ඉදිරි කාලයේදී වැඩ ගොඩක් කරන්න මම හිතාගෙන ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට රූපවාහිනි නාළිකා කිහිපයක නිවේදිකාවක් විදිහට කටයුතු කරන ශෂි ප්‍රනාන්දු මෙවර සාරවිට තරු කතාබහාට අපි මෙසේ සම්බන්ධ කරගත්තේමු. දැනට වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කරන ඇය ඉදිරියේදි රංගනයටද එක්විමේ සූදානමකින්ද පසුවෙයි. මේ දිග හැරෙන්නේ ඇය සමග අප කළ කත බහයි..

නිවේදිකාවක් වුණේ කොහොමද ඔබ?

තෙරේන කාලේ ඉඳලා තිබුණ මගේ හීනයක් මේක. හැබැයි මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ මට නිවේදන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. නමුත්, වාසනාවකට මට නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ 2019 වසරේ ඉඳලා.  

නිවේදිකාවක් විදිහට කරපු වැඩ මොනවද?

ගොඩක්ම මම කරලා තියෙන්නේ විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන අයත් එක්ක සම්මුඛ සාකච්ඡා. මියුසික් ටිවි නාළිකාව ඇතුළ නාළිකා කිහිපයකම මම දැනටත් නිවේදිකාවන් විදිහට වැඩ කරමින් ඉන්නවා.

මේ ක්ෂේත්‍ර ගැන මොකද හිතන්නේ?

මේ ක්ෂේත්‍ර හැම එකක්ම ගොඩක් හොඳයි. හැබැයි අපි ඒ ක්ෂේත්‍රවල හරි විදිහට හිටියොත්. විශේෂයෙන්ම අවබෝධයක් ඇතිව තමයි මේ ක්ෂේත්‍රවල වැඩ කරන්න ඕනා. කවුරු හරි කපලා අපි ඉදිරියට යන්න හිතනවා නම් ඒක ලොකු වැරැද්දක්. මාත් එක්ක වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. මේ හැම කෙනෙක් එක්කම මම ගොඩක් සුහදශිලියි. මම කවදාවත් ඒ අයව පහළට ඇදලා දාන්න කපලා ඉදිරියට යන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම තමයි අපි කරන වෘත්තියට අපි ආදරය කරන්න ඕනා. කලාව කියන්නේ හරිම සුන්දර තැනක්. ඉතින්. ඒ දේවල් සියල්ල රැකගෙන අපි අපේ ගමන කාටත් කරදරයක් නොවි යන්න ඕනා. එකයි මගේ නම් අදහස.

නිවේදිකාවක් විදිහට විතරයි ද වැඩ කරන්නේ?

ඇත්තටම නිවේදිකවක් විදිහට විතරයි මම දැනට වැඩ කරන්නේ. මොකද, මම හිතන විදිහට මම දක්ෂ ඒ දේට විතරයි. වෙනත් දේවල් ඉගෙන ගෙන ඒ ක්ෂේත්‍රවලටත් එකතු වෙන්න ආසයි. නමුත්, මම හිතන්නේ නිවේදනය තරම් අනෙකුත් වෘත්තින්වල වැඩ කරන්න තරම් මම දක්ෂ කෙනෙක් නෙවෙයි කියලා.

නිරූපණයට, රංගනයට එකතු වෙන්න කැමැත්තක් නැද්ද?

කැමැත්තක් තියෙනවා. නමුත්, තවම මම ඒ ක්ෂේත්‍රවලට සම්බන්ධ වෙලා නැහැ. දැනටත් මට ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා රංගනය පැත්තට යොමු වෙන්න. ඒත්, මම ඒ අවස්ථා ගැන තවමත් අධ්‍යනය කරමින් ඉන්නවා. මම ගොඩක් විශ්වාස කරනවා මේ හැමදෙයක්ම කාලය තිරණය කරයි කියලා. ඉතින් මගේ හරි කාලය එනකොට මම ඒ ක්ෂේත්‍රයවල වැඩ කරන්න යොමු වෙයි කියලා හිතනවා.

කලා ක්ෂේත්‍රය තුළ වැඩ කරන අය දිහා අද සමාජය බලන කෝණය තරමක් වෙනස් නේද?

ඇත්තටම මෙහෙමයි සමාජේ මිනිස්සුන්ට විවිධ කතා කියන්න පුළුවන්. රංගන ශිල්පිණියකට, නිරූපිකාවකට එහෙමත් නැත්නම් නිවේදිකාවකට ඕනා තරම් දේවල් කියන්න පුළුවන්. මෙයා මේ වගේ කෙනෙක් මෙයා මෙහෙම හරි නැති කෙනෙක් කියලා. ඒ වගේම ක්ෂේත්‍රයට එන්නේ නුගත් මිනිස්සු කියන කතාවත් මම අහලා තියෙනවා. එහෙම නැහැ. ගොඩක් මේ ක්ෂේත්‍ර ගැන උගත් අය තමයි මේ ක්ෂේත්‍රවලට එන්නේ. මොකද, ඒ අය දක්ෂ නිසානේ මේ ක්ෂේත්‍රවල රැඳිලා ඉන්නේ. එහෙම දක්ෂතාවයක් නැත්නම් මේ ක්ෂේත්‍රවල රැඳිලා ඉන්න බැහැ. පිටින් බලන මනුස්සයා දන්නේ නැහැ කලා ක්ෂේත්‍රයට එන අපි වගේ අය කොච්චර කැපවිමක් තමන්ගේ වෘත්තිය වෙනුවෙන් කරනවාද කියන කාරණය. පිටින් බලන මනුස්සයා මොනවා කිව්වාත්, ඒ අය බලන කෝණය මොන තරම් වෙනස් වුණත් ක්ෂේත්‍රය තුළ වැඩ කරන අපි දැනගන්න ඕනා අපේ වෘත්තිය හරියට කරලා අපේ පැවැත්ම හදාගන්න.

ඉදිරිය කොහොම වෙයිද?

පසුගිය කාලේ මම ඇත්තටම වැඩ කළේ නැහැ. විවිධ හේතුන් මත මට ඒ වැඩ භාර අරගෙන කරන්න බැරිවුණා. නමුත්, දැන් මම නිදහස් කෙනෙක්. ඒ නිසා එකදිගට වැඩ කරන්න පුළුවන් වතාවරණයක් දැන් හැදිලා තියෙනවා. 2021 වසරේදී මට වැඩ ගොඩකට ආරාධනා ලැබුණා. ඒත්, කරන්න ලැබුණේ නැහැ. ඉදිරි කාලයේදී මම වැඩ ගොඩක් කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම වැඩ ගොඩකට දායක වෙන්නත් දැන් මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මම මේ වෙලාවේදී කියන්න කැමතියි මගේ ආදරණිය රසික පිරිස් හැමෝටම. ඉදිරියේදී මාව එකදිගට වැඩ ගොඩකින් දකින්න පුළුවන් වෙයි කියලා.

උදව් කරපු අය?

ගොඩක් ඉන්නවා. මුලින්ම මතක් කරන්න ඕනා මගේ පවුලේ අයව. ඒ වගේම මගේ හොඳම යාළුවෝ දෙන්නා ඉසුරු ගුණසේකර හා චරිත ගුණසේකර දෙන්නා. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්. මම වැඩ කරපු රූපවාහිනි නාළිකාවල හැමෝම. විශේෂයෙන්ම හිරාන් චන්ද්‍රසේන සර්, හංසි සාරා මැඩම්. මාත් එක්ක වැඩ කරන සහෝදර නිවේදක, නිවේදිකාවන්, ඒ අතර නිමාෂා වැන්ඩොට්ව ආදරයෙන් මතක් කර සිටිනවා.

බුද්ධික සේනාධීර