ආසාවට නැරඹුවත් ක්‍රිකට්වලට නම් මම දක්ෂ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රි ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය නිසාවෙන් බොහෝ පිරිසකගේ අවධානය දැන් ඒ වෙත යොමුව තිබේ. මේ නිසාම අප ජනප්‍රිය තරුවලින්ද ක්‍රිකට් ක්‍රීඩාව ගැන ප්‍රශ්න කිහිපයක් අසන්නට තිරණය කළා. මෙවර ඒ සඳහා එකතු වන්නේ ජනප්‍රිය රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වන නිමේෂා වැන්ඩොට්ය.

ක්‍රිකට්වලට තියෙන කැමැත්ත කොහොමද?

ලොකු කැමත්තක් තියනවා. හැබැයි ඒ කැමැත්ත ඇතිවුණේ මෑතකදී කිව්වොත් හරි. මොකද ඉස්සර මට ක්‍රිකට් ගැන උනන්ඳුවක් තිබුණේ නැහැ. දැන් හැමෝම කතා කරන ක්‍රීඩාවක් නිසා මාත් ක්‍රිකට් මැච් බලන්න පුරුදු වුණා.

නරඹපු හොඳම ක්‍රිකට් තරගය කුමක්ද?

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර මෑතකදී පැවති එක්දින තරගවලියේ සිවුවැනි තරගය.

නිමේෂා ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවාද?

එහෙම නැහැ. පාසල් යන කාලේ නම් පිරිමි ළමයි එක්ක ආසාවට ක්‍රිකට් ගැහුවා. ගෙදර යාළුවෝ පොඩි අය වගේ එකතු වුණ දවසක ක්‍රිකට් සෙල්ලම් කරනවා.

දක්ෂ බැට් කරන්නද? බෝල් කරන්නද?

දෙකටම නැහැ. ආසාවට ක්‍රිකට් තරග නැරඹුවට ක්‍රීඩාවට නම් මම දක්ෂ නැහැ. ඇත්තම කියන්න ඕනානේ.

කැමතිම ක්‍රිකට් කණ්ඩායම මොකක්ද?

ශ්‍රී ලංකා කණ්ඩායම තමයි. ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායමටත් මම ගොඩක් කැමතියි.

අන්තිමට නරඹපු ක්‍රිකට් තරගය මතකද?

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා විස්සයි 20 තරගාවලිය හා එක්දින තරගාවලිය නැරඹුවා. ටෙස්ට් තරගත් අවස්ථා කිහිපයකදි බැලුවා මම.

කැමතිද ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයා හා පිටරට ක්‍රිකට් ක්‍රීඩකයා කවූද?

ලංකාවේ නම් දසුන් ශානකට කැමතියි. විදෙස් ක්‍රීඩකයින් අතරින් නම් ඔස්ට්‍රේලියානු එක්දින හා විස්සයි 20 නායක ආරොන් පින්ච්ට කැමතියි.

ඒ අයට කැමති වෙන්න හේතුව?

දෙන්නාගේම දක්ෂතාවලට කැමතියි. ඒ වගේම ඔවුන් මහත්මා ගුණයෙන් පූර්ණ වුණ ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නෙක් කියලත් මට හිතෙනවා.

ක්‍රීඩකයෝ හම්බ වෙන්න අවස්ථාව ලැබිලා නැද්ද?

නිවේදන කටයුතුවලදි නම් මුණ ගැහිලා තියෙනවා. ඒ හැරෙන්න පෞද්ගලික මුණ ගැහිලා නැහැ. 

වෝනර්, ධනංජය, බුම්රාගෙන් කඩවසම් කවුද?

මට හිතන්නේ බුම්රා කඩවසම් කියල. 

ඔබ ක්‍රිකට් කණ්ඩායමක් නම් කළොත් කවුද ඔබේ ක්‍රීඩකයින්?

ඩිල්ශාන්, සනත් අයියා ආරම්භක පිතිකරුවෝ. සංගක්කාර, මහේල, භානුක රාජපක්ෂ, දසුන් ශානක පිතිකරුවෝ. වනිදු හසරංග, ඇන්ජලෝ, චාමික තුන් ඉරියව් ක්‍රීඩකයෝ. මහේෂ් තික්ෂණ, ලසිත් මාලිංග, චමින්ද වාස් පන්දු යවන්නෝ.

බුද්ධික සේනාධීර