‘ඊෂා’ නිසා මටත් බැණුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෑත කාලයේ කලා ක්ෂේත්‍රයට පිවිසුණ අලුත් මුහුණු අතර කෙටි කාලයක් තුළ ටෙලි නාට්‍යයන් ගණනාවක රංගනයෙන් දායක වෙමින් කලාවේ විවිධ ඉසව් සොයා යමින් ප්‍රේක්‍ෂක ආකර්ශනය දිනාගත් රුවැත්තියක සමග තොරතුරු බෙදා ගන්නයි සඳැල්ල අපේ මේ සූදානම.

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන කොළඹ ඉතාලිය, අඳුන් ගිර, මාණික්කාවත යන ටෙලි නාට්‍යයන් හරහා ප්‍රේක්‍ෂකාගාරයට ගොඩ වදින ඇය ආලෝකා ධනංජනී.

ටෙලි නාට්‍ය ගණනාවකින්ම මේ දිනවල දකින්න ලැබෙනවා. කොහොමද වැඩකටයුතු?

ඔව්. මම දායක වුණ ටෙලි නාට්‍ය කිහිපක්ම මේ දිනවල විකාශනය වෙනවා. කොළඹ ඉතාලිය, මාණික්කාවත, අඳුන් ගිර මේ නිර්මාණ හරහා එකිනෙකට වෙනස් චරිත මට නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. මාණික්කාවත ටෙලි නාට්‍යයේ දායක වූ කොටස් ඉදිරියට විකාශය වෙන්න නියමිතයි.

ආලෝකාගේ රංගනයනට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම දායක වෙලා තියෙන චරිත එකිනෙකට වෙනස් නිසා ලැබෙන ප්‍රතිචාරත් චරිතයෙන් චරිතයට වෙනස්. කොළඹ ඉතාලියේ ඊෂාගේ චරිතයට නම් ලැබෙන්නේ ගොඩක් බැනුම් ප්‍රතිචාර ඊෂා කියන්නේ කටසැර චරිතයන්නේ.

වෙනත් නවකයින්ට නොලැබෙන අවස්ථා ආලෝකට ලැබෙනවා සමහර චරිත හරහා නවකයෙක් විදිහට ඒ ගැන මොකද හිතෙන්නේ?

මගේ කලා ගමනේ පටන් ගැන්මේ ඉඳලම මම ආවේ විශාල දුෂ්කර ගමනක් මට ලැබෙන්නේ පොඩි චරිතයක්ද මට ඕන වුණේ ඒක උපරිමයෙන්ම කරන්න. මගේ දක්‍ෂතා දැකලා විවිධ නිර්මාණකරුවෝ ඔවුන්ගේ නිර්මාණ සඳහා මාව තෝරගනිද්දී කිසිම වෙලාවක ඒකාකාරී චරිත මට දීලා නෑ. නවකයෙක් විදිහට ආවාට බොහෝ සුවිශේෂී අවස්ථාවන් මට චරිත ඇතුලේ ලැබිලා තියෙනවා. මාණික්කාවත, ගරුඬ මුහුර්තය මට ලැබුණු ඒ වගේ සුවිශේෂී අවස්ථාවන්.

ආලෝකා නිළියක් වෙන්නේ අහම්බෙන්ද?

ඇත්තටම පුංචි කාලේ ඉඳලා මම රඟපාන්න හරිම ආසයි. ප්‍රධානම හීනය නිළියක් වීම නෙවෙයි. ඒ අතර තව හීන ගොඩක් තිබුණා. නිළියක් වෙනවට වඩා මට ඕව වුණේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න. කොහොමහරි මට නිළියක් වෙන්න මඟ පෑදුනා. එතන ඉඳලා ඒ හීනය ඔස්සේ තමයි මම ආවේ.

කොතනින්ද ආලෝකට නිළියක් වෙන්න මඟ පැදුනේ?

සිරසේ ෆිල්ම් ස්ටාර් කියලා රියැලිටි තරගයක් තිබුණා. ඒ තරගයට  අයදුම් කරන්න කියලා ටීවී එකේ දැන්වීමක් ගියා. ඒ දැකපු දවසට පසුවෙනිදම මම තරගයට අයඳුම් කළා. මම නැටුම්වලට සහ රංගනයට ආස නිසාම තමයි ඒකට ඇප්ලිකේෂන් දැම්මේ. සිරසෙන් තමයි මගේ කලා ගමනට මුල්ම අඩිතාලම වැටෙන්නේ.

මුලින්ම සිරස නාලිකාවෙම වෙළඳ දැන්වීමකට පෙනී ඉන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ වැඩ ලැබුණෙම නෑ. ඒ කාලේ අපිට වැඩ දෙන්න කවුරුත් හිටියේ නෑ. තිර පරීක්‍ෂණවලට සෑහෙන්න ගියා. මුලින්ම කරේ පොඩි පොඩි චරිත.

මහ ලොකු චරිත එකපාරට හම්බවුණේ නෑ. හැබැයි මට ලැබෙන පොඩි චරිතය වුණත් මම ඒක ආසාවෙන් උවමනාවෙන් කළා.

ආලෝකාගේ හිතට දැනුන ඔබ සාධාරණයක් කලා කියලා හිතෙන චරිතයක් තියෙනවා.

මට ලැබිලා තියෙන සියලුම නිර්මාණ මට ගොඩක් විශේෂයි. ඒ අතුරින් මම ගොඩක් ආසම හිතට දැණුනු චරිතයක් නම් ගරුඬ මුහුර්තය නිර්මාණයේ බිලිඳිගේ චරිතය. ඒ චරිතය වෙනුවෙන් මම මගේ බාහිර ස්වරූපය පවා වෙනස් කරගන්න මහන්සි වුණා.

මාණික්කාවත නිර්මාණයේ ඉදිරියේදී ආලෝකාව දකින්න ලැබෙනවා. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ.

ඇත්තටම සුඳත් රෝහණ වගේ අධ්‍යක්‍ෂවරයකුගේ නිර්මාණයකට දායක වෙන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒ අවස්ථාව මෙච්චර ඉක්මනට ලැබෙවි කියලා මම හිතුවේ නැහැ. මාණික්කාවතේ කොටස් කිපයක් නරඹනකොට මටත් ඒකේ රඟපාන්න තිබුණ නම් කියලා හිතුණ වාර අනන්තයි. ඒ අතරේ තමයි ඉදිරියට එන චරිතයකට මට ආරාධනා කළේ විශේෂයෙන් ඒ අවස්ථාව මට ලබල දුන්න ජගත් චමිල අයියාට වගේම චමින්ද අයියාට ස්තුති කරනවා. සුදත් රෝහණ මහතාවත් ගෞරවයෙන් සිහිපත් කරනවා.

මාණික්කාවතේ මගේ චරිතය ආදරේ වෙනුවෙන් බලා ඉන්න අම්මා තාත්තාගෙන්වත් ආදරේ නොලැබුණ කෙනෙක්... මම ඒ චරිතය ගැන වැඩි විස්තර කියන්නේ නෑ. තව ටික දිනකින් මාණික්කාවතින් දැකගන්න පුළුවන්නේ.

ආලෝකා වැඩිපුරම ප්‍රිය කරන්නේ ග්‍රාමීය චරිතවලටද?

ඇත්තටම මම කැමති නෑ මේකප් ගොඩක් දාගෙන ඉන්න. පෙම්වතියන්ගේ චරිතවලට මම කැමති රූපේ කැත චරිත කරන්න. වැරහැලි ඇඳගෙන ඉන්න හිඟන්නියක්ගේ, අන්ධ චරිත, පිස්සු චරිත  ඒ වගේ චරිත ලැබෙනව නම් මම ගොඩක් ආසයි.

අලුත් නිළියන්ට තියෙන ටික්ටොක් පිස්සුව ආලෝකාට නැද්ද?

අපෝ නෑ. ඇත්තට මම ටික්ටොක් සමාජ මාධ්‍යයෙත් නෑ.

ආලෝකගේ පවුලේ තොරතුරු ටිකකුත් කියමු?

මගේ ගම මාවනැල්ලේ. මම පාසල් ගියේ බැද්දෙවෙල සෙන්ට්‍රල් එකට. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. අම්මා සේවය කරන්නේ විදේශ රටක.

ඇත්තටම මුලදී නම් තාත්තා මම කලාවට එනවට කැමති වුණේම නෑ. මම ගුරුවෘත්තියට පිවිසෙනවට තමයි තාත්තා කැමති වුණේ. අම්මාත් ලංකාවේ නැති නිසා තාත්තා තමයි මගේ හෙවනැල්ල වගේ මගේ පස්සෙන් හිටියේ. මාව කොළඹ එක්ක ආවේ තාත්තා. මුල් කාලේ ගත කළේ පුදුම දුෂ්කර කාලයක්. මුල් කාලේ තාත්තාත් මාත් එක්ක ලොකු කට්ටක් කෑවා. අපිට කොළඹ ඉන්න තැන් නෑනේ. කලා වැඩවලට එහෙම ගමේ ඉඳන් කොළඹ ඇවිල්ලා යනකොට රෑ වෙනවා. පැයක් දෙකක් නිදාගෙන ආයෙම ආපස්සට කොළඹ එනවා. ඒ වගේ දුෂ්කරතා විඳගෙන තමයි මම මේ ගමන ආවේ.

ජීවිතේ එපා වුණ තැන්, ප්‍රතික්ෂේප වුණු තැන් වලින් මොනවද ආලෝකා ඉගෙන ගත්තේ?

නවකයෙක් විදිහට ක්ෂේත්‍රය ඇතුලේ කැපිලි කෙටිලිවලට මාත් මූණ දීලා තියෙනවා. කවදාවත් ප්‍රතික්ෂේප වීමකදී මම දුක්වෙලා නෑ. එක තැනකින් ප්‍රතික්ෂේප වුණාට මට ඊට වඩා හොඳ නිර්මාණ හොඳ දේවල් ලැබිලා තියෙනවා. මම කලාව පරතෙරට ඉගෙන ගෙන තියෙනවා කියන්නේ නෑ. හැබැයි මම කලාවට පිවිසුනේ කලාව පිළිබඳ යම් දුරකට දැනුම ලබාගෙන. ඒ නිසා කැපිලි කෙටිලි, ප්‍රතික්ෂේප වීම්වලට මම බය නෑ. මොකද මම  මගේ හැකියාවන් පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා. මුලින්ම ක්ෂේත්‍රයට ආපු අලුත වැඩ ලැබුණේ නෑ. හැබැයි ඒ කොතනකදිවත් දුක් වුණේ නෑ. මගේ පාර මම හරියට හදාගෙන ආවා.

ආලෝකට දැන්ම පිලිවෙළක් වෙන්න අදහසක් නැද්ද?

අදහසක් නම් තිබෙනවා. බොහෝ විට මේ වසරේ විවාහය සිද්ධ වෙන්න පුළුවන්. ඔහු කලා ක්ෂේත්‍රයේම වෙනත් අංශයක නියැලෙන කෙනෙක්.

අලෝකා දැන් වෘත්තිය මට්ටමෙන් රංගන ශිල්පිනියක්ද?

ඔව් කලාව තමයි දැන් මගේ වෘත්තිය. දිගටම කලාවෙන් ඉදිරියට යන්න තමයි කැමැත්ත. ඒ නිසා වෘත්තිය මට්ටමෙන් මම රංගනයට පිවිසුනා.

ඒත් අපේ රටේ වෘත්තිය මට්ටමෙන් කලාව කරලා හොඳ ආර්ථික මට්ටමක් හදාගන්න පුළුවන්ද?

අමාරුයි තමයි එත් මම යම් මිලක් හදාගෙන ඉන්නේ. චරිතයක් ලැබෙද්දී මිල ගණන් කතා කරලා එකඟ වෙලා තමයි භාරගන්නේ. හැබැයි ආර්ථිකය පැත්තෙන් හිතලා මම හැම එකම භාරගන්නෙත් නෑ. 

නදීශා අතුකෝරළ /  සජීව ලක්ෂාන්