අන්තිම මොහොත වෙනකල් මම අවුරුදු කුමරිය වෙයි කියලා හිතුවේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ චමදරි එහෙමත් නැත්නම් කෝලම් කුට්ටම් ටෙලි නාට්‍යයේ සංගීතා ලෙස ප්‍රේක්ෂක ඔබ හමුවට එන සචින්ත්‍යා අරුන්දතී වර්තමානයේ අප කාගෙත් ආදරය දිනූ නවක රංගන ශිල්පිණියකි.

ඔබට කලා ක්ෂේත්‍රයට එන්න මාවත සැකසුණේ කොහොමද?

ගිය වසරේ සිරස වසන්ත කුමරිය ලෙස කිරූළ දිනාගත්තේ මම. ඒ හරහා තමයි මට කලා ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ. විණාවි රංගන පාසලෙන් තමයි මම රංගනය ගැන ඉගෙන ගත්තේ. ධනුෂ්ක රත්නායක අයියා, සද්ධා මංගල සූරියබණ්ඩාර මහත්මයා මඟ පෙන්වීඹ හරහා තමයි මම කලා ක්ෂේත්‍රයට ආවේ. ඒ වගේම ප්‍රියන්ත ලලිත් මහත්මයාවත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා.

මතකද අවුරුදු කුමරිය ලෙස කිරූළ පැළැන්ඳුව මොහොත?

ඒක නම් මට කවමදාකවත් අමතක නොවන මොහොතක්. කොටින්ම කිව්වොත් මගේ ජිවීතේ හැරවුම් ලක්ෂය තමයි සිරස වසන්ත කුමරිය ලෙස කිරූළ දිනා ගැනීම. හරියටම වසරක් වෙනවා ඒ සිදුවීමට මම මුහුණ දීලා. ගිය වසරේ පැවති සිරස වසන්ත කුමරිය විදිහට තමයි මම තේරුණේ.

ඒ තරගයට එකතු වුණේ කොහොමද?

මම තමයි අයදුම් කළේ. ඒ මගේ යාළුවන්ගේ හා මගේ නැන්දාගේ දුවගේ ඉල්ලීම මත. හැබැයි මගේ පවුලේ අය නම් කැමතිම වුණේ නැහැ අවුරුදු කුමරිය තරගයට මම සහභාගි වෙනවට. විශේෂයෙන්ම මගේ අප්පච්චි. පස්සේ කොහොම හරි මගේ නැන්දා මට අවස්ථාව අරන් දුන්නා තරගයට යන්න.

අවුරුදු කුමරිය තරගයේ පළමු දවස කොහොමද?

ගොඩක් තරගකාරියන් ඇවිල්ලා හිටියා. මම හිතන්නේ තුන්සියක් විතර එතැන කට්ටිය හිටියා. නමුත්, වට කිහිපයකින් පස්සේ ගොඩක් අය මේ තරගයෙන් ඉවත් වුණා. කොහොම හරි මගේ ඉලක්කය වුණේ අවසන් තරගකාරියන් 12 දෙනා අතරට එන්න විතරයි.

ඒ කියන්නේ මෙහි කිරූළ ඔබට හිමිවෙයි කියලා හිතුණේ නැද්ද?

නැහැ. මොකද, මට වඩා ගොඩක් ලස්සන අය හිටියා. ඒ වගේම දක්ෂ අය. ඒ නිසා මම හිත හදාගෙන හිටියේ අවසන් තරගකාරියන් 12 දෙනා අතරට එන්න විතරයි. හැබැයි මගේ අප්පච්චි ලොකු විශ්වාසයක් තියාගෙන හිටියා. අප්පච්චි නිතරම කියපු දෙයක් තමයි ඔයාට මේ තරගයේ දිනන්න පුළුවන් කියලා.

අවසානයේ ඔබ සිරස වසන්ත කුමරිය ලෙස කිරූළ දිනාගන්නවා?

අවුරුදු කුමරිය කවුද කියලා කියන්න කලින් වැඩසටහන කරපු කෙනා කිව්වා මට මතකයි මේ තරගයේදී ලස්සන විතරක් වැදගත් නැහැ ඒකට වාසනාවත් තියෙන්න ඕනා කියලා. එතකොට මට හිතුණා ඒ වාසනාවන්ත කෙනා සමහර විට මම වෙන්නැති කියලා. මොකද, අවසන් තරගයට තේරුණු අනිත් අයත් එක්ක බලද්දි මට වඩා ගොඩක් ලස්සන අය එතැන හිටියා. ඉතින් අන්තිම මොහොතේ වෙනකම් මම හිතු‍වේ නැහැ මට මේ කිරූළ හිමිවෙයි කියලා. කොහොම හරි අවසානයේ මට මේ කිරූළ ලබන්න මම වාසනාවන්ත වුණා.

මීට කලින් ඔබ අවුරුදු කුමරිය තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවද?

ප්‍රසිද්ධ ඒවාට නම් මම ගියේ සිරස වසන්ත කුමරිය තරගයට විතරයි. මම අධ්‍යාපනය ලැබුවේ නුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ. 2018 වසරේ එහි තිබුණ අවුරුදු කුමරිය තරගයක මම අවුරුදු කුමාරිය වුණා. ඊට පස්සේ මම සහභාගි වුණ එකම තරගය තමයි සිරස වසන්ත කුමරිය.

කලාවත් සමග ඉදිරියට යන්නද දැන් ඔබගේ අදහස?

දැනට මම උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා. ඉතින් ඒ ක්ෂේත්‍රයක් හරහා රැකියාවකට යොමු වෙන්න තමයි අදහස් කරමින් ඉන්නේ. නමුත්, කලාව අත්හරින්නත් මගේ සූදානමක් නැහැ. කවදාහරි සම්මානනීය රංගන ශිල්පිණියක් වෙන අදහසින් මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්නවා.

බුද්ධික සේනාධීර