ඇඟ පේන්න අඳින්නෙ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් චරිත අතර ලිහිණි එහෙම නැත්නම් චූටි මැණිකේ කියන්නේ වසර ගණනාවක් පුරාවට ප්‍රේක්ෂක ආදරය නොවෙනස්ව දිනාගත් ආදරණීය ලෙංගතු රංගන ශිල්පිනියක්.

ඉතින් මේ දිනවල චූටි මැණිකේ පුංචි තිරයේ මුණ ගැහෙන නවතම ටෙලි සිත්තම ‘‘ලොක්කි’’ ඇයගේ රංගන ජීවිතේ ඇයට ලැබුණු සුවිශේෂි අවස්ථාවක්. ආදරය, සෙනෙහස, සහෝදරත්වය සමග ජීවිතය දිනන්න වෙර දරන ‘‘ලොක්කි’’ ගැන කතා කරන්න ශලිනි ප්‍රනාන්දු අපිත් එක්ක එකතු වුණේ මෙලෙසිනි.

ශලිනි මුලින්ම ප්‍රේක්ෂකයා අතරට එන්නේ දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ හරහා. තාමත් චූටි මැණිකෙට එදා වගේම ආදරය ප්‍රතිචාර ලැබෙනව ද?

ඇත්තටම වසර හතරක විතර කාලයක් චූටි මැණිකෙට නොවෙනස්ව ප්‍රේක්ෂකයෝ ආදරය කළා. එදා චූටි මැණිකෙට ලැබුණු ආදරය, ප්‍රතිචාරය මෙච්චරයි කියලා මට වචනයෙන් කියලා නිමකරන්න බැහැ. විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. විශේෂයෙන් සමන් එදිරිමුණි අයියව ආදරෙන් මතක් කරනවා. මම ක්ෂේත්‍රයට එන්නේ සමන් අයියා අතින් ලියවුණු ලස්සන ගැමි පරිසරයක සැදුණු ලිහිණි (චූටි මැණිකේ) කියන චරිතය එක්ක.

ඇත්තටම නම් මේ දවස්වල නම් දෙවෙනි ඉනිමේ චූටි මැණිකෙට ප්‍රේක්ෂකයෝ ටිකක් බනිනවා. චූටි මැණිකෙට එදා ලැබුණු ආදරේ දැන් ටිකක් අඩු වෙලා කියලා හිතෙනවා.

ලිහිණි, අනුහස් ආදර කතාව මාර්ගය වෙනස් වෙමින් යන මොහොතක ඉස්සරහට මොනවා වේවිද?

ඉස්සර ලිහිණි අනුහස් වෙනුවෙන් බලා හිටියා. ඇත්තටම ඒ ආදර කතාව මටත් තේරුම් ගන්න බැරි තැනක දැන් තියෙන්නේ. දෙවෙනි ඉනිම පිටපත් රචක සමන් අයියා පසුගිය කාලේ කෙටි විවේකයක් ගත්ත නිසා පිටපත ලියවුණේ වෙනත් කෙනෙකු අතින්. සමන් අයියා පිටපත නොලියපු කාලේ ඇතුළත ලිහිණිගේ චරිතය හිතාගන්න බැරි තරම් ලොකු වෙනසක් වුණා. ඇත්තටම සමන් අයියා පිටපත් නිර්මාණය කරපු ලිහිණිව ප්‍රේක්ෂකයෝ හරිම ආදරයෙන් වැළඳ ගත්තා. සමන් අයියා පිටපතේ ගෙනාපු ලිහිණිව තමයි ප්‍රේක්ෂකයෝ හොයන්නේ. ඒත් එදා ආදරයෙන් වැළඳගත්ත ලිහිණි නැද්දෝ කියලත් හිතෙනවා. වෙනස් වෙලා ඉන්න ලිහිණිට ප්‍රේක්ෂකයෝ හරියට බනිනවා. ඒකට නම් ගොඩක් දුකයි. දැන් ඉන්න ලිහිණි ගැන ඇත්තටම මට කියන්න තේරෙන්නේ නෑ. බලමු ඉස්සරහට හැමදේම හොඳ විදිහට සිද්ධ වේවි කියලා හිතනවා.

අපි ලොක්කිගේ පැත්තට හැරුණොත් කොහොම ද ශලිනිට ‘‘ලොක්කිව’’ මුණ ගැහෙන්නෙ?

‘‘ලොක්කි’’ කියන්නේ මම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් පස්සේ ප්‍රධාන චරිතයක් රඟපාන දෙවෙනි අවස්ථාව. ලොක්කි ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණු විදිහටමයි. දෙරනේ ලක්සිරි සර් තමයි මට ආරාධනා කළේ. ගොඩක් සතුටුයි ලක්සිරි සර් හරහා ටෙලිනාට්‍ය දෙකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණ එකට.

‘‘ලොක්කි’’ පිටපත අතට ලැබුණම මොකද දැනුනේ?

පිටපත අතට දෙනකොටම කිව්වා මේක ප්‍රධාන චරිතයක්. ඇය වටා තමයි කතාව ගෙතෙන්නේ කියලා. ඇත්තටම ලක්සිරි සර් මේ චරිතයට මාව තෝරගෙන ටෙලිනාට්‍ය පිටපත අතට දුන්නම මට ලොකු බයක් දැනුනා. මේ චරිතය මට කරන්න පුළුවන් වේවිද කියන බය ආවා. මොකද මම අවුරුදු 4ක්ම ලිහිණි වෙලා. ලොක්කිගෙනුත් ලිහිණි මතු වේවි කියලා බය හිතුණා. ලොක්කිගේ ලිහිණි මතු වුණොත් වැඩේ අසාර්ථක වෙයි කියලා හිතේ ලොකු බයක් තිබුණා. විශේෂයෙන් මතක් කරන්න ඕන මෙහි අධ්‍යක්ෂවරයා හර්ෂ උඩකන්ද අයියා ලිහිණිව මතු නොවී ලොක්කිව මතු කරන්න මට විශාල සහයෝගයක් ලබා දුන්නා.
හිතුවෙත් නැති විදිහට ලොක්කිට ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තේ. ටෙලි නාට්‍ය පටන් ගන්නත් කලින් ඉඳලා පූර්ව ප්‍රචාරක හරහා ලොක්කි මුණ ගැහෙන්නේ කොටස් 14ක පොඩි කාලයක් වුණත් ලොක්කි ඇතුළේ මට කරන්න ගොඩාක් දේවල් තිබුණා.

‘‘ලොක්කිව’’ කොහොමද ශලිනිට දැනුණේ?

(ලොක්කි) සමාධි කියන චරිතය මට විශේෂයි. ඇත්තටම ලොක්කි කියන්නේ මට මුණ ගැහුණු අභියෝගයක්. ලොක්කි කියන්නේ වෙනස්ම චරිතයක්. මහා වගකීම් ගොඩක් මැද්දේ හිරවෙලා ඉන්න, තමන්ගේ ආදරය ඇස් පනාපිටම සින්න වෙලා යනවා බලා ඉන්න සිද්ධ වෙන, අසරණකම් අභියෝග සියල්ලම දරාගෙන ලොක්කි ප්‍රේමයක් හිත තුළම රඳවාගෙන පවුල වෙනුවෙන් දිවි ගමනේ දියුණුවේ මංපෙතට ගමන් කරනවා. බොහෝ බාධක පැමිණෙනවා. ඒත් ලොක්කි ඒකට නොසැලෙන යෞවනියක්. බාධක කම්කටොලු මැද්දේ ජීවිතය දිනන්න කැමති ලොක්කිලා කොච්චර ඇතිද... ඒ හැම ලොක්කියෙක්ටම මේ ලොක්කි ටෙලි නාට්‍ය ජීවිතය දිනන්න ශක්තියක් වේවි කියලා විශ්වාස කරනවා ඇත්තටම ලොක්කි කියන්නේ මගේ ජීවිතේට තදින්ම දැනුණු චරිතයක්.

මොකද ලොක්කි කියන චරිතය ඇතුළේ සංවේ දී සිදුවීම් ගොඩක් තියෙනවා. ඒ අතර මම ලොක්කි ඇතුළේ ජීවත් වෙන ගොඩක් තැන් තියෙනවා. ඇත්තටම සමහර දර්ශන මට කරගන්න බැහැ ඇඬෙනවා.

මට පිය සෙනෙහස අහිමි වෙන්නේ අවුරුදු හතරෙදී. තාත්තා නැතිවෙනකොට මට ලොකු තේරුමක් නැතත් ඒ හිඩැස මට තදින්ම දැනිච්ච අවස්ථා තියෙනවා. ලොක්කි ටෙලිනාට්‍යයේ ඇස් වහගෙන තාත්තා ගැන සින්දුව කියද්දී මගේ ඇස්වල කඳුළු පිරුණා. ඒ සින්දුව පුරාවටම මගේ තාත්තාව ගොඩක් මතක් වුණා. ඒක හදවතට දරාගන්න බැරි විදිහටම දැනුණා. ඉතින් මගේ දෙවන ඇරඹුම ලොක්කි. මේ ආකාරයෙන් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නට අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද මහතා ඇතුළු කැමරා කාචය පිටුපසින් සිට නොමද සහයක් ලබාදෙන කණ්ඩායමේ සියලුම දෙනාට මගේ ගෞරව ස්තූතිය පුද කරනවා. මේ කොටස් 14 කින් අවසන් වුණත් ලොක්කි හැමදාමත් මගේ හදවතේ ජීවත් වේවි.

ශලිනිට සිනමාවෙන් ඉල්ලුම අඩු ද?

එහෙම අඩුවක් නැහැ. මට සිනමා නිර්මාණවලට ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒත් සමහර නිර්මාණවලට කතා කරද්දි අඳින්න තියෙන ඇඳුම් සම්බන්ධයෙන් ඇතිවෙන ගැටලු නිසා මම ගොඩක් නිර්මාණ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මම කොට ඇඳුම් වගේම ගොඩක් ඇඟ නිරාවරණය වෙන ඇඳුම් අඳින්න කැමති නැහැ. කොච්චර සල්ලි හම්බවුණත්, කොච්චර ජනප්‍රියත්වය ලැබුණත් මගේ සීමාවෙන් එහාට අඳින්න පළඳින්න තියෙන නිර්මාණවලට මම දායක වෙන්නේ නැහැ. ඒක මේ ක්ෂේත්‍රයට එනකොටම මම අරගෙන ආපු ප්‍රතිපත්තියක්. ඒවගේ දේවල් නිසා ගොඩක් චිත්‍රපටි ප්‍රතික්ෂේප කරන්න වුණා. බලමු ඉස්සරට හොඳ නිර්මාණයක් ලැබුණොත් කරනවා.

චූටි මැණිකෙගේ නෙමෙයි කොහොමද ලිහිණිගේ ආදර කතාව?

අම්මෝ... උත්තර දෙන්න අමාරුම ප්‍රශ්නය තමයි ඒක. ඇත්තටම මේ වෙලාවේ ආදරය සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න අමාරුයි. ආදරේ ගැන කියනවා ඉස්සරහට. හැබැයි දැන් ඒකට වෙලාව නෙමෙයි.

නදීශා අතුකෝරළ