එකම ඇඳුම මම තැන් දෙක තුනකට අඳින්න නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණ පරපුර වඩාත් ඇලුම් කරන දක්ෂ සිනමා හා ටෙලි නාට්‍යය රංගන ශිල්පිනියක් වන ධනංජි තාරුකා අද අපි සාරවිට තරු කතාබහට මෙළෙස සම්බන්ධ කරගත්තේමු. විලාසිතාවලට ඉමහත් කැමැත්තක් දක්වන ධනංජිගෙන් අපි මෙවර විමසුවේ ඒ සම්බන්ධව ප්‍රශ්න කිහිපයකි.

ධනංජි විලාසිතා කරනවාද?

විලාසිතාවලට ලොකු කැමැත්තක් තියෙනවා. මොකද, විලාසිතා කියන්නේ අපිට වගේම සාමාන්‍ය කෙනෙක් වුණත් ආස කරන දෙයක්. විලාසිතාවලට ඉතින් ලොකු කැමැත්තක් තියෙනවා මගේ.

විලාසිතාවලට කොපමණ වියදම් කරනවාද

ඒක ඉතින් ගණන් බලලා නැහැ මෙච්චරක් වියදම් කරනවා කියලා. රංගන ශිල්පිනියක් කිව්වාම අපිට ගොඩක් තැන්වලට යන්න වෙනවා. විශේෂයෙන්ම රූපවාහිනි වැඩසටහන්, ප්‍රිය සම්භාෂණ වගේ දේවල්වලට. ඉතින් එකම ඇඳුම හැම තැනටම ඇඳගෙන යන්නත් බැහැනේ. එහෙම වුණාම මාසේට කිහිපවරක් ඇඳුම් ගන්න වියදම් කරන්න වෙනවා.

ගන්න ඇඳුම් කොපමණ කල් අඳිනවද?

ගන්න ඇදුම් ඉතින් එහි තත්ත්වය අනුව තමයි තිරණය වෙන්නේ කොච්චර කල් අඳිනවද කියලා. තවත් කාරණයක් නම් අපි උත්සවයකට, රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙන්න අඳින ඇඳුම තවත් තැනකට අඳින්න බැහැ. ඒක ඉතින් ආයේ ගෙදරට තමයි අඳින්න පුළුවන් වෙන්නේ. එහෙම බලන කොට ගන්න ඇඳුම නම් මට සිමිත කාලයයි අඳින්න පුළුවන් වෙන්නේ. 

ඇඳුමක් ගනිද්දි මුලින්ම බලන්නේ ලස්සනද? නැත්නම් එහි වටිනාකමද?

ගොඩක් වෙලාවට ඔය කාරණා දෙකම බලන්න සිද්ධ වෙනවා. මොකද, ඇඳුමක් ගනිද්දි මුලින්ම ලස්සන බලනවා. ලස්සන වගේම ඒ ඇඳුමේ තියෙන තත්ත්වය බලනවා. මොකද, අපි ඒ ගන්න ඇඳුම අඳින්නේ වැදගත් පුද්ගලයන් එන තැනකට වගේ නම් හොඳ තත්ත්වයේ තියෙන රෙද්දකින් නිම වුණ ඇඳුමක් අඳින්න ඕනා. ගොඩක් වෙලාවට මම නම් කරන්නේ හොඳ රෙදි අරගෙන ලස්සන විදිහට මහගන්නවා. ඒක මට ගොඩක් පහසුයි.

නිතර ඇඳුම් ගන්න යන තැනක් තියෙනවාද?

එහෙම කියල තැනක් නැහැ මට. මම කළින් කිව්වා වගේ මම ගොඩක්ම කරන්නේ හොඳ රෙදි අරගෙන මට ඕනා විදිහට මහගන්න එක. හැබැයි පාර යනකොට ලස්සන ඇඳුමක් දැකලා ඒ ඇඳුමට ආස වුණොත් මම ඒ ඇඳුම ගන්නවා. ඒ ඇරෙන්න ඇඳුම් ගන්නවා කියලා මට විශේෂ තැනක් නැහැ.

ඇඳුම් ගන්න යන්නේ කාත් එක්කද?

ඉස්සර නම් ඇඳුම් ගන්න යන්නේ මගේ අම්මාත් එක්ක. දැන් නම් මගේ සැමියා ෂැගි එක්ක හරි එයාගේ අම්මා එක්ක හරි තමයි ඇඳුමක් ගන්න යන්නේ මම.

අඳින්න වැඩියෙන්ම කැමති ඇඳුම මොකක්ද?

ගොඩක් වෙලාවට මම සරල ඇඳුමක් අඳින්න තමයි කැමති. ඩෙනිම් එකට පෝර්ක් ටෝක්ස් වගේ.

බුද්ධික සේනාධීර