අවුරුදු දාහතරේ ඉඳන් නිරූපිකාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2021 වසරේ සියත මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගනු ලැබුවේ, සාදේ ග්‍රීන්වුඩ් විසිනි. මේ සමගම සුරූපි සාදේ ෆුවර්ටෝ රිකෝහි පැවැත්වූ ලෝක රූ රැජින තරගය නියෝජනයට වරම් ලබාගත්තාය. එහිදී Beauty with a purpose යටතේ හොඳම රූමතියන් 10 දෙනා අතරට ශ්‍රී ලාංකීය මේ රූ රැජින ඇතුළත් වුණා. නත්තලේ අසිරිය සමග සාදේ සමග අපි කතාබහකට මුල පුරමු. 

සාදේගේ ගම? 

“කොළඹම තමයි. උපන්නෙත් කොළඹදී.”

ෆැමිලි එක ගැන කියමු?

“මගේ තාත්තා බ්‍රිතාන්‍ය සහ ජර්මානු සම්භවයක් ඇති කෙනෙක්. අම්මා ශ්‍රී ලාංකික කාන්තාවක්. මට වැඩිමහල් සහෝදරියක් ඉන්නවා. අපි ඔක්කොමලා සතුන්ට හරිම ආදරේ පවුලක්. අසරණව සිටි සුනඛයින් දෙදෙනෙක් සහ අසරණව අනාත වෙලා සිටි පූසන් 15ක් අපි හදනවා. ඒ ඔක්කොම අපේ පවුල කියලයි අපි හිතන්නේ.” 

කොහොම ද මේ සතුන් ඔක්කොම රැක බලා ගන්නේ? කෑම දෙන්නේ? 

“මගේ අම්මා සෑම උදෑසනකම සෑම සවසකම එයාලට වෙනම කෑම හදනවා. එයාලට වෙනම බත් හැලියක් උයනවා එයාලට අවශ්‍ය දේ මිශ්‍ර කරලා.” 

 සාදේ නිතරම ගෙදර නැති එකේ කොහොම ද මේ සත්තු ටික බලා ගන්නේ? 

“ඇත්තටම අපට නිවසේ වැඩට උදව්වට කෙනෙක් ඉන්නවා. ඒ නිසා අපි එළියට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ.” 

මොන වගේ පවුලක් ද? 

“මගේ තාත්තා වැඩ කරන්නේ ව්‍යාපාර උපදේශකයකු ලෙස. මගේ අම්මා කලින් රැකියාව කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. දැන් එයා වැඩ කරන්නේ නැහැ. මගේ සහෝදරිය එංගලන්තයේ සිට රැකියාවක නිරත වෙනවා. මාත් ඉගෙන ගත්තේ එංගලන්තයේ. මගේ කුඩා කාලය ගැන කිව්වොත් අපි හැදී වැඩුණේ බෞද්ධ පරිසරයක. බෞද්ධාගමික පදනමක් අපට ලැබුණේ. ඒ නිසා මගේ පුද්ගලික ජීවිතයට බෞද්ධාගමික හරයක් ලැබුණු බව කියන්න පුළුවනි. බෞද්ධ පරිසරයක් යටතේ හැදී වැඩී ඒ සංකල්පවලට ලැදි අපේ ශ්‍රී ලාංකීය සංස්කෘතියට ලැදි උරුමයන් ඔස්සේ මෙතෙක් ජීවිතය ගත කිරීමට ලැබුණු බව කියන්න පුළුවනි.” 

දැන් වයස කීය ද? 

“අවුරුදු 19යි.” 

ඉගෙන ගන්නේ මොන වගේ අංශයකින් ද? 

“මම ඉගෙන ගන්නේ ජාත්‍යන්තර සබඳතා (ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්) අංශයෙන්. ටෝකියෝ ඉන්ටර්නැෂල් යුනිවර්සිටි එකේ මම සරසවි අධ්‍යාපනය ලබන්නේ. උපාධිය හමාර කළාට පස්සේ ලංකාවට ඇවිත් අපේ රටට සේවයක් කිරීම අරමුණයි.” 

සාදේ දන්නවා ද ඔබගේ නාමයෙහි තේරුම? 

“එය අප්‍රිකානු වචනයක්. එහි අරුත ‘ගෞරවයේ කිරුළ’ කිව්වොත් හරි. ‘ගෞරවයෙන් කිරුළ දැරීම’ කිව්වොත් වඩාත් හරි.” 

ඒ නිසාම ද රූ රැජින කිරුළ සොයා ගියේ? 

“ඒක ඇත්තටම අහඹු සිදුවීමක්. ගෞරවය ඔස්සේ කිරුළ ගෙන ඒම කියන අරුත ඔස්සේ නොවෙයි ශ්‍රී ලංකා රූ රැජින තරගයට අයදුම් කළේ. නමුත් කිරුළ හිමි වූ පසු රටට ලෝකයෙන් ජයග්‍රහණයක් ගෙන දීම අරමුණු කරගත්තා.” 

රූ රැජින තරගයකට ඉදිරිපත් වුණේ ප්‍රථම වතාවට ද? 

“ඔව්, ප්‍රථම වතාවටයි. වයස අවුරුදු 14 දී වගේ ඉඳලා මම නිරූපණ කටයුතුවලට දායක වුණා. අවුරුද්දකට විතර පෙර දී තමයි මම මේ තරගය ගැන දැන ගත්තේ. ෆේස්බුක් ඔස්සේ ඒ ගැන ප්‍රචාරය වුණා. මගේ පවුලේ කෙනෙක් තමයි මුලින්ම යෝජනා කළේ ඒකට යන්න කියලා. එතකොට මම සරසවි අධ්‍යනය පටන්ගෙන තිබුණෙත් නැහැ. පසුව මම මේ තරගයට අයදුම් කළත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තරගය පැවැත්වීම සිදු වුණේ නැහැ. නමුත් මේ වසරේදී අපේ අයදුම්පත්වලට අනුව මූලික පරීක්ෂණයට පෙනී සිටියා. පරීක්ෂණ මඩුල්ල මගෙන් විවිධ ප්‍රශ්න ඇසුවා. මම හිතන්නේ මම ඒවාට හොඳින් උත්තර දෙන්න ඇති.” 

සියත මිස් ශ්‍රී ලංකා රෑ රැජින වී ලෝකය නියෝජනයට වරම් ලැබුවාම මොන වගේ අදහසක් ද ඇති වුණේ? 

“මගේ රට නියෝජනය කිරීමට ලැබීම ලොකු ගෞරවයක් කියලයි දැනුණේ. ඉතින් රටට ගෞරවයක් ගෙන දීමට ඇත්නම් කියලා හිතුවා. කෝටි දෙක හමාරකට ආසන්න ජනතාවක් වෙනුවෙන් රට නියෝජනය කිරීමට ලැබීම මගේ කර පිට පැවැරුණු වගකීමක්. රට නියෝජනය කිරීමට ලැබීම ඔස්සේ අපේ රටේ සුන්දරත්වය ගැන මට ලෝකය ඉදිරියේ ප්‍රකාශ කරන්න පුළුවනි. මගේ රටේ වටිනාකම් ගැන මට ලෝකයට ප්‍රකාශ කරන්න පුළුවනි.” 

සාදේට සාදේ ගැන හිතෙන්නෙ මොන විදිහට ද? 

“ජීවිතය ගැන බොහෝම උද් යෝගිමත්ව සිතන කෙනෙක්. ජීවිතයේ අලුත් දේ සොයා යාමේ කුතුහලය මට තියෙන්නේ. උත්සාහ කරලා බැලීමෙන් මට අත්දැකීම් ලබාගන්න පුළුවනි. කිසිවක් නොකර ජීවිතයේ අත්දැකීම් ලබන්න අමාරුයි. ඒ නිසා විවිධ දේ කෙරෙහි සිත යොමු කරමින් බොහෝ දේ ගැන ඉගෙන ගන්න ආසයි.” 

ජීවිතය ගැන දැනගන්නෙ කොහොම ද? 

“ජීවිතයේ හොඳ නරක බොහෝ දේ සිදුවිය හැකියි. එහෙත් සුබවාදීව සිතා කටයුතු කිරීමට මම කැමැතියි. ජීවිතය කියන්නේ සෑම දෙයකම පාඩම් ඉගෙන ගනිමින් ඉදිරියට යා යුතු ගමනක්.” 

අපේ රට දියුණු කරන්නට නම් මොන විදිහේ දෙයක් කළ යුතුයි කියලා ද සාදේ යෝජනා කරන්නේ? 

“ජෛව විවිධත්වයෙන් ශ්‍රී ලංකාව කියන්නේ සම්පතක්. ලොකයේ ඒ වගේ තවත් රටක් නැති තරම්. ඒ නිසා අපට අපේ රටේ සම්පත් ආරක්ෂා කරගැනීම කාගේත් වගකීමක්. අපේ රටේ තේ කුරුඳු වගේ දේ ඉහළ ගුණාත්මක බවින් යුතුයි. අපට තියෙන්නේ සුන්දර වෙරළ තීරයක්. මේවා සංචාරක කර්මාන්තය නංවාලීමට මහඟු සම්පත්. වෙරළ සංරක්ෂණ කටයුතු ආදිය වෙතින් ඒ සුන්දරත්වය ආරක්ෂා කරගත හැකියි. පුද්ගලිකව ගත්තොත් මම ඒ වගේ දේවලට දායකත්වය ලබාදීමට කටයුතු කරනවා. කුඩා ළමයින්ගේ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන්නත් මම උත්සාහ ගන්නවා. ග්‍රාමීය පළාත්වල දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට කටයුතු කිරීම මගේ අරමුණයි.” 

මොන වගේ විනෝදාංශ ද ඔබට තියෙන්නේ? 

“ස්වෙච්ඡා වැඩසටහන්වලට දායක වෙන්න කැමැතියි. විවිධ අංශවලට ස්වෙච්ඡා සේවය ලබාදීම මගින් ලොකු සතුටක් ලබන්න පුළුවනි. සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට කැමැතියි. ගායනය, කියවීම, කවි ලිවීම ඒ සියල්ල මගේ විනෝදංශයන් අතර වෙනවා. කවියට බොහොම ලැදි චරිතයක්.” 

සාදේ නත්තල ද සමරන්නේ? සිංහල අලුත් අවුරුද්ද ද? ඒ ගැනත් කිව්වොත්? 

තාත්තා ක්‍රිස්තියානි. අම්මා බෞද්ධ. අපි සියලු සංස්කෘතික අවස්ථා බොහෝ විට සමරනවා. සෑම ආගමකටම ගරු කරන පරිසරයක් අපට තියෙන්නේ. පුද්ගලිකව අපේ පවුල ගත්තොත් සර්ව ආගමික පවුලක්. ක්‍රිස්තියානි දහමට අදාළව තියෙන උත්සව නිවාඩු වගේම බෞද්ධ සංස්කෘතියට අදාළව තියෙන උත්සව චාරිත්‍රත් අපි සමරනවා.” 

තවත් මොනවා ද සාදේට කියන්න තියෙන්නෙ? 

“නිතරම තමුන් ගැන විශ්වාසය තබා කටයුතු කරන්න. කාරුණික වන්න. තමුන්ගේ සිහින සැබෑ කරගැනීමට යාමේදී කරන කියන සෑම දෙයකින්ම අවංක වන්න.” 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ