණ කෙනෙක්. මේ ටෙලි නාට්‍යයේ මගේ අම්මාට රඟපැවේ නිල්මිණි කෝට්ටේගොඩ. මගේ අයියාට රඟපැවේ දැනට අනතුරකට ලක්වෙලා සුවවෙමින් සිටින චාමර අයියා. තව නිරුක්ෂාන් ඒකනායක හා සුදර්ශණ බණ්ඩාර මගේ පෙම්වතුන් ලෙස රඟපැවා. මේ හැම කෙනෙක්ම වගේ මට ගොඩක් උදව් කළා ‘මාලිකා’ කියන චරිතයට හොඳ සාධාරණයක් කරන්න.

ධනංජිට මිට කළින් සම්මාන ලැබිලා නැද්ද?

තියෙනවා. වේදිකා රංගනයේදි මට සම්මාන ලැබිලා තියෙනවා. පාසල් කාලේදී තමයි ගොඩක්ම සම්මාන ලැබිලා තියෙන්නේ. පාසල් වේදිකාව කියන්නේ මාව රංගන ශිල්පිනියක් කරන්න මුල්ම අඩිතාලම සැකසුණ තැන. ගොඩක් ඇගයිම් ලැබිලා තියෙනවා මට පාසල් වේදිකාවේදි. නමුත්, ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ මගේ රංගනයට පළමු වතාවට ඇගයිමක් ලැබුණේ පසුගිය ‘සුමති’ ටෙලි සම්මාන උළලේදි.

සම්මානයක් ලැබෙන්න තරම් චරිතයකට මෑතකදී ඔබ දායක වුණේ නැද්ද?

ගොඩක් වෙලාවට මාව යොදාගන්නේ කෙළිලොල් දඟකාර චරිතවලට. ඒ වගේ චරිතයකින් සම්මානයකට යන්න අමාරුයි. නමුත්, අහම්බෙන් මට හොඳ ටෙලි නාට්‍යය චරිත කිහිපයක් මගේ රංගන දිවියේදි මට ලැබුණා. ඒ අතරින් එකක් තමයි ඉදිරියට විකාශය වෙන්න තියෙන ‘රකුන්ගිර’ කියන්නේ. එහි මා ‘පංචාලී’ කියන චරිතය නිරූපණය කරනවා. ‘පංචාලී’ කියන්නේ අතිදක්ෂ සටන් ශූරියක්. ඒ වගේම ඇය අතීතයේ සිටි බිසවුන් වහන්සේ කෙනෙකුගේ මතු ආත්මයක්ද වෙනවා. ඇත්තටම ඒ චරිතය තුළ මම මගේ රංගන හැකියාවන් උපරිමයෙන්ම ඉදිරිපත් කළා කියලා මට හිතෙනවා. නමුත්, සම්මානයක් සඳහා එය ප්‍රමාණවත් වෙයිද කියලා දන්නේ නැහැ ඉතින්.

විවාහයෙන් පස්සේ රංගන ශිල්පින්ට ගොඩක් වෙලාවට වැඩ ලැබෙනවා අඩුයි. ධනංජිටත් ඒ ගැටළුව තියෙනවාද?

නැහැ. විවාහ වුණාට පස්සේ තමයි මම ගොඩක්ම වැඩ කළේ. සමහර අවස්ථා වලදි මට ලැබුණ වැඩ ගොඩක් මම ප්‍රතික්ෂේප කළා. මොකද, විවාහයත් එක්ක ගොඩක් වගකිම් වැඩියි. රංගනයට වඩා මුලීකත්වය දෙන්න ඕනා මගේ පෞද්ගලික ජිවිතේ පැත්තට. ඒ වගේම මගේ සැමියා දේවනක වීරනායක සමග මම ව්‍යපාර කිහිපයක් පසුගිය කාළේ ආරම්භ කළා. ඒ වැඩ නිසා ගොඩක් වැඩ භාරගත්තේ නැහැ. කොහොම වුණත් අදටත් මට රඟපාන්න බොහෝ කලා නිර්මාණ ලැබෙනවා.

කත බහා - බුද්ධික සේනාධීර

20210411Dananji (1) 20210411Dananji (2) 20210411Dananji (3) 20210411Dananji (4)