ඇක්ට් කරන්න කරන්න මට ටැලෙන්ට් එකක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෘත්තිය මට්ටමේ නර්තන ශිල්පිණියක් වන නවෝ දිසානායක මේ වනවිට නිරූපිකාවක් ලෙසද කටයුතු කරමින් සිටියි. විවිධ කලා නිර්මාණ ඔස්සේ වර්තමානයේ දකින නවෝ මෙවර ‘සාරවිට’ තරු කතා බහට අප සමග මෙළෙස එක්වුණා.

නවෝ කියන්නේ කවුද අපිට අඳුන්වලා දෙන්න?

නවෝ කියන්නේ ඩාන්සින්වලට ගොඩක් ආස කරන කෙනෙක්. පොඩි කාලේ ඉඳලා මම ඩාන්සින් කරනවා. දැන් නම් මියුසික් විඩියෝ, ටිවි කමාර්ෂල් වලටත් මොඩල් කෙනෙක් විදිහට පොටෝ ෂූට් වගේ දේවලුත් කරනවා.

ඔබ දැනට කලා කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවාද ඒ මොනවද?

මම දැන් අවුරුදු පහක් විතර ඩාන්සින් ගෘෆ් එකක ඉන්නවා. ‘මුද්‍රිකා’ ඩාන්සින් ස්ටුඩියෝ කියලා. ඒ ඩාන්සින් ගෘෆ් එකත් එක්ක මම ඩ්‍රිම් ස්ටාර්, අවුරුදු ඉවෙන්ට් වගේ ෂෝවලට සහභාගි වෙලා තියෙනවා. ඊට අමතරව යොහනිගේ මියුසික් විඩියෝ තුනක විතර මම පෙනි ඉදලා තියෙනවා. මේ මෑතකදී නිකුත් වුණ ‘පිටුපාලා යන ඇස්’ කියන මියුසික් විඩියෝ එකෙත් මම ඇක්ට් කරලා තියෙනවා. තව මම ඇක්ට් කරපු මියුසික් විඩියෝ තුනහතරක් විතර ඉදිරියට එන්නත් තියෙනවා.

වෘත්තියෙන් ඔබ නර්තන ශිල්පිණියක් මුලින්ම ඊට අත්පොත් තැබු‍වේ කොහොමද‍?

මුලින්ම ඩාන්සින් පටන් ගත්තේ පොඩි කාලේ. මොන්ටිසේරි යන කාලේ ඉඳලා කිව්වොත් හරි. පාසල් යන කාලේ සමස්ත ලංකා තරගවලටත් ඩාන්සින් පැත්තෙන් ඉදිරිපත් වෙලා ගෝල්ඩ් මෙඩල් එහෙම දිනලා තියෙනවා මම. ඒ වගේම දෙරණ ‘ලිටර් ස්ටාර්’ රියලටි තරගයටත් මම සහභාගි වෙලා තියෙනවා.

රඟපාන්න නවෝ කැමති නැද්ද?

රඟපාන්න ආසයි. දැනට විකාශය වෙන ‘රැල්ල වෙරළට ආදරේයි’  කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. මම දැනට රැකියාවක් කරමින් ඉන්න නිසා ඒ අවස්ථාව මට නැතිවුණා. නමුත්, මම බලාපොරෙත්තුවෙන් ඉන්නවා ඉදිරියට හොඳ වැඩක් ආවොත් භාරගෙන ඇක්ට් කරන්න.

ඒ කියන්නේ නවෝට රඟපාන්න හැකියාව තියෙනවා?

ඇක්ටිං කරන්න මට ටැලෙන්ට් එකක් තියෙනවා කියලා මම හිතනවා. මම පොඩි කාලේ ඉඳලා ඩාන්සින් කරනවා. ඒ හින්දා කැමරාවක් ඉදිරියේ පෙනි ඉන්න තියෙන බය මගේ නැහැ. අනික මට දැන් මිනිස්සු ඉදිරියේ බය නැතුව කතා කරන්න පෙනි ඉන්න පුළුවන්. ඊට අමතරව මම මියුසික් විඩියෝ දැන් කිහිපයක පෙනි ඉඳලා තියෙනවා. ඒ හරහාත් මට යම් අත්දැකිමක් ගන්න පුළුවන් වෙලා තියෙනවා ඇක්ට් කරන එක සම්බන්ධව.

ඔබ ක්ෂේත්‍ර කිහිපයකම දැන් වැඩ කරනවා තරුණියන්ට මේ ක්ෂේත්‍ර සුදුසුද?

අලුත් අයට මේ ෆිල්ඩ් එක නෙමෙයි මොනවා කළත් අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕනා. ඒ වගේම කරන වැඩේ ගැන ලොකු අයිඩියා එකක් තියෙන්න ඕනා කියලයි මම නම් හිතන්නේ. මට කියන්න තියෙන්නේ තමන් කැමති දේ කරන්න. අනිවාර්යයෙන්ම කරන්න. හැබැයි කරන වැඩේ හැම වෙලාවේම ගෙදර අයව දැනුවත් කරන්න. නැත්නම් ඔවුන් සමග කරන වැඩේට යන්න.  එහෙම වුණොත් මම හිතන විදිහට මේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න පුළුවන් වේවි කියලා.

පවුලේ අයගෙන් ඔබ විතරද නර්තනයට දක්ෂ?

මම විතරක් නෙමෙයි මගේ නංගි, මගේ අක්කා ඒ දෙන්නත් ගොඩක් දක්ෂයි ඩාන්සින් වලට. අක්කයි මායි දෙන්නම එකම පාසලේ ඉගෙන ගත්තේ. අපි දෙන්නා එකම ස්ටේජ් එකේ නටලා තියෙනවා. නංගිත් එහෙමයි. නර්තනය කියන්නේ අපේ පවුලෙන්ම එන දෙයක් කිව්වොත් හරි.

අභියෝග භාරගන්න කැමතිද?

අභියෝග භාරගන්නවා කියන්නේ මම හැම වෙලාවේම උත්සාහ කරන්නේ හොඳ දෙයක් මා අතින් සිදුකරන්න. ඒ කියන්නේ කරන වැඩේට සියයට සියක් උපරිමය කරන්න. එහෙම නැතුව මෙච්චර මුදලක් දෙනවා මේ වැඩේ කරමුද කියල එහෙම දේවල්වලට මම එකග වෙන්නේ නැහැ. අපි කරන වැඩේ හොඳ ගුණාත්මක එකක් වෙන්න ඕනා. ඒ වගේ අභියෝග භාරගෙන වැඩ කරන්න මම කැමතියි.

නවෝ කියන්නේ මොන වගේ කෙනෙක්ද?

නවෝ කියන්නේ හැමෝම ආශ්‍රය කරන්න කැමති කෙනෙක්. ඒ වගේම එක වැඩකට විතරක් කොටු වෙලා වැඩ කරන්න අකමැති කෙනෙක්. ගොඩක්ම එයා ගෙදර අයත් එක්ක යාළුවොත් එක්ක ගැවසෙන කෙනෙක්. ගෙදර අය නම් කියන්නේ මම හරි කටකාරයි දඟකාරයි කියලා. නමුත්, මාව ආශ්‍රය කරපු ඕනැම කෙනෙක්ට හිතෙනවා මම හොඳ අවංක කෙනෙක් කියලා.

බුද්ධික සේනාධීර