අවුරුදු කුමරියක් වෙන්න අයෙත් බලාපොරොත්තුවක් තියෙනවා මට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ශිල්පිණියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි මලිෂා බණ්ඩාර මේ වනවිට රංගන ශිල්පිණියක් ලෙස ප්‍රේක්ෂක ඔබ හමුවට එයි. කලා ක්ෂේත්‍රය තම වෘත්තිය කරගැනීමේ අපේකෂාවෙන් පසුවන ඇය ඉදිරියේදී බොහෝ කලා නිර්මාණ ඔස්සේ ඔබට සමීප වීමට සූදානමින් සිටියි. මේ දිග හැරෙන්නේ මලිෂා අප සමග කළ කතා බහයි..

කලා ක්ෂේත්‍රයට ඔබගේ පිවිසිම සිදුවන්නේ කොහොමද?

මම කලාවට එන්නේ නිරූපණ ශිල්පිණියක් විදිහට. ඒ 2018 වසරේදී. බ්‍රයිඩ්ල් ෂුට්වලට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. හැබැයි මේක මම වෘත්තියක් විදිහට නෙමෙයි විනෝදේට වගේ තම ඒවාට එකතු වුණේ. පළවෙනි වැඩෙන්ම ලැබුණ අත්දැකිම් මත මට ආසාවක් ඇතිවුණා නිරූපිකාවක් විදිහට වැඩ කරන්න. ඔය විදිහට තමයි ඉතින් කලාවට සම්බන්ධ වුණේ.

ඔබ අවුරුදු කුමරියක් නේද?

ඔව් මේ වසරේ ස්වාධින රූපාවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ අයි. ටි. එන්. අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා. ජයග්‍රහණයක් ලබාගන්න නොහැකි වුණත් අවසන් තරගකාරියන් අතරට එන්න මට පුළුවන්කම ලැබුණා. මම හිතාගෙන ඉන්නවා ඉදිරි වසරේදිත් මෙවැනි තරගවලට ඉදිරිපත් වෙන්න.

අවුරුදු කුමරියක් වුණ බොහෝ දෙනෙකුගේ ඊළඟ පියවර තමයි රංගනය පැත්තට යොමු වීම?

ඔව්, ඒක ඇත්ත ගොඩක් දෙනෙකුගේ රංගන ක්ෂේත්‍රයට සම්බන්ධය වෙන හැරවුම් ලක්ෂ්‍යය එතැන කියලා මම දකිනවා. ඒ ආසාවෙන් තමයි මාත් අවුරුදු කුමරිය තරගයට සම්බන්ධ වුණේ.

ඒ කියන්නේ ඔබට දැන් රඟපාන්න ආරධනා එහෙම ලැබිලා ඇති?

ලැබිලා තියෙනවා. මම මේ වෙනකොට මගේ පළමු නාට්‍යයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ ‘දියණි’ කියන ටෙලි නාට්‍ය හරහා. ඒක මගේ පළමු අත්දැකීම. ඒ වගේම මම මේ දිනවල ‘රළු’ කියලා තවත් අලුත් ටෙලියකටත් සම්බන්ධ වෙලා තියෙනවා.

මලිෂාට රඟපාන්න පුළුවන්ද හොඳට?

මම හිතනවා මට පුළුවන් කියලා ආසාව කැපවීම එක්ක. රංගනය සම්බන්ධව මම මේ වෙනකොටත් හදාරමින් ඉන්නවා. බොහෝ දුරට එය ඉදිරියේදී මට පිටුවහල් වේවි කියලා හිතනවා.

කලාව වෘත්තියද? නැත්නම් වෙනත් ක්ෂේත්‍රයක ඔබ නිරත වෙනවාද?

ඇත්තටම මම ආසයි කලාව පැත්තට. ඉදිරියේදී එයම වෘත්තිය කරගන්න තමයි මම බලාපොරොත්තුව. මම හිතනවා මට ගොඩක් කැමැත්තෙන් මේ වෘත්තියේ වැඩ කරන්න පුළුවන් වේවි කියලා.

වැඩියෙන්ම ආස රඟපන්නද? නැත්නම් නිරූපණ කටයුතුවලටද?

මම ක්ෂේත්‍රයට ආවේ නිරුපිකාවක් විදිහට පස්සෙ රංගන ශිල්පියනියක් වෙන්න හීන දැක්කා. දැන් මම ඒ ක්ෂේත්‍රය දෙක තුළම වැඩ කරනවා. ඉතින් දෙකටම එක හා සමාන කැමැත්ත අද මට තියෙනවා කිව්වොත් හරි.

පාසල් කාලය මතකද?

ඔව් මම ගොඩක්ම ඇලුම් කරන කාලයක් මගේ පාසල් කාලයට. පාසල් යන කාලේ නම් නර්තනය හැදෑරුව. නමුත්, ඩ්‍රාමා පැත්තට ගියේ නැහැ. හැබැයි ඒ කාලේ ඉදන්ම මම ගොඩක් ආසවෙන් කරපු දෙයක් තමයි කලා ක්ෂේත්‍රය. පාසල් කාලයෙන් පස්සෙ ඒ දේ මට ලගා කරගන්න පුළුවන් වුණා.

තරුණීයක් විදිහට කලා ක්ෂේත්‍රය දකින්නේ කොහොමද?

තරුණියක් විදිහට මම දකින්නේ ඇත්තටම කලා ක්ෂේත්‍රය හොදයි. තරුණ.. දක්ෂ.. හොඳ.. කලාකරුවන් පිරිසක් බිහිවෙන්න හොඳ තෝතැන්නක්. හැමදේම හොදින් තේරුම් බේරුම් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි හොඳ අවධානයකින් මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න තරුණියන් වශයෙන් අපි දැනගන්න ඕනා කියලා තමයි මගේ නම් මතය.

අනවශ්‍ය යෝජනාවලට මුහුණ දිලා නැද්ද?

නෑ අනවශ්‍ය යෝජනා නම් මට ලැබිලා නෑ. අපි හොඳින් දැනගෙන මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරනවා නම් ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න අවස්ථාවක් ඇතිවෙන්නේ නැහැ.

පවුලේ අය කැමතිද ඔබ මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරනවට?

මුලින් නම් වැඩි කැමැත්තක් තිබුණේ  නෑ. පසු කාලීනව මගේ කැමත්තත් එක්ක සහා කලා ක්ෂේත්‍රයට මම සම්බන්ධ වීමත් සමග එයාලගෙ කැමත්ත මට ආශිර්වාදයක් විදිහට ලැබුණා.

බුද්ධික සේනාධීර