ඇඟ ලස්සනයි නම් පෙන්නුවාට ප්‍රශ්නයක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වන දිවාරා නිරූපණ ක්ෂේත්‍රය තුළ වෙනස් ගමනක් යෑමට උත්සාහ දරන්නියක්. චන්න උපුලි නර්තන පාසැලෙන් කලාවට පිවිසෙන ඇය නිරූපණය තුළින් දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වනවා. ඒ නිසා දිවාරාව අද සමග සාරවිට කතාබහකට සම්බන්ධ කරගත්තා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මම දිවාරා ගනේගොඩ. මගේ පදිංචිය බලන්ගොඩ. උසස් අධ්‍යාපනයෙන් පස්සේ මම කොළඹට එනවා. මම රාජ්‍ය අංශයේ රැකියාවක් කරනවා. ඒ වගේම නිරූපණ ශිල්පිනියක්.

නිරූපණයට එකතු වෙන්නේ කොහොමද?

මම මුලින්ම කොළඹට එන්නේ චන්න උපුලි නර්තන ඇකඩමිය හරහා නර්තනය ඉගෙන ගන්නයි. 2014 ඉඳලා 2020 වෙනකල් මම එතන නර්තන ශිල්පිනියක් නර්තනය හැදෑරුවා. ඊට අමතරව ආව විවිධ දේ නිසායි මම නිරූපණයට එන්න තීරණය කළේ. කොහොමත් මට පොඩි කාලේ ඉඳලා නිරූපණයට එන්න ලොකු ආසාවක් තිබුණා. 2020 දි මට ලක්ෂි කඩවතආරච්චි අක්කාව හමුවෙනවා. එයා මට ෂූට් එකකට ආරාධනා කළා. එයාට ඕනේ වෙලා තිබුණේ Short Hair ගැහැණු ළමයෙක්. මට තියෙන්නෙත් Short Hair එකක්. මම ඒ වැඩේට සම්බන්ධ වුණා. ඒකෙන් තමයි ගොඩක් අය මාව දැනගත්තේ.

ඔබ තවම නර්තන ශිල්පිනියක් විදිහට කටයුතු කරනවාද?

නැහැ. මගේ පෞද්ගලික හේතුවක් මත මම අයින් වුණා. මම ප්‍රවාහන අමාත්‍යංශයේ රැකියාවක් කරනවා. මගේ රැකියා කටයුතු එක්ක ටිකක් අමාරු නිසා නර්තනය ටික කාලයකට නවත්වලා තිබෙනවා.

නිරූපණයෙන් දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?

පසුගිය ඔක්තෝබර් ඉඳලා මම කිසිම වැඩක් බාර ගත්තේ නැහැ. මොකද මම මගේ රැකියාව නිසා ටිකක් වැඩ ටිකක් කල් දැම්මා. නමුත් මේ අවුරුද්දේ ඉඳලා මම කල් දාපු වැඩ ඔක්කෝම ආයෙත් පටන්ගන්නවා. හැබැයි හොඳ මියුසික් වීඩියෝ එකකට මට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍යකටත් ආරාධනා ලැබුණා.

ඔබේ කෙටි කොණ්ඩය නිරූපණයට භාවිතා කළ හැකිද?

නිරූපණයේදී Short Hair ගැහැණු ළමයි හොයාගන්න අමාරුයි. ඒ නිසා මට ලැබෙන අවස්ථා වැඩියි. හැබැයි මට Traditional වැඩවලට කතා කරලා නැහැ අද වෙනකල්. මාව ඔක්කෝම දකින්නේ Western විදිහට. මම අඳින විදිහ, මගේ කොණ්ඩේ විලාසිතාව ඒ හැමදේම Western. මට ගැලපෙන නිසායි මම කොණ්ඩේ කැපුවේ. ඉස්සර මගේ කොණ්ඩේ ගොඩක් දිගට තිබුණා. ඊටපස්සේ මම පිළිකා රෝහලට කොණ්ඩේ දන් දුන්නා. ඊටපස්සේ මට හිතුණා මගේ Short Hair එක මට හොඳයි කියලා. ඊටපස්සේ මම දිගටම මේ විදිහට කොණ්ඩේ කැපුවා. Short Hair නිසා මට ගොඩක් වැඩ ලැබුණා. හැබැයි මාව එකම විදිහකට රාමු කරගෙන යන නිසා මම ගොඩක් වැඩ බාර ගන්නේ නැහැ. මොකද එයාලා මගෙන් ඉල්ලන්නේ එකම විදිහ. එකම Concept එක. ඒක ටිකක් අවුල්.

කොණ්ඩය නැවත වවන්න ඕනේ කියලා හිතුණේ නැද්ද?

සමහර අවස්ථාවලදි එහෙම හිතිලා තිබෙනවා. උදාහරණයක් කියන්නම්. මට වෙළඳ දැන්වීමක් ලැබුණා. එයාලා හිතාගෙන ඉඳලා තිබුණේ මගේ කොණ්ඩේ ගොඩක් දිගයි කියලා. එයාලාට ඕනේ වෙලා තිබුණෙත් දිගු කොණ්ඩයක්. එදා මම එතැනට ගියාට පස්සෙයි එයාලා දැනගත්තේ මගේ කොණ්ඩේ කොටයි නියලා. එදා මට හිතුණා මගේ කොණ්ඩේ තිබුණා නම් කියලා. හැබැයි මම ආයෙත් කොණ්ඩේ වවන්න බලාපොරොත්තුවක් නැහැ.

පෞද්ගලික ජීවිතයේදී දිවාරා විලාසිතා කරනවාද?

මම පොඩි කාලේ ඉඳලා ෆැෂන් කරන්න කැමති කෙනෙක්. හැබැයි මම කවදාවත් ගවුමක් ඇඳපු නැති කෙනෙක්. මොකද මම පොඩිකාලේ ඉඳලා හරිම කෙට්ටුයි. මම ඩාන්සින් කරන්න ගත්තාමත් මම කෙට්ටුයි. ජිම් එකට ගිහිල්ලා ඇඟ හදන්න පටන්ගත්තාට පස්සේ තමයි මම ගවුමක් වුණත් අඳින්න පටන්ගත්තේ. ඇඟ ලස්සනයි නම් පෙන්නුවාට ප්‍රශ්නයක් නැහැනේ. ඇඟ කැතයි නම් පෙන්නුවාම බලන කෙනා බලන්නේ වෙන විදිහකට. කොණ්ඩේ කපන්න, කොණ්ඩේ පාට කරන්න, මේකප් කරන්න මම හරි කැමතියි. සාමාන්‍ය ජීවිතයේදීත් මම ලස්සනට ඉන්න කැමති කෙනෙක්.

රංගනයට අවස්ථාවක් ලැබුණොත්?

මට ගැලපෙන චරිතයක් නම් මම බාර ගන්නවා.

ක්ෂේත්‍රයේදී ඔබට කවුරු හෝ සමග තරඟයක් තිබෙනවාද?

මට තරඟේ තියෙන්නේ මාත් එක්ක. මගේ කොණ්ඩේ, මගේ skin එක බලාගන්න ඕනේ මමනේ. මට මාව බලාගන්න බැරි නම් මම මොකටද තව කෙනෙක් එක්ක තරඟ කරන්නේ. මට මේ ලෝකේ කිසිම කෙනෙක් එක්ක තරඟයක් නැහැ.

නර්තන ශිල්පිනියක් විදිහට නැවතත් මතුවෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

වෙන විදිහකට නැවතත් මතුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම අදටත් ආසයි නටන්න. ඉස්සරහට වෙන ඩාන්සර් කෙනෙක් විදිහට එයි. අළුතෙන් දෙයක් ඉස්සරහට එයි.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ලැබෙන ආරාධනා එක්ක වැඩ කරගෙන යනවා. මගේ පලමු තැන දෙන්නේ මගේ රැකියාවට. ඒ හැමදේම සමබරව ඉස්සරහට කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා.

උදව් කරපු අය ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මාව. ඒ වගේම ලක්ෂි අක්කා, ලංකා ෆර්නෑන්ඩු, චන්න සර්, උපුලි මිස්, අසේකා අක්කා, නදීකා අක්කා හැමෝවම මතක් කරන්න ඕනේ.

කැළුම් දේවින්ද