සොනක්ෂි මට වැඩියෙ ලස්සනයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර සහ චාමර සමරවික්‍රමගේ දායකත්වයෙන් නිර්මාණය වූ ‘නාඩගම්කාරයෝ’ ටෙලිවෘත්තාන්තය මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කෙරෙනවා. බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශය වන මෙහි ප්‍රවීන මෙන්ම නවක ශිල්පීන්ගේ රංගනය ඉතා තාත්වික බව වැඩි දෙනකුගේ අදහසයි. එලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ‘නාඩගම්කාරයෝ’ ටෙලිතිරයේ වැඩ පෙන්වන මොහොතක, මේ කතාබහ එහි ‘සිඟිති’ හෙවත් ‘ජානු’ ලෙස චරිත රංගනයක යෙදී සිටින නවක රංගන ශිල්පිනී මධුශානි පෙරේරා සමගයි.
‘අදත් රෑ වෙලා, මෙච්චර කල් රඟපානවා කියලා ගිහින් උඹ රඟපාපු ඒවා මොනවද කියලා කියහං බලන්න.’ නාඩගම්කාරයෝ නාට්‍යයේ මේ දෙබස් කිව්වෙ, එහි සිඟිතිගෙ අම්මා ලෙස සිටින, හෂිනිකා කරල්ලියද්ද සහ තාත්තාගෙ චරිතය රඟපාන ගිරිරාජ් කෞෂල්‍යයයි.

• මධුශානි, මේ දෙබසෙ ඉතුරු ටික කියමු?

‘තාත්තලා යූටියුබ් බලනවද? නෑනේ.
ඉබ්බයි-කබ්බයි යූටියුබ් චැනල් එකේ හැම කොමඩි එකකම ඉන්නෙ මම...’
මම ඒ විදියට කිව්වාම මගේ තාත්තාට රඟපාන ගිරිරාජ් කෞෂල්‍ය මහතා එතකොට මගෙන් ඇහුවා,
‘උඹ ඉන්නෙ ඉබ්බටද කබ්බටද’ කියලා.
ඔය දෙබස හැමෝම අතර හරි ජනප්‍රිය වුණා. සමහර වෙලාවට සමහර රසිකයින් අද මගෙන් අහන්නෙ ඉබ්බද? කබ්බද? කියලයි.

• නාඩගම්කාරයෝ නාට්‍යයේ ‘සිඟිති’ හෙවත් ‘ජානු’ වූ මධුශානිට ගෙදර අය කොහොමද අමතන්නෙ?

‘දුව’ කියලා.

• ගෙදර විස්තර කියමුකො බලන්න?

අම්මයි, තාත්තයි, අයියයි, මමයි. අයියා ඉන්නෙ විදෙස්ගත වෙලා.

• මධුශානිගේ අද බලාපොරොත්තුව දිගටම රංගනයේ යෙදෙන්නද?

අද එහෙම වෙන්න වෙලා. ‘රාවණා’ නාට්‍යයෙන් පටන් ගත්තෙ. ‘නාඩගම්කාරයෝ’ මගේ දෙවැනි රංගනයයි.

• තව කීයකට ආරාධනා ලැබිලා තියෙනවද?

කීපයක්ම තියෙනවා. ඒත් තවම ස්ථිරව ගිවිසුමකට ඇවිත් නැහැ.

• ‘සිඟිති’ හෙවත් ‘ජානු’ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ජානු කියන්නෙ කටකාර දඟකාර, අම්මට – තාත්තාට එකට එක කියන කෙනෙක්. දැන් මට එක එක නම්වලින් කතා කරනවා. සිඟිති කියනවා, ජානු කියනවා. ඒ වගේම උළු කැටේ කියලත් කියනවා. ලැබෙන ප්‍රතිචාර හොඳයි.

• ජානුගෙ හිතවතා මාලන්. ඒ වගේ තරුණයෙක් මධුශානිට හැබෑවට හමුවුණොත්?

ඒ වගේ චරිත සමාජයේදී අපි දැකලා තියෙනවා. මේ නාට්‍ය වෙතින් පෙන්වන්නෙත් සමාජයේ අපට දකින්න ලැබෙන ඇත්ත චරිත.

• සැබෑ ජීවිතයේදී ඔබගෙ පුද්ගලික කැමැත්ත මොනවගේ ගති පැවතුම් තියෙන චරිතයකටද? මේ නාට්‍යයේ විදියට සරා ද? මාලන් ද?

මේ දෙන්නම චරිත විතරයිනෙ. සැබෑ ජීවිතයේ කැමැත්ත චරිතවලට සාපේක්ෂව සසඳන්නට බැහැ. කොහොම වුණත් සරාගෙ චරිතය රඟපාන සජිත සහ මාලන් වූ කෝකිල අයියලා දෙන්නාගෙ රඟපෑම් නම් අතිවිශිෂ්ටයි. මගේ චරිතය රඟපාන්න මේ නාට්‍යයේ ප්‍රවීනයෝ ඔක්කෝමලා මට හරියට උදව් කරනවා. කෝකිල (මාලන්) හරිම මිත්‍රශීලී කෙනෙක්. මගේ චරිතය වැඩි හරියක්ම ගැටෙන්නෙ එයා එක්කයි. මුලදි මම බොහොම බයෙන් දර්ශන තලයට ගියේ. ඒත් එයා මට බොහෝ දේ කියා දීලා මාව සැහැල්ලුවට පත්කළා. සජිත අයියා මම හිතාගෙන හිටියට වඩා හරිම හොඳ කෙනෙක්. අඩුපාඩු පෙන්වලා මට හරියට උදව් කරනවා. 

• තාත්තා වූ ගිරිරාජ් ප්‍රවීනයා එක්ක රඟපාද්දි සිදුවූ සිදුවීම් මොනවද?

‘ජානු’ කියන්නෙ කට වහගෙන ඉන්න තරමට හොඳ කෙනෙක්. හැබැයි කට ඇරියොත් ඉවරයි. මුලදි මම ඒ චරිතයට ප්‍රවේශ වුණා ටිකක් මදි කියලයි අධ්‍යක්ෂතුමා කිව්වෙ. ඊට පස්සෙ ගිරිරාජ් මහතා මට බොහෝ දේ කියා දුන්නා. ඒ වගේම මම නිතර බනින චරිතයක් තමයි රත්නෙ. රත්නෙට රඟපාන්නෙ අධ්‍යක්ෂ සිවගුරුනාදන් මහතාගෙ පුතා. අධ්‍යක්ෂ ඉස්සරහදී එයාගෙ පුතාට බනින එක සෑහෙන අසීරු දෙයක් වුණා. ඒත් මම ඒ අසීරුතාව දරාගෙන ඒ අවස්ථාවට මුහුණ දුන්නා.

• හැබෑවට ‘මධුශානි’ මොන වගේද?

පෙරපාසල් ගිය කාලයේ ඉඳලාම මම එච්චර කලබල කෙනෙක් නෙවෙයි. යාළුවෝ එක්ක සෙල්ලම්වත් කරන්න එළියට ගිය කෙනෙක් නෙවෙයි. පාසලේ ලොකු පංතිවලට ගියාමත්, මගේ දෙපැත්තෙ ඉන්න දෙන්නා එක්ක විතරයි වැඩිපුරම හිටියෙ. මොන්ටිසෝරියෙදි මම ඉගෙන ගත්ත ටීචර් මට ළඟදි හම්බවුණාම, එයා මගේ දිහා බලලා පුදුමයෙන් වගේ කිව්වෙ, ‘අනේ මට හරි සතුටුයි, අද ඔයා මේ විදියට රඟපාන එක ගැන’ කියලයි. එදා මම ගතකළ විදිය එක්ක ටීචර් කවදාවත් හිතන්න නැතුව ඇති මම මේ විදියට රඟපාවි කියලා. හැබැයි එළියෙදි එහෙම වුණාට ගෙදරදි මම නිතරම අයියා එක්ක රණ්ඩු කරගත්ත කෙනෙක්. එයත් ඉතින් මාව අවුස්සනවා. එතකොට මම ඇවිස්සෙනවා. ගෙදරදි තමයි ඔක්කොම දඟ වැඩ ටික කරන්නෙ.

• ‘ජානු’ ගැන ‘මධුශානි’ට කොහොමද හිතෙන්නෙ?

එයා එහෙම නරක චරිතයක් නෙවෙයි. ගැහැනු ළමයෙක් රෑ වෙලා ගෙදර එද්දි සමහර අය හිතන්නෙ එයා මහ නරක ගැහැනු ළමයෙක් විදියටයි. හැබැයි තමුන්ගෙ අරමුණට යද්දි, ඒ වැඩේ වෙනුවෙන් එයා කැපවෙනවා හැර වැරදි දේ කරන කෙනෙක් නෙවෙයි.

• ඇත්තම කියන්න, මධුශානිගෙ සැබෑ ආදරය කොහොමද?

තවම ආදරය හොයමින් ඉන්නෙ.

• මොන වගේ ආදරයක්ද හොයන්නෙ?

හොඳ කෙනෙක් හමුවේවි කියලා හිතනවා. අදහස් හොඳ අපි හැමෝටම ආදරය කරන කෙනෙක් තමයි හොඳ.

• ආදරය කරලම නැද්ද?

දැනිච්ච අවස්ථා තිබුණා. දැන් නම් එහෙම ආදරයක් නැහැ.

• ආදරය ගැන හිතන්නෙ මොන විදියටද?

දෙන්නාට දෙන්නා අතර ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතු දෙයක්. එකිනෙකා හොඳින් අවබෝධ කරගෙන ආදරයෙන් හොඳින් ඉන්න පුළුවන් නම් ආදරය හැමදාටම ලස්සන වේවි.

• මධුශානි, හින්දි නිළි සොනක්ෂි වගේ කියලයි සමහරු කියන්නෙ?

එයා මට වැඩිය ගොඩක් ලස්සනයි. එයාගේ චිත්‍රපටත් මම නරඹලා තියෙනවා.

• අද මධුශානිට මධුශානි ගැන හිතෙන්නෙ කොහොමද?

මං ඉතින් කාටවත් වැරැද්දක් කරන්නෙ නැතුව මගේ විදියට මගේ ගමන යන කෙනෙක්. කවදාවත් නොහිතපු විදියට, ජීවිතේ නොසිතූ දේ සිද්ධවුණා. මේක හරියට අහම්බයෙන් හම්බවුණ පිනක්, වාසනාවක් කියලයි හිතෙන්නෙ. මියුසික් වීඩියෝවල හිටියට, ටෙලිඩ්‍රාමා රඟපෑම ගැන කවදාවත් හිතුවෙ නැහැ. ඒත් ඒ දේවල් නොසිතූ විදියට සිද්ධවුණා. රඟපෑමේ අංශයට ආවේ නැත්නම් දිගටම නිරූපණය විතරක් කරාවි.

• මධුශානි, ලස්සනයි කියලා හිතනවද?

මට නිතරම හිතෙන්නෙ මම කැතයි කියලයි. අපෙ අයියත් නිතරම මට කියන්නෙ ඔයා කැතයි කියලයි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20210306Madushani-1 20210306Madushani-2 20210306Madushani-3