අපි පොඩි කාලේ අත්විඳපු අවුරුදු සිරිය දැන් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විවාහක රුපරාජිණියක් ලෙස ලෝක මට්ටමේ ජයග්‍රහණයක් අත්කරගත් හර්ෂනි වෙළගෙදර කාලයක් තිස්සේ ඩුබායි හි සිය පවුල සමග ජීවත් වු අයෙකි. කාලයකට පසුව ඇය අවුරුදු සැමරීම සඳහා තම මව් බිමට පැමිණ සිටියි. මේ නිසාම අප මෙවර ඇයගෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ඇති සූදානම කෙබඳුදැයි විමසුවා.

 
මෙවර අලුත් අවුරුද්ද හර්ෂණිට විශේෂයි නේද?
 
ඔව්, මොකද, මම අලුත් අවුරුද්දට ලංකාවට ආවේ අවුරුදු දහයකට පස්සේ නිසා. පසුගිය අවුරුදු කිහිපයේදීම මම අලුත් අවුරුද්ද සැමරුවේ ඩුබායිවල මගේ සැමියා හා පුතා එක්ක. නමුත්, මේ සැරේ මම මගේ මව්බිමේ මගේ ආදරණියන් එක්ක අලුත් අවුරුදු සමරනවා. ඒ හින්දා ඉතින් මේ පාර අලුත් අවුරුද්ද ගොඩක් මට විශේෂ එකක්.
 
අලුත් අවුරුද්දට තව විශේෂ වැඩකුත් වෙනවා?
 
ඔව්, ලංකාවට ආපු ගමන් මම අනුරාධපුරේ බුදුගේහින්න මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට පාසල් පොත් හා පාසල් උපකරණ ලබා දුන්නා. මේ පාසල ඉතා දුෂ්කර පාසලක්. පොඩි කාලේ මම මේ පාසේල අධ්‍යාපනය ලැබුවා. ඉතින් ඉගෙන ගත්ත පාසලට යමක් කරන්න ඕනා කියලා මම කාලයක ඉඳලා හිතපු දෙයක්. ඉතින් මේ පාර ලංකාවට ඇවිල්ලා ඒ හිනේ ඉටු කරගන්න අවස්ථාවක් මට ලැබිලා තියෙනවා.
 
ඒ කියන්නේ හර්ෂණිට මේ සැරේ අවුරුදු ජයයි?
 
ඔව්, මාත් හිතනවා. කාලයකට පස්සේ නේ අලුත් අවුරුද්දට ලංකාවට ආවේ. ඉතින් මේ සැරේ අවුරුද්ද ජයටම සමරන්න ඕනා කියලා මට හිතුණා. අනික මගේ ආදරණියන් එක්ක කාලයකට පස්සේ නේ මම එකතු වෙලා අලුත් අවුරුද්ද සමරන්නේ. ඒක නිසා මේ අලුත් අවුරුද්ද හැකි උපරිම හොඳට මම සමරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා.
 
කැවිලි පෙවිළි එහෙම හදනවාද මේ සැරේ?
 
ඔව්, රසට කැවිලි හඳන්න මට පුළුවන්. විදෙස් ගත වෙලා හිටියත් ඒ පුරුදු දේවල් මට තාම අමතක නැහැ. ඉතින් මේ සැරේ මම ගෙදර හැම කැවිලි වර්ගයක්ම හදන්න හිතාගෙන ඉන්නවා. විශේෂයෙන්ම මුං කැවුම, කොකිස්. ඒවා තමයි මම කන්න ආසම කැවිලි වර්ග.
 
මතකද පොඩි කාලේ අවුරුදු සැමරුව හැටි?
 
කවදාවත් අමතක වෙන්නේ නැහැ ඒ කාලේ. අදටත් ඉතින් මම ඒ කාලේ මතක් කර කර සතුටු වෙනවා. අපේ දරුවොන්ට ඉතින් එහෙම අවුරුදු ආසිරියක් අද කාලේ දකින්න ලැබෙන්නේ නැහැ. පුංචි කණගාටුවකුත් තියෙනවා ඉතින් ඒ ගැන හිතද්දි.
 
අවුරුදු කාලේ වුණ අමතක නොවෙන සිදුවිම් එහෙම ඔබට මතක ඇති?
 
මට මතක හැටියට පොඩි කාලේ හරි අපුරු වැඩක් වුණා. මට හොඳ ලස්සන ඇඳුමක් ලැබුණා තැගි විදිහට. ඉතින් මම ඒකත් ඇදගෙන හරි උජාරුවෙන් ලස්සනට අනිත් අයට පෙන්න ඇවිදගෙන යද්දි අනේ දන්නේම නැතුව මාව මඩවලකට වැටුණා. මුළු ඇඟම මඩවලින් නැවිලා මම ඇඩුවා. මට ගොඩක් කෙන්ති මම ගොඩක් ආස කරපු ඒ ලස්සන ඇඳුම සම්පුර්ණයෙන්ම මඩවලින් නැවිලා තිබුණ නිසා. අදටත් ඒ සිදුවීම මට අමතක වෙන්නේ නැහැ.
 
බුද්ධික සේනාධීර
ඡායාරුප - සුපුන් උදයංග